2023 ජනවාරි 22 වන ඉරිදා

තාත්තා එක්ක එකට ඉඳගෙන නාට්‍යයක් චිත්‍රපටයක් බලන්න හරි ආසයි

 2023 ජනවාරි 22 වන ඉරිදා, පෙ.ව. 06:00 213

අමන්ද්‍යා "රැජනට ඇන්දා" කියලා ආරංචියි...?

ඔව්නේ. "රැජන ඇවිල්ලා" කියන්නේ මගේම කියලා කරන තුන්වැනි ගීතයයි. සහන් රන්වල මගේ ගුරුතුමා මීට කාලයකට උඩදී මගේ තාත්තාට කියලා ලියැවුණු ගීතයක්. හැබැයි මේක වසර කිහිපයක් යනතුරු ගීතයක් වුණේ නැහැ. මෑත කාලයේදී ජයප්‍රකාශ් සිවගුරුනාදන් මහතා මාත් එක්ක කතා කර කර ඉඳිද්දී "පුතේ... ගොඩක් කාලයකින් ඔයා සින්දුවක් කළේ නැහැනේ. අපි ලස්සන වැඩක් කරමුකෝ..." කියලා කිව්වා. ඒ ශිවා අංකල්ගේ වචනයත් එක්ක තමයි තාත්තාගේ ගී පද රචනාවෙන් ලියැවුණ දේ ගීතයක් වුණේ. තනු නිර්මාණය කළේ සහන් රන්වල ගුරුතුමායි. සංගීත සංයෝජන කටයුතුවලට සංගීත් වික්‍රමසිංහ මහතා සම්බන්ධ වුණා. ලංකාවේ ඉන්න දක්ෂම වාදන ශිල්පීන් මේ ගීතයේ වාදනය සඳහා සංගීත් අංකල් සම්බන්ධ කර ගත්තා. සංගීත් අංකල්, සහන් සර් කිසිදු මුදල් අය කිරීමකින් තොරව උදව්වක් විදිහටත්, මට උපන්දින තෑග්ගක් විදිහටත් මේ ගීතය නිර්මාණය කරලා දුන්නා.

හරි අපූරු රූප රචනාවකුත් "රැජනට ඇන්දා"ට එකතු කරලා තියෙනවා?

ඔව්. ගීතය නිර්මාණය කරද්දීම ඒකට රූප රචනාවකුත් කරමු කියලා අපි කතාවුණා. රූප රචනය, ජයප්‍රකාශ් සිවගුරුනාදන් මහතා අතින් අධ්‍යක්ෂණය වුණා. ඒ සඳහා තාත්තාත් අදහස් එකතු කළා. ඒක වෙනස් විදිහේ රූප රචනයක්. මේ ගීතයෙන් කියැවෙන්නේ පැරණි නිළියක් වයස අවුරුදු හැටේදී විතර එයාගේ අතීතය මතක් කරන සිදුවීමක්. එයා ටීටර්, නාඩගම් නටපු නිළියක්. රූප රචනයට මමත් ඉන්නවා. ඊට අමතරව රංවල බලකායේ ශිල්පීන් ඉන්නවා. ඒ අයත් මේ මොහොතේ ආදරෙන් මතක් කරනවා. ඒ වගේම ප්‍රියන්ත සෙනෙවිරත්න මාමා, හේමන්ත ඊරියගම මාමාත් අපේ තාත්තා එක්ක රූප රචනයට එකතු වුණා. ඒ වගේම මම අලුතින්ම මගේ ජීවිතයට මුණගැසුණ හොඳ යාළුවෝ දෙන්නෙක් වන සංගීත් ප්‍රභූ මල්ලිත් සචිත් චතුරංග මල්ලිත් මේකට සම්බන්ධ වුණා. ඒ හැමෝම හරිම කැමැත්තෙන් හරිම ආසාවෙන් මගේ මේ නිර්මාණ කටයුත්තට දායක වුණා. ජනවාරි විසි දෙවැනිදා යෙදෙන මගේ උපන්දිනය දවසේ මේක අහන්නට, දකින්නට පුළුවන් වේවි.

මේ දවස්වල අමන්ද්‍යා දායකත්වය ලබාදෙන නිර්මාණ මොනවාද?

