2022 ජනවාරි 08 වන සෙනසුරාදා

කොච්චර නැටුවත් වැඩේ වැරදුණා...

 2022 ජනවාරි 08 වන සෙනසුරාදා, පෙ.ව. 10:01 323

මේ දිනවල ජනප්‍රිය චිත්‍රපටයක් වන Underpants Thief (ජංගි හොරා) චිත්‍රපටයේ කරුණා ලෙසින් චරිත නිරූපණය කරන බුද්ධි රන්දෙණිය, සිඳූ ටෙලිනාට්‍යයට හා පියාඹන මූනිස්සම් ටෙලිනාට්‍යයටද රංගනයෙන් දායක වන්නීය.

සැබෑ නම බුද්ධි රන්දෙණිය වුණත් මේ දවස්වල බුද්ධි ජනප්‍රිය වෙලා තියෙන්නෙ කරුණා කියන චරිතයත් එක්කයි?

ඔව්.. කරුණා කියන්නෙ සෝමරත්න දිසානායක මහතා අධ්‍යක්ෂණය කරන, රේණුකා බාලසූරිය මහත්මිය නිෂ්පාදනය කරන Underpants Thief (ජංගි හොරා) කියන චිත්‍රපටයේ මම රඟපාන චරිතයයි. මට ඒ අවස්ථාව ලැබුණේ මේ චිත්‍රපටයේ සහාය අධ්‍යක්ෂකවරයෙකු ලෙස කටයුතු කළ දමින්ද මඬවල මහතා හරහායි. දවසක් මම මගේ අධ්‍යක්ෂකතුමාගේ නිවසේ තිබුණු තිර පරීක්ෂණයකට සහභාගි වුණා. එදා නිෂ්පාදකතුමිය ඇතුළු කණ්ඩායමත් ඇවිත් හිටියා. එදා &මෙයා චරිතයට ගැලපෙනවා. මේක කරනවාද කියලා එයාගෙන් අහලා බලන්න කියලා අධ්‍යක්ෂකතුමා කිව්වා.

කරුණාගේ චරිතය සමාජයේ මිනිසුන්ගේ කතාබහට ලක්වන ඇතැම්විට විවේචනයට ලක්වන චරිතයක් ෙවයි කියලා දෙගිඬියාවක් බුද්ධිට තිබුණේ නැද්ද?

නැහැ. පිටපත අතට දීලා බලලා දවස් තුනකින් වචනයක් කියන්න කියලයි කිව්වේ. ඒත් පිටපත කියවලා මම මේකට කැමැත්ත ලබා දුන්නා. ඒ වෙද්දි මම විශ්වවිද්‍යාල ඉගෙනුම අවසන් කළ අලුතමයි. 2015 වසරේදි තමයි මට මේ ආරාධනාව ලැබුණේ. මම සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා රංග කලා විශේෂවේදී උපාධිධාරිනියක්. පිටපත කියවද්දි මේක රහක් තියෙන පිටපතක් කියලා මට දැනුණා. රඟපාන්න පුළුවන් තැන් මේ චරිතයේදි මට හසු වුණා. ඒ වෙද්දිත් මම මනෝ විද්‍යාව විෂයක් විදිහට හදාරමින් හිටපු කෙනෙක්. අදටත් මම වෘත්තියෙන් මනෝ චිකිත්සකවරියක් විදිහට වැඩ කරනවා. ඒ මම ඉගෙන ගන්න විෂයන් දෙක නිසාත් මේකෙ රහක් මට දැනුණා. මම වැඩේට සීයට සීයක් කැමති වුණා.

චිත්‍රපටය තිරගත වෙද්දි කොහොම ප්‍රතිචාර ලැබේවි කියලද රූගත කරන කාලෙදි හිතුණේ?

