2022 අප්‍රේල් 24 වන ඉරිදා

කොච්චර එපා කීවත් එයා ඉන්නෙම නිරුවතින්

 2022 අප්‍රේල් 24 වන ඉරිදා, පෙ.ව. 10:01 1834

ගෙවල්වල රෙදිවැල්වල කාන්තා යට ඇඳුම් නැතිවෙනවා

මේ ප්‍රශ්නය යොමු කරන්නේ මාගේ ඥාති දරුවකුගේ කාලයක් තිස්සේ දකින්න ලැබෙන පුරුද්දකට විසඳුමක් අපේක්ෂාවෙනි. මේ දරුවාට වයස අවුරුදු 20ක් විතර ඇති. ඔහු තදින්ම මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහි වෙලා ඉන්නවා කියලාත් ගමේ ආරංචි පැතිරිලා තියෙනවා. සමහර සොරකම්වලටත් යොමුවෙලා ඉන්නවා. දැන් අවුරුද්දක විතර ඉඳන් ළඟපාත ඉඩම්වලට හොරෙන් ඇතුළු වෙලා ඒ ගෙවල්වල රෙදි වැල්වල වනා තිබෙන කාන්තා යට ඇඳුම් සොරකම් කරන්න මේ දරුවා පුරුදුවෙලා ඉන්නවා. අවට ගෙවල්වලටත් මේක විශාල කරදරයක්. හිරිහැරයක්. කිහිප සැරයක් මොහුට දඬුවම් කළත් මේ පුරුද්ද නවත්තගන්න බැරිවෙලා තියෙනවා. මේ දරුවා යහමඟට ගන්න මේ සම්බන්ධයෙන් මට උපදෙසක් ලබාදෙන්න.

ප්‍රනාන්දු - ගල්ගමුව

පිළිතුර:

ඔබ යොමුකර ඇති ප්‍රශ්නය අනුව මෙම තරුණයාට අසාමාන්‍ය ලිංගික චර්යාවක් ඇතැයි සිතන්නට පුළුවන. මත්ද්‍රව්‍ය පානය කිරීම ඇබ්බැහියක්. ඒ වගේම සමාජ විරෝධී දෙයක්. මෙම තරුණයා දිගින් දිගටම මෙම මත්ද්‍රව්‍ය පානය කිරීම තුළින් මේ ආකාරයට අසාමාන්‍ය සිතිවිලි ජනිත වෙනවා වෙන්නත් පුළුවන්. මේ ආකාරයට යටඇඳුම් සොරකම් කිරීම, පැළඳීම, අතපත ගෑම ආදී චර්යා අප මනෝවිද්‍යාවේ හඳුන්වන්නේ පූජා ලාංඡන කාමුකත්වය කියාය. සාමාන්‍ය ලිංගික තෘප්තිමත් භාවයෙන් තොරව මොහුගේ මේ ඇතැයි කියන ලිංගික චර්යා ඇතිවීමට හේතුව කුමක්දැයි විමසා බැලීම අත්‍යවශ්‍යයි. මෙහිදී කළයුතු සුදුසුම පියවර වන්නේ මෙම දරුවා උපදේශනයකට යොමු කිරීමයි. ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල නොමිලයේ උපදේශනය සපයන මනෝ උපදේශකවරු සිටිති. මතට ගොදුරු වූ පිරිස් යහමඟට ගැනීමට පුනරුත්තාපන මධ්‍යස්ථාන තිබෙනවා. මෙම තරුණයාට තරවටු කර මෙම ප්‍රශ්නය විසඳීමට අපහසුය. පොලීසිය හරහා මැදිහත්වීමක් සිදුකර හෝ මෙම තරුණයා උපදේශනයකට යොමුකළ හැකිනම් මෙම ප්‍රශ්නය නිවැරදි ආකාරයට විසඳීමට පුළුවන. දැනට මුහුණ දී සිටින සමාජ අපහසුතාවෙන් මිදීමටද එය රුකුලක් වෙයි.

