2023 ජනවාරි 08 වන ඉරිදා

අපේ නොවුණ අපේම හදවතක් එයාගේ නම දවුල් අකුන්සද

 2023 ජනවාරි 08 වන ඉරිදා, පෙ.ව. 06:00 186

අද අපි ඔබට කියන්නේ අපේ නොවන අපේම කෙනෙක් ගැන කතාවක්. ඇත්තටම ඔහු ටිකක් අමුතු අපූරු චරිතයක්. ශ්‍රී ලාංකික හදවතක් තියෙන මේ අපූරු මිනිසාගේ නම දවූද් අකුන්සද. ඔහු අසර්බයිජානුවෙක්.

ඔහුගෙ නම වගේම රටත් අපිට එච්චර හුරු නැහැ. නමුත් ඔහු අඳුරන අය නම් ඉන්න බව අපි දන්නවා. අසර්බයිජානය තියෙන්නෙ කැසිපියන් මුහුද අද්දර ජෝර්ජියාව, තුර්කිය, ඉරානය, රුසියාව වගේ රටවල්වලට මායිම් වෙලා තියෙන රටක්. දවූද් මේ රටේ ඉපදුනු හැදී වැඩුණ කෙනෙක්. යුරෝපයේ චෙක් ජනරජයේ අධ්‍යාපනය හදාරලා, යුරෝපයම රුකියාවක් කරමින් තමා පහුගිය කාලේ ඔහු හිටියෙ.

දවූද් තරුණයා පසුගිය 2021 සැප්තැම්බර් මාසේ වනවිටත් යුරෝපයේම ඉතා හොඳ රුකියාවක් කරමින් හිටියා. මේ අතර ඔහු රටවල් කිහිපයක සංචාරය කරමින් TikTok, YouTube, Facebook, Instagram සමාජ මාධ්‍යවල බෙදාගත්ත දේවල් බෙදාගෙන තිබුණේ. ඒ නිසා පුංචි ප්‍රසිද්ධියක් ලබලා හිටියා. විශේෂ TikTok සමාජ ජාලය තුළ. මේ නිසාම ජීවිතේ තමන් කවුද? මොකක්ද කරන්න ඕන කියන එක ගැන ඔහු කල්පනා කරන්න පටන් ගත්තා.

දවූද් මෙතැනදී අපූරු තීරණයක් ගත්තා. ඉතින් ඔහු රැකියාවට සමුදීලා ලොවපුරා සැරිසරන මිනිසෙක් වෙන්න (Traveller) තීරණය කරනවා. අපි වගේ රටකට නම් ඒක ටිකක් අමුතු තීරණයක් වුණත්. අසර්බයිජානෙ ඉඳලා යුරෝපෙට ආපු මේ අපූරු තරුණයා ඒ තීරණය ගන්න මැලි වුණේ නැහැ. තීරණය ගන්න දවසේ වීඩියෝ එකකුත් ඔහු පටිගත කරලා තියෙනවා.

කොහොම හරි දවුද් ලංකාවට ආවේ 2022 පෙබරවාරි මාසයේදී. තුර්කියෙ ඉස්තාන්බුල් නුවර ඉඳලා තමා ඔහු ලංකාව බලා පියාසර කළේ.  මැදපෙරදිග සහ මධ්‍යම ආසියාවේ රටවල් කිහිපයක ඒ වෙනකොටත් සංචාරය කරලා තිබුණා. ඒත් මේ අපූරු තරුණයා මේ කාලේ හිටියේ තරමක් බලාපොරොත්තු සුන්වීමක.

ආරම්භයේදීම පූර්ණකාලීනව සංචාරකයෙක් විදිහට සංචාරක වීඩියෝ නිර්මාණය කිරීම දවුද්ගෙ බලාපොරොත්තුව වෙලා තිබුණේ. ඒ හරහා ලැබෙන ආදායමෙන් මේ සංචාරක ජීවිතය ඉදිරියට අරගෙන යන්න දවුද් බලාපොරොත්තු වුණා. ඒත් ඔහු හිතපු තරම් සාර්ථකත්වයක් YouTube වගේ මාධ්‍ය ඇතුළේ ලබාගන්න බැරිවුණා. යම් වෙනසක් සම්බන්ධව ලංකාවට එනකොටත් ඔහු කල්පනා කරමින් හිටියෙ.

ලංකාව මේ අලුත් ජීවන චාරිකාවේ දවූද්ගෙ අවසාන ගමනාන්තය වෙන්නත් ඉඩ තිබුණා. ඒත් ලංකාවේ අපේ මිනිස්සු දවූත්ව වැළඳ ගත්තේ වෙනස්ම විදිහකට. දවූත් කියන්නේ අමුතුම ජාතියේ රුවුලක් වවලා කරුංකා ගෙඩියක් විතර කොණ්ඩයක් බැඳගත්ත හයේ හතරේ තරුණයෙක්. ඇත්තටම ටිකක් විතර අමුතු චරිතයක්.