මේ දවස්වල ජයප්‍රකාශ් සිවගුරුනාදන් මහතාගේ "Key" ටෙලිනාට්‍යයේ උප ප්‍රධාන චරිතයක් කරනවා. "ගයනි" කියන චරිතයත් එක්ක මිනිස්සු මාව පාර තොටේදී දකිද්දී අඳුනාගන්නවා. කතා කරනවා. ඒ ගැන හරිම සතුටුයි. ඒ වගේම සුරාජ් මාපා අධ්‍යක්ෂණය කරන "නොනිමි" ටෙලිනාට්‍යයේ රඟපානවා. ඒකේ සංගීත ගුරුවරියකගේ චරිතයක් රඟපානවා. ඒක මට අලුත් දෙයක් නෙමෙයි. මම ගුරුවරියක් විදිහට මගේම සංගීතාශ්‍රමයක් කරනවා. ඒ නිසා ඒක ටිකක් මට හුරු චරිතයක්. ඒ වගේම රන්වල බලකායේ නිත්‍ය සාමාජිකාවක් විදිහට වැඩකරන නිසා 2022 අවුරුද්දේ දෙවරක්ම අපේකම, අපේ උරුමය අරගෙන බංග්ලාදේශය සහ ඔස්ට්‍රේලියා යන රටවල විදේශ සංචාර දෙකකට සහභාගි වුණා.

අමන්ද්‍යාගේ සංගීතාශ්‍රමයේ වැඩකටයුතු දැන් කොහොමද?

පසුගිය කාලයේ කොවිඩ් සහ ඉන්ධන ගැටලු නිසා මම Online මාධ්‍යයෙන් මගේ සංගීත පන්ති කරගෙන ගියා. ලංකාවේ ළමයින්ට පමණක් නොවෙයි පිටරට ළමයින් පවා අපේ දේවල් ඉගෙන ගන්න ආස වුණත් භාෂාවේ නොහැකියාව නිසා අත්හැරිලා ඉන්නවා. ඒ නිසා මම ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීම් කරනවා. නමුත් මම මෙහිදී සිංහල ගීත, සිංහල වචන පුරුදු කරනවා. ඊට අමතරව මගේම සංගීත පන්තිය මේ වසරේ පෙබරවාරි වෙද්දී කැස්බෑව ප්‍රදේශයේ ආරම්භ කරන්නට බලාපොරොත්තු වෙනවා.

ලංකාවේ ප්‍රවීණ, ජනප්‍රිය කලාවේදියකු වන ගිරිරාජ් කෞශල්‍ය අමන්ද්‍යාගේ පියායි. ඔහුගෙන් කලා කටයුතුවලට ලැබෙන සහයෝගය ආශීර්වාදය කොහොමද?

රංගන ශිල්පිනියක් වීම මගේ තාත්තාගෙන් මට ලැබුණ දෙයක්. තාත්තා අසනීප වුණාට පස්සේ "නාඩගම්කාරයෝ" ටෙලිනාට්‍යයට ශිවා අංකල්ගේ ආරාධනයෙන් මට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. නිළියක් කරන්නට ශිවා අංකල්ගෙන් ලැබුණ ඒ අවස්ථාව මට ජීවිතේ කවදාවත් අමතක කරන්න බැහැ. තාත්තයි, අම්මයි කියන්නේ පුංචි කාලේ ඉඳන් මගෙයි, අක්කගෙයි දෙන්නගේම ලොකුම හයියයි. පාසැල් කාලයේදීත් නාට්‍යවලට වේදිකා නාට්‍යවලට ආරාධනා ලැබුණට මම රඟපානවාට තාත්තා මුලින් කැමැති වුණේ නැහැ. මම ගායිකාවක් වෙනව දකින්න තාත්තා ආසා කළා. ඒ නිසා මාව සංගීත පන්තිවලට සම්බන්ධ කළා. මම මුලින්ම නුගේගොඩ සමුද්‍රදේවී බාලිකාවෙන් අධ්‍යාපනය ලැබුවා. උසස්පෙළට කොළඹ දේවි බාලිකාවට ඇතුළත් වුණා. මේ පාසැල් දෙකෙන්ම මට රඟපාන්නත් පොඩි පන්නරයක් ලැබුණා. සමස්ත ලංකා තරගවලට පාසැල් නාට්‍ය කණ්ඩායමෙන් සහභාගිවෙලා ජයග්‍රහණ ලැබුවා. දැන් රඟපානවා දකිද්දී තාත්තාටයි, අම්මටයි ගොඩක් සතුටුයි. අදටත් මම රඟපාන නාට්‍යයක හැම කොටසක්ම ඉවරවුණාම මම තාත්තා එක්ක කතාබහ කරලා ඒවායේ අඩුපාඩු කතාබහ කරනවා. කොහොමටත් මායි තාත්තයි දෙන්න හරි ආසයි එකට චිත්‍රපටයක්, වේදිකා නාට්‍ය බලන්න. එහෙම නිර්මාණ බලද්දී තාත්තාගෙයි, මගෙයි රසවින්දනය ගොඩාක්දුරට සමානයි.