නිතරම ඇඳුම් ගලවගෙන ඉන්න ආසයි

මාත් එක්ක එක කාමරේ තව යෙහෙළියක් ඉන්නවා. එයාගෙ වයස අවුරුදු 28යි. අපි දෙන්නාම එක විශ්වවිද්‍යාලයට එකට ගිහින් ඉවරවෙලා දැන් බෝඩිමක නැවතිලා රස්සාවකට යනවා. එයා සමාජශීලි කෙනකුත් නෙමෙයි. නිහඬ චරිතයක්. අපේ බෝඩිම තියෙන්නේ නාගරික ප්‍රදේශයක උඩ තට්ටුවකයි. නිතරම පාරෙ පිරිමිත් එහාට මෙහාට යනවා. මගෙ යෙහෙළියගේ නරක පුරුද්දක් මම දන්න කාලෙක ඉඳන් තියෙනවා. විශ්වවිද්‍යාලේ යන කාලේ හොස්ටල් ඉද්දීත් ඇඳුම් බාගෙට ඇඳන් හිටියා. ඒත් දැන් තරම් නෑ. දැන් බෝඩිමේදී වෙලාවක් කලාවක් නැතිව නිතරම ඇඳුම් ගලවගෙන ඉන්න පුරුදුවෙලා ඉන්නවා. එක්කො බාගෙට ඇඳගෙන ඉන්නවා. එහෙම නැත්නම් ඇඳුම් නැතිවම ඉන්නවා. මම ගොඩාක් වෙලාවට ඇයට නිතරම කියනවා ඔයාගෙ වයසත් එක්ක ලොකු ගැහැනු ළමයෙක් ඔහොම ඉන්න එක හොඳ නෑනෙ කියල. ඒත් එයා ඒවා කිසි කනකට ගන්නේ නෑ. මම එහෙම කිව්වාම එයා කියන්නේ ''මම කැමති එහෙම ඉන්න. ඔයාටත් ඕනෑ නම් එහෙම ඉන්න'' කියලා. එයා නිරුවතින් ඉන්න ගමන් ස්වයං වින්දනය කරනවා. අවයව අත ගානවා. ගොඩක් දවස්වලට ඒ දේ කරනවා. මම ගොඩාක් වෙලාවට මේ කරන දේවල් දැක්කත් නොදැක්කා වගේ ඉන්නවා, දැන් කියලා වැඩක් නැති නිසා. එයාගෙ පොත් අස්සේ නිරුවත් ඡායාරෑප වගේ ඒවා තියෙනවා මම දැකලා තියෙනවා. මට මේ පුරුද්දෙන් යෙහෙළිය ගලවගන්න කියලා දෙන්න තේරෙන්නෙත් නෑ. මම මට පුළුවන් උපරිම කියනවා. ඒත් වැඩක් නෑ. මගේ යෙහෙළිය වුණාට මට එක වෙලාවකට බයයි මෙයාත් එක්ක ඉන්නත්. මට තේරුම් ගන්න බෑ මෙයා ඇයි මෙහෙම කරන්නේ කියලා. මට දැනගන්න ඕනෑ මේක මානසික ගැටලුවක්ද නැද්ද කියලා. මගේ යෙහෙළියගේ පුරුද්ද නැති කරවන්න කුමක් කළ යුතුද ?

ශ්‍රියානි - කන්තලේ 

පිළිතුර:

මෙම ප්‍රශ්නයට අනුවත් මෙම තරුණියගේ ඇතැයි කියන හැසිරීම ලිංගික තෘප්තිමත් වීමට යොමු වූ අසාමාන්‍ය චර්යාවක්. මෙය අප ම‍නෝවිද්‍යාවේ හඳුන්වන්නේ ප්‍රදර්ශන කාමුකත්වය කියලා. මෙම තරුණිය මෙම චර්යාවන්ට ගොදුරු වූයේ ඇයි යන්නට අපට උපකල්පන ඉදිරිපත් කළ හැකිය. ඇතැම් අවස්ථාවල පුරුෂ ආකර්ෂණය නොලැබීම නිසාත් ඇය මෙවැනි හැසිරීමක් දක්වනවා වීමට පුළුවන. මෙම ප්‍රශ්නය යොමුකරන ඔබ ඔබේ මිතුරියට කරුණු පැහැදිලි කිරීමට උත්සාහ ගත්තත් ඇය මේ අවස්ථාවේ එම කරුණු පැහැදිලිව වටහාගැනීමට සුදුසු මානසික පරිසරයක නොසිටිනවා වීමට පුළුවන්. එසේම ඇය කරන්නේ වරදක් යැයි නොතේරෙනවා වීමටද පුළුවන්. අනෙක් කාරණය ඔබ මෙහි කියා තිබෙනවා ඔබේ මිතුරිය නිරුවතින් සිටින ගමන් ස්වයං වින්දනය කරනවා කියලා. මෙම කාරණය පිරිමි ගැහැනු දෙපාර්ශවයම බහුතරයක් සිදුකරන්නක්. එහෙයින් මෙය මානසික ගැටලුවක් නොවේ. මෙය එක්තරා ආකාරයකට තනිවම ලබන ලිංගික තෘප්තියක්. එහෙත් එම කාර්යයෙන් අනෙක් අයට අපහසුතාවක් ගෙන එනවා නම් එය අසාමාන්‍යයි. එය ගැටලුවක්. මෙම සිතිවිලි වෙනස් කිරීමට මෙහිදීත් සුදුසුම පියවර වන්නේ ඇයගේ මවුපියන් හෝ භාරකරුවන් දැනුවත් කර ඇය මනෝ උපදේශනයකට යොමුකිරීමයි. අනෙක් කාරණය ඇය මේ ආකාරයට හැසිරීමට හේතුව කුමක්දැයි පරීක්ෂා කර බැලීම වැදගත්. ඇතැම්විට මෙවැනි දේවලට ගොදුරු වන්නේ ඔවුන්ට කුඩා කල පටන් වූ තාඩන පීඩන පිටකර ගැනීමේ මාර්ගයක් ලෙසයි. මේ ආකාරයට ප්‍රදර්ශන කාමුකත්වයට ගොදුරු වූ පිරිස් බොහොමයක් සමාජයේ දකින්න ලැබේ. ඇතැම් අවස්ථාවල සරසවි ආසන්නයේ, සරසවි නේවාසිකාගාර ආසන්නයේ වැනි ස්ථාන ඔවුන්ගේ නැවතුම්පොළ වී තිබෙනු දැකිය හැකිය. මෙම ප්‍රශ්නයේ සඳහන් කර තිබෙනවා අඩ නිරුවත් ඡායාරෑප ළඟ තබාගෙන සිටිනවා කියා. මෙය මානසික ගැටලුවක් කියා පැවසීමට මම ඉක්මන් නොවෙමි. එහෙත් දීර්ඝකාලීනව සීමාව ඉක්මවා මෙම කාර්යයන්වල නිරතවීම යම් මානසික ව්‍යාකූල තත්ත්වයක්ද යන්න පැහැදිලි කර ගත යුතුයි. එහෙයින් ඉහත කී පරිදි සුදුසුම දේ මනෝ උපදේශනයකට මෙම  තරුණිය සම්බන්ධ කරවීමයි.

කතා කරද්දි කෙළ විසිවෙනවා

මගේ දියණියගේ වයස අවුරුදු 11යි. ඒ මගේ පොඩි දුව. දුවට වයස අවුරුදු 6දී එයාගේ අම්මා නැතිවුණා. එදා ඉඳලා මගේ දුවලා හතරදෙනාම මමයි බලාගත්තේ. පොඩි දුව මේ මෑතක ඉඳලා ඉස්කෝලේ යන්න ගොඩක් අදිමදි කරනවා. දුවට ඉස්කෝලේ ළමයි විහිළු කරනවා කියනවා. දුව කතා කරද්දී කෙළ විසිවෙනවා. මේ නිසා ඉස්කෝලෙ ළමයි එයාට නමකුත් දාලා. මේ සිද්ධිය නිසා වෙන්න ඇති දුවට යාළුවො නැහැ. එයා මේ ගැන ගොඩක් හිතේ අමාරුවෙන් ඉන්නේ. පොඩි දරුවො නිසා අනිත් ළමයිට තේරෙන්නෙ නැතුව ඇති දරුවාට විහිළු කරන එක හොඳ නැහැ කියලා. කතා කරද්දී කෙළ විසිවෙන එක දුවට පාලනය කරගන්න බැහැලු. පොඩි දවස්වල එයාට එහෙම තිබුණෙ නැහැ. ඒත් දුව දැන් ඉස්කෝලෙ යන්න බැහැ කියනවා. අපිත් එක්කවත් දැන් වෙනදා වගේ කතාබහ කරලා ඉන්නෙ නැහැ. මුළුගැන්විලාමයි ඉන්නේ. දුව දැන් ගොඩක් වෙනස්වෙලා. දුවව යථා තත්ත්වයට පත්කරගන්න උපදෙසක් දෙන්න. 