ඒත් අපේ රටේ මිනිස්සු මේ අපූරු වෙනස් තරුණයාට හිතාගන්න බැරි විදියට ආදරයක් ලබාදුන්නා. ඔහු ලබාදී ළබැඳි සරල කරුණාවන්ත හදවතක් තියෙන වෙනස්ම රසක් හොයන කෙනෙක්. අපේ රටේ සාමාන්‍ය මිනිස්සු ඒ වගේ අයට ආදරෙයි. ඉතින් මෙතැනදී මේ අපූරු තරුණයා කෙරෙහි ශ්‍රී ලාංකික ජන සමාජය ප්‍රේමයෙන් වෙළුණා.

හිතාගන්න බැරි විදියට ලංකාවෙ සමාජ මාධ්‍ය ඇතුළෙත් මේ අමුතු අපූරු චරිතය ජනප්‍රිය වෙන්න පටන් ගත්තා. පුදුමෙ කියන්නෙ ඔහුගෙන් නමවත් ගොඩක් දෙනෙක්ට කියවාගන්න බෑ. රට කිව්වම සමහරු දන්නෙත් නෑ. සමහර තැන්වලදී ඔහු මිනිස්සුන්ට කියනවා තමන්ගේ නම ඩේවිඩ් කියලා. තව වෙලාවකට රටේ නම ඇහුවාම තුර්කිය කියලා කියනවා. ඇත්තටම රටයි නමයි ගැන පැහැදිලි කරල දෙන එක දවූද්ට සෑහෙන අමාරු වැඩක් වුණා ඒ කාලේ.

කොහොම වුණත් ලංකාවෙදී ලැබෙන ආදරයට පෙරළා ආදරේ කරන්න මේ අපූරු තරුණයා පටන් ගත්තා. ලංකාව ඔහුට තමන්ගේ දෙවැනි මව්බිම වගේ දැනෙනවා කියල වෙලාවකට ඔහු කියනවා. සංචාරකයෙක් විදියට ඔහු ලස්සන තැන් දකින්න වගේම මිනිසුන් එක්ක ගනුදෙනු කරන්න සංස්කෘතිය දැනගන්න උත්සාහ කරන කෙනෙක්. ලොකුවට මිල මුදල් නැති වුණත් තමන්ට ලැබෙන දෙයින් මිනිස්සුන්ට යම් උදව්වක් කරන්න දවූද් මැලිවෙන්නෙ නැහැ. විශේෂයෙන්ම කුඩා ව්‍යාපාරිකයන්ට කර්මාන්තකරුවන්ට ස්වශක්තියෙන් නැගී සිටින්න උත්සාහ කරන අයට දවූත් උදව් කළා.

මාර්තු මාසේ අවසානය වෙනකල්ම කාලය දීර්ඝ කරමින් ලංකාව පුරා සංචාරය කරපු මේ අපූරු තරුණයා, පස්සෙ ඉන්දියාව බලා පිටත් වෙනවා. මේ ලංකාවේ වෙනකොටත් ඇතිවෙමින් තිබුණු ආර්ථික අර්බුදය ගැන දවූද්ට දැනීමක් තිබුණා. ලංකාවෙන් පිටත් වෙද්දී විශේෂ සටහනක් තියලා විදේශිකයන්ගෙන් වගේම ලංකාවෙන් පිටත ජීවත්වන ශ්‍රී ලාංකිකයන්ගෙනුත් ඔහු විශේෂ ඉල්ලීමක් කරනවා.

''ලංකාවට එන්න ලංකාවට ඇවිල්ලා ඔබගේ මුදල් වියදම් කරන්න. ලංකාවේ ආර්ථිකය ගොඩනඟන්න උදව් කරන්න. මේක පුදුමාකාර දූපතක්. ඕනෑම් දෙයක් මේ දූපත් ඇතුළෙ සිදුවෙන්න පුළුවන්. මෙහි සියල්ලම තියෙනවා.''

මෙහෙම කියපු මේ අපූරු අසර්බයිජානුවා ලංකාවෙන් පිටවෙලා ගියේ තවත් සංවේදී කතා ගොඩක් කිය කියා. මේ එක්කම ඉදිරි මාසවලදී ක්‍රමයෙන් වර්ධනය වුණු වූ ආර්ථික අර්බුදය ඉහවහා ගිහිල්ලා විශාල ගැටලු ගණනාවකට අපි මුහුණ දුන්නා. මිනිස්සු අරගල කරන්න පටන් ගත්තා. මුළු ලෝකෙම අවධානය අපේ දිහාවට ක්‍රමයෙන් යොමුවෙන්නේ රට බංකොලොත් වීමත් එක්ක.