ඇත්තටම මට රෑගත කිරීම් කරද්දි ඒ දේ දැනුණා. මම පුංචි කාලේ අපේ වෛරය චිත්‍රපටයේ රඟපෑ නිළියට ආසා කළා. ඒ කාලේ මට රඟපෑම ගැන දැනුමක් තිබුණේ නැතිවුණාට ලොකු හැකියාවක් දක්ෂතාවයක් තිබුණු නිළියක් කියලා මට දැනුණා. නමුත් ඇයව මේ සමාජය අවභාවිත කළා. මේ පිටපත ගනිද්දි මට ඇයව මතක් වුණා. නිළියක් විදිහට ඇයව මේ සමාජය ස්ථාවර කළේ කොතැනද කියලා මට දැනුණා. මේක ඊට වඩා හාත්පසින්ම වෙනස් මනෝ විද්‍යාත්මක පසුබිමක් තියෙන නිර්මාණයක් නිසා මම ඒ අභියෝගය බාරගත්තා. මම නිහඬව ලැබෙන ඕනෑම ප්‍රතිචාරයක් බාරගන්නවා කියලයි හැම මොහොතකම හිතුවේ. අපි දින විස්සක් එකදිගට මේ දර්ශන තලවල වැඩ කළා. වෘත්තීය මට්ටමේ දර්ශන තලයන්ට තමයි මට සම්බන්ධ වෙන්න ලැබුණේ. වෘත්තීය ගෞරවය සහ ආදරය රුකවරණය මට ලැබුණා. මාව මානසිකව අපහසුතාවට පත් නොවන විදිහට කණ්ඩායම වැඩ කළා.

බුද්ධි පුංචි කාලේ ඉඳන්ම ආසා කළේ රංගන ශිල්පිනියක් වෙන්නද?

පුංචි කාලේ ඉඳන් මම නර්තන ශිල්පිනියක් වෙන්න හීන දැක්කා. හැබැයි මගේ අම්මා මාව අධ්‍යාපනය පැත්තට යොමු කරලා මගේ හීනය විනෝදාංශයක් කර ගන්න කියලා දුන්නා. විභාගයට ලකුණු හැත්තෑ පහට වැඩිය ගත්තොත් මට නැටුම් පන්තියට යන්න ඉඩ දුන්නා. ඒ නිසා මගේ ආසාව අධ්‍යාපනය පැත්තට යොමු කරන්න අම්මා ඒක තුරුම්පුවක් කර ගත්තා. මම මූලික අධ්‍යාපනය ලැබුවේ මහරගම විද්‍යාකර බාලිකා විදුහලෙයි. ශිෂ්‍යත්වය සමත්වෙලා ගල්කිස්ස උසස් බාලිකාවට ඇතුළත් වුණා. පාසලේදි මම සංගීතය හා නාට්‍ය තරගවලට, මුද්‍රා නාට්‍ය තරගවලට ඉදිරිපත් වුණා. නර්තන ශිල්පිනියක් හෝ නිවේදිකාවක් වීමේ හීනයක් මට තිබුණා. පවුල ඇතුළේ ව්‍යාපාර පසුබිමක් තිබුණට පුංචි කාලේ ඉඳන් කලාවට නැඹුරුවෙන ආසාව මට තිබුණා. සෞන්දර්ය විශ්වවිද්‍යාලයට ප්‍රවේශ වන විභාගයේදි නර්තනය හා රංගනය දෙකටම මම අයදුම් කළා. නමුත් නර්තන විෂයට තිබුණු ප්‍රවේශ විභාගය මම අසමත් වුණා. දවස් තුන්සිය හැටපහේම කළේම නටන එකයි. ඒක අසමත් වුණානෙ* කියලා ගෙදර අය කිව්වා. මටත් පොඩි පසුතැවීමක් තිබුණා. නාට්‍ය හා රංග කලාව විෂය උපාධියක් විදිහට හදාරන්න මාව තේරුණා. ඒ වෙලාවේ මට වෙන විසඳුමක් තිබුණේ නැහැ. ඒ නිසා ඒ අවස්ථාව ගත්තා. විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන්නට පෙර අනෝජා වීරසිංහ ගුරුතුමියගේ අභින කලා පාසලටත් ඇතුළත් වී බොහෝ දේවල් ඉගෙන ගත්තා.