සමන් - තල්දූව

පිළිතුර:

මව මියගිය දා පටන් තම දරුවන් සිවුදෙනාගේ යුතුකම් ඉටුකරන පියකු ලෙස පළමුව ඔබේ කැපවීම අගයකරමි. පන්තිභාර ගුරුවරයාට පන්තියේ සිටින සෑම සිසුවකු සිසුවියක ගැනම පූර්ණ අවබෝධයක් තිබිය යුතුයි. ඒ වගේම පන්තියේ සිසුවකුට යම් අසාධාරණයක් වනවා නම් ඒ වෙනුවෙන් පෙනී සිටින්න පන්තිභාර ගුරුවරයාට හැකි විය යුතුයි. පන්තියේ හුදෙකලා වූ දරුවන් සිටිනවා නම් ඔවුන් සමඟ සාකච්ඡා කර ඔවුන් තනි නොවීමට සලස්වා මිතුරන් සමඟ මුහු කිරීමට ගුරුවරයාට පුළුවන. එහෙයින් මෙම ප්‍රශ්නය විසඳීමට මැදිහත් කර ගත හැකි සුදුසුම පුද්ගලයා වන්නේ පන්තිභාර ගුරුවරයායි. ඒ වගේම ඇතැම් පාසල්වල දරුවන්ගේ ගැටලු නිරාකරණයට මනෝ උපදේශනය පිළිබඳ දැනුමැති ගුරුවරයකු හෝ ගුරුවරියක පත් කර සිටිනවා. මෙවන් අවස්ථාවක ඔවුන්ගේ සහාය ලබාගත හැකියි. කතා කරද්දී කෙළ විසිවෙනවා යැයි කියන තත්ත්වය ඇති වී ඇත්තේ මෑතකද? එසේ නැතිනම් කවදා පටන්ද යන්න ප්‍රශ්නයේ සඳහන් කර නොමැති නිසා ඒ සම්බන්ධයෙන් නිශ්චිත නිගමනයක් ලබාදීමට අපහසුය. කුඩා කල පටන් මෙම දැරිය කතා කරන අවස්ථාවල නිතරම කෙළ විසිවනවා නම් එය ඇතැම්විට මුඛයේ සහ දත්වල පිහිටීම අනුව සිදුවීමටද පුළුවන. එසේ නම් එයට වෛද්‍ය විද්‍යාත්මක ප්‍රතිකාර ලබාගැනීම අත්‍යවශ්‍යයි.  එසේත් නැතිනම් මෙම දැරියගේ වචන හසුරුවන ආකාරයේ ගැටලුවක් තිබෙනවාදැයි පරීක්ෂා කර බැලීමත් උචිතයි. කථන චිකිත්සකවරුන් මාර්ගයෙන් මෙය පරීක්ෂාවක් කරගන්න. පළමුව කළ යුතු වන්නේ මෙම ගැටලුව වෛද්‍ය විද්‍යාත්මක ප්‍රශ්නයක්ද එසේ නොමැතිනම් මනෝ විද්‍යාත්මකව පිළිතුරු සෙවිය යුතු ප්‍රශ්නයක්දැයි විමසා බැලිය යුතුයි. පන්තිභාර ගුරුවරයා දැනුවත් කර දරුවාගේ හුදෙකලා වීමට හේතු සොයා එයට විසඳුමක් ලබාදීමට කටයුතු කරන්න. ඒ වගේම මෙම දරුවා පවුලේ බාලම දරුවා වූ විට ප්‍රශ්නයේ සඳහන් කර ඇති වයස් සීමාව සැලකීමේදී මවගේ ආදරය ලැබූ කාලසීමාව පිළිබඳත් ප්‍රශ්නයක් ඇතැයි සිතමි. එහෙයින් දරුවන් තනි නොකර ආදරය ලබාදෙන්න. මෙවැනි දරුවන් ධනාත්මක ප්‍රවේශයකට ගැනීමට පන්තිභාර ගුරුවරයාට විශාල කාර්යභාරයක් තිබේ.

(මෙහි එන පෞද්ගලික අත්දැකීම්වල නම් ගම් මනඃකල්පිත බව සලකන්න)  
ලබන සතියේ ඔබේ ප්‍රශ්නයෙන්  හමුවෙමු.

     

ආදරය , විවාහය , ජීවිතය ගැන තරුණ ඔබ විඳවන ප්‍රශ්නය ඔබ කැමැති නමකින් කෙටියෙන් අපට කියන්න. ඔබේ නම, රුකියාව කුමක් වුවත් හිතේ විඳවන ප්‍රශ්නයට හොඳම උත්තරය හදසරෙන්. 

‍ෆේස්බුක් ෆෑන් පේජ් මැසේජ්
ජීවිතේ  රිදෙන තැන් (Jeewithe ridena then)
ෆේස්බුක් නැත්නම් මෙහෙම ලියන්න.
Email - Jeewitheridenathen@gmail.com

සංස්කාරක, 
“ජීවිතේ රිදෙන තැන්”
හදසර අතිරේකය, දේශය පුවත්පත
නො 08, හුණුපිටිය හරස් පාර, කොළඹ 02.

I සසංක චලන ගිම්හාන