ගිරිරාජ් කෞශල්‍ය කියන්නේ මේ රටේ මිනිසුන්ගේ ආදරය දිනාගත් කලාකරුවෙක්. දැන් තාත්තාට කොහොමද?

තාත්තා සුව අතට හැරෙමින් ඉන්නේ. අවුරුද්දක කාලයක් අපි තාත්තාට ප්‍රතිකාර කරල තියෙනවා. හිටියට වඩා දැන් ගොඩක් සුවවෙලා ඉන්නේ. ඉදිරියේදී තාත්තාවත් අලුත් නිර්මාණවලදී දැකගන්නට පුළුවන් වේවි කියල මම විශ්වාස කරනවා.

අද අමන්ද්‍යා විවාහකයි. මේ නිර්මාණවලට දායක වුණේ විවාහයෙන් පස්සේ නේද?

ඔව්. මම විවාහ වුණේ සාරංග කළුගලගේ එක්කයි. ඔහු වෘත්තියෙන් තොරතුරු තාක්ෂණය හා සම්බන්ධ රුකියාවක නිරත වෙනවා. ඇත්තටම මම නිළියක් වීම සහ මේ ක්ෂේත්‍රයේ වැඩකටයුතුවලට වැඩිපුරම දායකත්වය ලබලා දුන්නේ විවාහයෙන් පස්සෙයි. මාව සාරංග හොඳින් තේරුම් අරගෙන තිබෙනවා. සමහර දවස්වල එයාගේ වැඩ පාඩු කරගෙන මගේ වැඩවලට මාත් එක්ක යන්න එනවා. එයාගෙන් මගේ වැඩවලට ලොකු සහයෝගයක් තියෙනවා.

දායකත්වය ලබාදුන්, ඉදිරියේදී දැකබලා ගන්නට පුළුවන් නිර්මාණ මොනවාද?

මේ අවුරුද්දේ බොහෝ විට තාත්තා අධ්‍යක්ෂණය කළ "කතුරු මිතුරු" සිනමා පටය තිරගත වේවි. ඒ නිර්මාණයේ ගීත දෙකක් මම ගායනා කළා. එක ගීතයක් සමන්ත පෙරේරා මහතා සංගීතවත් කළ අතර අනික් ගීතය රෝහණ වීරසිංහ මහතා සංගීතවත් කළා. එක් ගීතයක් මම අමරසිරි පීරිස් සර් සමඟත් අනෙක් ගීතය තරුක ගුණරත්න එක්කත් ගායනා කළා. ගීත දෙක සම්පූර්ණයෙන්ම වෙනස් ගීත දෙකක්. ඒ වගේම සෝමරත්න දිසානායක මහතා අධ්‍යක්ෂණය කළ සිංහබාහු චිත්‍රපටයේ සුප්පාදේවියත් තරුණ කාලෙට ගායනයෙන් දායක වුණා. ඒකත් හරි ලස්සන කවි පන්තියක්. ඒ නිර්මාණ දෙක තිරගත වෙනතුරු හරිම ආසාවෙන් බලාගෙන ඉන්නවා.

I දිශානි ජයමාලි
සේයාරුව- සුමුදු හේවාපතිරණ