2022 මැයි 01 වන ඉරිදා

මළසිරුරු සමඟ එක්වීම මානසික ලෙඩක්

 2022 මැයි 01 වන ඉරිදා, පෙ.ව. 10:00 806

උදේ ඇහැරුණාම මහත්තයාගේ ඇඟ හැමතැනම සීරීම් තුවාල

මම ගැබිණි කාන්තාවක්මි. මගේ මහත්තයා පෞද්ගලික රැකියාවක නිරත වෙයි. ඔහුගේ වයස අවුරුදු 30යි. අපි විවාහවෙලා මාස 4යි. අපි දෙදෙනා තනිවම ජීවත් වෙන්නේ. දවසක් රාත්‍රී 1.00ට පමණ අපි නිදාගෙන ඉද්දී ශබ්දයක් ඇහිලා බැලුවා. බලද්දී ළඟ ගෙදරක කෙනෙකුත් අපේ ගෙවල් පැත්තට (ටෝච්) ගහලා බලනවා. කවුරුහරි කෙනෙක් ඒ වෙලාවේ ඇවිත් කියලයි අල්ලපු ගෙදර අයගෙන් ඇහුවාම කිව්වේ. අල්ලපු ගෙවල්වල අයත් එකතු වෙලා හෙව්වත් කිසිම කෙනෙක් එදා අපිට හමුවුණේ නැහැ. ඒත් එදා රෑ අපි බයෙන් හිටියේ. හොරෙක් වෙන්න ඇති කියල හිතුණ නිසා අපි දෙන්නා සූදානමින් හිටියේ. මේ සිද්ධියෙන් පස්සේ ගෙදර (ලයිට්) පවා දාලයි නිදාගත්තේ. නිදාගෙන පැයකට විතර පස්සේ මහත්තයා එකපාරටම බයවෙලා වගේ කෑගහගෙන නැගිට්ටා. මගේ පපුවටත් පාරක් ගහලා ඇඳෙන් පැන්නා. එයා සාමාන්‍ය තත්ත්වයට පත්වෙන්න ටික වෙලාවක් ගියා. මට හිතුණෙ එයා හීනෙන් බයවෙලා කියලයි. මගෙ පපුවත් ටිකක් රිදෙන්න ගත්තත් මම ඒ අමාරුව එයාට පෙන්නුවෙ නෑ. පැයක් විතර ඇහැරිලා ඉඳලා අපි ආයෙම නිදාගත්තා. ඒත් පහුවදා ඇහැරුණාම මහත්තයාගේ ඇඟ හැමතැනම සීරීම් සලකුණු තිබුණා. ඒත් එයාවත් මමවත් දන්නෙ නැහැ එහෙම සීරීම් සලකුණු හැදුනෙ කොහොමද කියලා. එයාම හූරගෙනද කියලත් මට සැක හිතුණා. ඒත් එයාගෙ දෑත්වල නියපොතු කොටටම කපා තියෙන නිසා මට මේ සිදුවීම තාමත් ප්‍රශ්නයක්. අපි දෙන්නම මේ සිද්ධිය නිසා ගොඩක් බයවෙලා ඉන්නේ. එදායින් පස්සේ හැමදාම රූ වෙද්දී අපිට නිදාගන්නත් බයයි. අපි දෙන්නා තනියම ඉන්න නිසා අපිට කරකියාගන්න දෙයක් නැතුවයි ඉන්නේ. මගේ මහත්තයා දැන් පොඩි දේටත් බය වෙනවා. එදා රූ හොරෙක් ආපු සිද්ධිය නිසා අපි තවමත් රූට මුළු ගෙදරම (ලයිට්) දාලයි නිදාගන්නේ. අපිට මේක හිසරදයක්. විසඳුමක් දෙන්න.