ඉන්දියාව පකිස්ථානය හරහා සංචාරය කරමින් හිටපු මේ තරුණයා අපේ රටේ සිද්ධවෙන දේ දැක්කා. තමන්ට ආදරය කරපු තමන් ආදරේ කරපු මිනිස්සු වෙනුවෙන් මොනවා හරි කරන්නයි කියලා ඔහුට හිතුණේ මෙතැනදී. තමන්ගෙ ගියා ආර්ථික ශක්තියක් සමාජ මාධ්‍ය ශක්තිමත් එකතු කරලා දවූද් ලංකාවේ මිනිස්සුන්ට උදව් කරන්න ව්‍යාපෘතියක් හැදුවා. ඇමෙරිකන් ඩොලර් 10,000ක මුදලක් ලංකාවේ දුප්පත් ජනතාවගේ ආහාරපාන ඇතුළු අවශ්‍යතා වෙනුවෙන් යෙදවීම තමා ඔහුගේ බලාපොරොත්තුව වුණේ.

ඒත් මේ අමුතු අපූරු තරුණයා ඒක ඇමරිකානු ඩොලර් විසි පන්දහයේ සීමාව දක්වා අරගෙන ගියා. ඔහු කෙරේ විශ්වාසය තිබ්බ ලෝකෙ පුරා බොහෝ දෙනා මේ වැඩේට ඔහුට උදව් කළා. කවුරුවත් කියලා නොවෙයි තමන්ම හිතලා ලංකාව වෙනුවෙන් ඉදිරිපත් වෙන මේ තරුණයා මේ වැඩේට විශාල වෙහෙසක් දැරුවා.

අමාරුම දවස්වල ශ්‍රී ලංකාවේ මිනිස්සු තනි කරන්නේ නැති බව කියමින් දවූද් ලංකාවට ආවා. තමන්ගෙ අරමුදල් ඉතාම විධිමත් විදිහට වියදම් කරමින් රටපුරා ජනතාවට උදව් කරන්න පටන් ගත්තා. සැබෑවටම මේ අපූරු තරුණයා අපේ කල්‍යාණ මිත්‍රයෙක් බව පෙන්න ගොඩක් දේවල් පහුගිය ජූලි මාසෙදි සිද්ධ වුණා.

අමාරුම කාලේ වුණත් ලංකාවට ආයෙත් පුංචි සංචාරයක නිරත වෙන්න, ලංකාව ගැන ලෝකෙට කියන්න දවූද් අමතක කරන්නේ නැහැ. ඔහු ලෝකයට ශ්‍රී ලංකාව ගැන කියපු සමහරක් දේවල්වලදී, ශ්‍රී ලාංකිකයෙකුගේ ඇහැට කඳුළක් ආවත් ඒක ඇත්තටම එක පුදුමයක් නෙවෙයි. ඇත්තටම ඔහුට ශ්‍රී ලාංකික හදවතක් තිබෙන බව අපිට දැනුණා.

අද වෙනකොට දවූද් ලෝකේ ඉතාම වේගයෙන් ජනප්‍රිය වුණු Traveller කෙනෙක්. YouTube ඇතුළෙ විතරක් ලක්ෂ දෙකකට වැඩි පිරිසක් ඔහු වටේ ඉන්න. ඉන්දියාව, පකිස්ථානය, මැලේසියාව, ඉන්දුනීසියාවේ බාලී හරහා ගමන් කරපු දවූද් මේ වෙනකොට සංචාරය කරන්නේ නේපාලයේ. කොහේ ගියත් ශ්‍රී ලංකාව ගැන ඔහු සමහර වෙලාවට මතක් කරනවා අපි දකිනවා.

දවූද් කියන්නේ මිනිසෙකුට තියෙන 70ක 80ක ජීවිත කාලය ලෝකේ දකින්න හොඳටම මදි කියලා. ඒ නිසා ඔහු දැන් සංචාරක ජීවිතයට හුරුවෙලා. නමුත් ඔහුම කියන විදියට කැමරාවෙන් එපිටත් ඔහුට ජීවිතයක් තියෙනවා.
නිතරම ඇත්ත කතා කරන, හරි අපූරු විහිලු කරන, අව්‍යාජ මනුස්සයෙක් වුණු මේ අපූරු සංචාරකයා ගැන අපිට තියෙන්නෙ බොහොම ළබැඳි අදහසක්. වෙලාවකට අපිට ඔහුව අපේම කෙනෙක් වගේ දැනෙනවා. ඔහුටත් එහෙමයි.

I නිසල්