මුලින්ම රඟපෑ චරිතය මොකක්ද?

2007 අවුරුද්දේ කෙටි චිත්‍රපටයකට දායක වෙන්න මට අවස්ථාව ලැබුණා. ඒක අපේ දමිළ යාළුවන් කිහිප දෙනෙකු එකතුවෙලා කරපු වැඩක්. ලන්ඩන් නුවර තිබුණු චිත්‍රපට උළෙලකදි හොඳම නිළියට හිමි සම්මානය ඒ වෙනුවෙන් මට ලැබුණා. පළමු වැඩේටම ලෝකේ කොහේදි හෝ තැනකින් සම්මානයක් ලැබීම නිසා මට යමක් කරන්න පුළුවන් කියන හැඟීම ඇතිවුණා. ඒ නිසා එය උනන්දුවෙන් විෂයක් විදිහට හදාරමින්, ඒ හා සමාන්තරව මනෝ විද්‍යාව සම්බන්ධවත් ඉගෙන ගනිමින් කටයුතු කරනවා. ඒ දෙකම සමාන්තරව කරගෙන ගියත් දෙකටම වෘත්තීය මට්ටමේ සුදුසුකම් තිබුණත් මම ලංකාව ඇතුළේ රංගනය වෘත්තීමය වශයෙන් තෝරාගත්තෙ නැහැ. ඒකට සුදුසුකමක් අපේ රටේ තවම නැහැ.

මේ වෙද්දි බුද්ධි මනෝ විද්‍යා උපදේශකවරියක්?

ඔව්.. මම වැඩි වශයෙන් සම්බන්ධ වෙන්නෙ කුඩා දරුවන් සමඟයි. විශේෂ අවශ්‍යතා ඇති දරුවන්, අධ්‍යාපන දුබලතා, විවිධ මානසික පීඩාවන්වලට ගොදුරු වන දරුවන්ට මනෝ උපදේශනය සහ මනෝ චිකිත්සනය හරහා ඔවුන්ව සුවපත් කිරීම තමයි මගේ විෂය වෙන්නෙ.

කරුණා අක්කාට අද ලැබෙන ප්‍රතිචාර කොහොමද?

චිත්‍රපටය තිරගත වුණු මුල් දවසේ සිට මට ගල්මුල්, විවේචන ලැබෙයි කියලයි මම හිතාගෙන හිටියේ. ඉස්සර මට නැඟිටපු ගමන් දුරකථනය අතට අරගෙන මුහුණුපොත බලන්න ඕනකමක් තිබුණෙ නැහැ. නමුත් මේ දවස්වල මම ඒ ඔස්සේ ලැබෙන ප්‍රතිචාර මොනවද කියලයි බලන්නෙ. අදටත් මම කොහේවත් මට එහෙම වචනවලින් ගලක් ගහපු කෙනෙක් දැක්කෙ නැහැ. අපි හිතාගෙන ඉන්න තරම් සමාජය නරකවත් කුරිරුවත් නැහැ කියලා අද මම විශ්වාස කරනවා. යමක් හොඳ හිතින් කළොත් ඒකට නිසි ඇගයීමක් ලැබෙනවා. මේ මොහොත වනතුරු මට ගරහන හිත රිදෙන ප්‍රතිචාරයක් ලැබිලා නැහැ. ඒ වෙනුවෙන් හැම දෙනාටම මම ස්තූති පූර්වක වෙනවා. මම කරපු වැඩේ ගැන තෘප්තියෙන් කාලය ගෙවන්න මට මේ හැමෝම ඉඩ ලබා දුන්නා.

♦ දිශානි
සේයාරුව - සුමුදු හේවාපතිරණ