රේණුකා - ගල්කිස්ස

පිළිතුර:

ඔබ යොමුකර ඇති ප්‍රශ්නය අනුව පැහැදිලි වන දෙයක් වනුයේ මෙම තරුණයා තමන් නොදැනුවත්වම තම ශරීරය සූරාගැනීමක් වනවා වීමට පුළුවන. එසේත් නැතිනම් බිරිය නොදැනුවත්ව සැමියාගේ ශරීරය සූරනවා වන්නටත් පුළුවන්. එසේත් නැතිනම් වෙනත් කෙනකු මෙය සිදුකරනවා යැයි සිතන්නටත් පුළුවන්. එහෙත් වෙනත් කෙනකු තමන් නිදා සිටියදී තමන්ගේ ශරීරය සූරනවා නම් තමන්ට අවදි වෙනවා. බාහිර පුද්ගලයකු පැමිණ තමන් නොදැනුවත්ව තමන්ගේ ශරීරය සූරනවා යැයි සිතීමට අපහසුය. (ලයිට්) දමා තියෙද්දී මෙය සිදු නොවෙනවා කියා ඔබ කියනවා. මෙම සිදුවීම යම් අදෘශ්‍යමාන බලවේග සම්බන්ධයෙන් යම් අනුමානයක් කරනවා නම් එය ඔබට ඔබේ ආගම අනුව සුදුසු ආගමික ශාස්තෘවරයකු ලවා හෝ එම විෂය ප්‍රවීණයකු ලවා පැහැදිලි කරගැනීම සුදුසුයි. මෙම සිදුවීමෙන් ඔබ දෙදෙනාට ඇතිවී ති‍බෙන බය නැතිකර ගැනීම සඳහා ඔබට විශ්වාසවන්ත පවුලේ සමීපතමයකු ටික කලකට හෝ නිවෙසේ නතර කරගැනීමට හැකි නම් එය මෙම ප්‍රශ්නය තාවකාලිකව විසඳාගැනීමට ප්‍රායෝගික පිළියමකි. මේ සම්බන්ධයෙන් වැඩිදුර උපදෙස් සඳහා නිසි මනෝ උපදේශකවරයකුගේ සහාය ලබාගන්න.

කාන්තාවක් වෙන්න ආසයි

මම වයස අවුරුදු 37ක අවිවාහකයෙක්. වසර ගණනාවක් තිස්සේ පෙම් සබඳතා කිහිපයක් තිබුණත් ඒ කිසිවක් විවාහය දක්වා දුර ගියේ නැහැ. දැනට මව සහ පියා සමඟ වාසය කරනවා. දැනට වසර පහක පමණ ඉඳලා කාන්තාවක් වීමේ ආශාවක් සහ හැඟීම් මට ඇතිවෙලා. කාන්තා ඇඳුම් අඳින්න ආසයි. බොහෝ අවස්ථාවන්වලදී කාන්තාවන් දිහා බලාගෙන ඉන්නවා. වෙළෙඳසැල්වලට ගිහින් කාන්තා ඇඳුම් අල්ලලා බලලා එනවා. කාන්තා ඇඳුම් රහසිගතව අන්තර්ජාලය හරහා ගෙන්වාගෙන තිබෙනවා. කාන්තා ශරීරය වගේ මටත් හදාගන්න ආශාවක් තිබෙනවා. කාන්තාවක විවාහ කරගැනීමට දැන් කිසිම ආශාවක් නැහැ. කාන්තාවක් වීමේ ආශාව එන්න එන්නම වැඩිවෙනවා. මේ නිසා මම දැන් කොණ්ඩය කපන එකත් නතර කරලයි තිබෙන්නේ. ප්‍රසිද්ධියේ කාන්තා ඇඳුම් අඳින්න බැරි නිසා ඇතැම් වෙලාවට රහසිගතව තනිවම මම කාන්තා ඇඳුම් ඇඳගෙන ඉන්නවා. මට මෙය පාලනය කරගන්න අමාරුයි. කුමක් කළ යුතුද? 

මයුර - ගාල්ල

පිළිතුර:

මෙම ප්‍රශ්නයේදී පළමුව කිවයුතු වන්නේ මෙවැනි සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයෝ මෙරට තවත් සිටිති. එහෙයින් මෙම ප්‍රශ්නයෙන් පීඩා විඳින එකම පුද්ගලයා ඔබ යැයි නොසිතන්න. මෙවැනි පුද්ගලයන්ට මෙම ස්වභාවය තමන්ට අවශ්‍ය පරිදි වෙනස් කරගැනීමට හෝ අවශ්‍ය නීති සහාය, සෞඛ්‍ය උපදෙස් ඇතුළු අවශ්‍ය සේවා සිදුකරගැනීමට ඔවුන්ටම වෙන්වූ මෙරට විධිමත් උපදේශන ආයතන තිබේ. ඒ වගේම හෝර්මෝන වෙනස් කරගැනීම , ලිංගික අවයව වෙනස් කර ගැනීම වැනි වෛද්‍ය සේවා කටයුතුද ලෝකයේ දියුණු තාක්ෂණය සමඟ මේ වනවිට පවතී. එහෙත් ලංකාව වැනි ආසියාතික කලාපයේ රටවල මෙවැනි පුද්ගලයන් විවෘතව පිළිගැනීමට සංස්කෘතික යම් යම් සීමා මායිම් තිබේ. ඒ කෙසේ වෙතත් ඔබ යොමුකර ඇති ප්‍රශ්නය අනුව ඔබට ඉහත කී තත්ත්වය සම්බන්ධයෙන් වැඩිදුර වෛද්‍ය උපදෙස් අවශ්‍ය නම් ඒ සම්බන්ධයෙන් සිටින නිසි මනෝ උපදේශකවරයකුගෙන් උපදෙස් ලබාගෙන වැඩිදුර ප්‍රතිකාර අවශ්‍ය නම් ඒ ඉදිරි කටයුතු සිදුකිරීමෙන් ඔබට මෙම තත්ත්වය වෙනස් කරගැනීමට හැකියාව ලැබේ.

මැරිච්ච තරුණ කෙල්ලන් එක්ක ඉන්න ආසයි

මා සාමාන්‍ය පෙළ විභාගයෙන් පසුව කෙටි කාලයක් මෝචරියක වැඩ කළා. දැන් මගෙ වයස අවුරුදු 22යි. මෝචරියේ වැඩ කළේ මට වඩා අවුරුදු 10ක් විතර වැඩිමල් අයියා කෙනෙක්. එයාගේ අත්උදව්වටයි මම හිටියේ. අනතුරුවලට ලක්වෙලා හදිසියේ මියයන ඉටිරූප වගේ තරුණ ගැහැනු ළමයි මෝචරියට ගේනවා. එහෙම ගෙනාවාම ඒ අයියා ඒ අයත් එක්ක ගොඩාක් වෙලා ලිංගිකව හැසිරෙනවා මම දැකලා තියෙනවා. අහම්බෙන් මම දවසක් එහෙම සිද්ධියක් දැක්කා. දැන් මට තියෙන ගැටලුව එදා දැකපු දේ මටත් දැන් කරන්න හිතෙනවා. මම එය බොහොම අමාරුවෙන් පාලනය කරගෙන ඉන්නේ. කොච්චර හිතුවත් ආයෙ මෝචරියට යන්නෙ නැහැ කියලා ඒත් යන්නමයි හිතෙන්නේ. මෝචරියේ අයියා කරන දේ දිහා බලාගෙන මම රසවිඳිනවා. මට මෙය නවත්වාගන්න උදව් කරන්න. 

සාලිය - කොළඹ

පිළිතුර:

මළ සිරුරු සමඟ සම්බන්ධ වී ලිංගික කාර්යයේ නිරතවීමට දක්වන රුචිකත්වය නෙක්රොෆීලියා (Necrophilia) කියන රෝගී තත්ත්වය ලෙස මනෝ විද්‍යාවේ හඳුන්වයි. මෙවැනි අය ලිංගික තෘප්තිය ලැබීමට කැමති වන්නේ මළ සිරුරු සමඟ පමණයි. මෙම ව්‍යාකූල අසාමාන්‍ය තත්ත්වයේ ආකාර 10 ක් පමණ ඇතත් මා එය විස්තර කිරීමට මෙම පිළිතුරේදී උත්සාහ නොකරමි. ඒ මන්ද එයත් යම් ආකාරයක යමකුට පෙළඹවීමක් වේවි යැයි සැක හෙයිනි. මෙවැනි පුද්ගලයන් මෙම ක්‍රියාවේ නිරත වන්නේ මෙවැනි අවස්ථා ලැබීමෙන් පමණය. ප්‍රශ්නයේ යොමුකර ඇති පරිදි මෙහි විස්තර කරන කථිකයාගේ මිතුරකු බව කියන පුද්ගලයා වසර ගණනාවක් තිස්සේ මෙහි රාජකාරි කරන අයකු නම් ඔහු මෙම ක්‍රියාවේ නිරත වෙනවා වීමට පුළුවන. ඔහුට මා ඉහත කී පරිදි රෝගී තත්ත්වය දක්වා වර්ධනය වී ඇත්දැයි සලකන්නත් පුළුවන්. පළමුව කිව යුතු වන්නේ මෙම ප්‍රශ්නය යොමුකරන ඔබ මෙම ඇබ්බැහියෙන් වහා මිදිය යුතුයි. ඔබ දැනටත් මෝචරියක තවදුරටත් සේවය නොකිරීමෙන් මෙම ඇබ්බැහිය මුළුමනින් නවතා දැමීමට එය ඔබට පහසුවක් වෙයි. ඔබට ප්‍රේම සම්බන්ධතා තිබෙනවාද යන්න සම්බන්ධයෙන් මෙහි සඳහනක් නොමැත. ඔබ පවසා ඇති පරිදි මෙම ප්‍රශ්නය යොමුකරන විටත් ඔබේ වයස 22ක් හෙයින් ඔබට ප්‍රේම සම්බන්ධතාවකට යොමුවීමට මම ඔබ උනන්දු නොකරමි. අනාගතයේ  සුදුසු කාලයේ සුදුසු වයසකදී ඔබ විවාහ ජීවිතයකට එළඹීමෙන් පසු මෙම ගැටලුව නිරායාසයෙන් විසඳෙනු ඇත. එහෙයින් දැනට ඔබට මෙම ගැටලුව රෝගයක් බවට පත් වී නැතැයි සිතමි. එහෙත් මෙය රෝගයක් දක්වා දුරදිග නොයාමට ඔබ තරයේ වගබලාගත යුතුය. එහෙයින් මෙම ඇබ්බැහියෙන් ඔබ ඉවත් වීම සුදුසුය.

මේ සම්බන්ධයෙන් කිව යුතු තවත් විශේෂම කරුණක් ඇත. එනම් මෝචරිවල මෙවැනි සිදුවීම් වාර්තාවීම කනගාටුදායකය. එය රටේ නීතිය අනුව අදාළ බලධාරීන් එක්ව මෙවැනි දෑ නොවීමට වගබලා ගැනීම වැදගත්ය. මෙම සිදුවීම තමන්ගේ කෙනකුට සිදුවුවහොත් තම තමන් කෙසේ මෙයට පිළිතුරු සපයාවිද? එහෙයින් මෙම සිදුවීමත් දණ්ඩ නීති සංග්‍රහය අනුව දඬුවම් ලැබිය හැකි බරපතළ වරදකි. එහෙයින් මෙවැනි සිදුවීම් වාර්තා නොවීමටත්, මෙවැනි ක්‍රියාවල නිරතවන්නන් ඉන් මුදවාගැනීමටත් ක්‍රියාකිරීමට පොලීසියට මෙන්ම රෝහල් බලධාරීන්ටත් වගකීමක් තිබේ.

(මෙහි එන පෞද්ගලික අත්දැකීම්වල නම් ගම් මනඃකල්පිත බව සලකන්න)  
ලබන සතියේ ඔබේ ප්‍රශ්නයෙන්  හමුවෙමු. 
         

ආදරය , විවාහය , ජීවිතය ගැන තරුණ ඔබ විඳවන ප්‍රශ්නය ඔබ කැමැති නමකින් කෙටියෙන් අපට කියන්න. ඔබේ නම, රුකියාව කුමක් වුවත් හිතේ විඳවන ප්‍රශ්නයට හොඳම උත්තරය හදසරෙන්. 

‍ෆේස්බුක් ෆෑන් පේජ් මැසේජ්
ජීවිතේ  රිදෙන තැන් (Jeewithe ridena then)
ෆේස්බුක් නැත්නම් මෙහෙම ලියන්න.
Email - Jeewitheridenathen@gmail.com

සංස්කාරක, 
“ජීවිතේ රිදෙන තැන්”
හදසර අතිරේකය, දේශය පුවත්පත
නො 08, හුණුපිටිය හරස් පාර, කොළඹ 02.

I සසංක චලන ගිම්හාන