2021 දෙසැම්බර් 25 වන සෙනසුරාදා

නත්තල් කේක් හදන්න තාම මම දන්නෙ නැහැ... - ශේෂාද්‍රි ප්‍රියසාද්

 2021 දෙසැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 177

ප්‍රියසාද් පවුලම ලහිලහියේ නත්තලට සූදානම් වෙන මොහොතේ දිනේෂ් ප්‍රියසාද්ගේ දෙවැනි දෝනිගේ අලුත් කැදැල්ලේ නත්තල් අසිරිය විඳින්න අපිට අවස්ථාවක් ලැබුණා. සති කිහිපයක සිටම නත්තලට සූදානම් වෙන ශේෂාද්‍රිගෙයි ක්‍රිෂාන්ගෙයි ජීවිතවල අලුත් ආරම්භයත් එක්ක හා හා පුරා කියලා සමරන මංගල නත්තල දේශය එක්ක සමරන්න ඔවුන්ට පුළුවන් වුණා.

ශේෂාද්‍රි.. කොහොමද ජීවිතේ?

ජීවිතේ හොඳයි. ක්‍රිෂාන්ගෙයි මගෙයි විවාහ මංගල්‍යය තිබුණේ අගෝස්තු විසි වැනිදා. ඉතින් එදා ඉඳන් අපි අලුත් ජීවිතේ සතුටින් ගත කරනවා.

දෙන්නා එකතුවෙලා සමරන මුල්ම නත්තල?

ඔව්.. මම මුල ඉඳන්ම ක්‍රිෂාන්ට කිව්වා මට ගේ ලස්සනට සරසන්නට ඕනෙ කියලා. ඒ නිසා අපි නොවැම්බර් මාසෙම ගිහින් නත්තල් ගහයි ඕන කරන සැරසිලි සේරමයි අරගෙන ආවා. පොඩි කාලේ ඉඳන්ම හැම නත්තලකටම අපි දෙසැම්බර් පළවැනිදා වෙද්දි ගේ සරසනවා. ඒ පුරුද්දට මේ පාරත් වේලාසනින්ම අපි ගේ සැරසුවා. නත්තල කියන්නෙ කිතුනු අපිට උතුම් දවසක්. එදාට අපි සැරසිලි ආසාවට කළාට ඊට වඩා ලොකු අර්ථයක් තියෙනවා. කිතුනු බැතිමතුන්ට හොඳ මිනිසුන් විදිහට ගත කරන්න කියලා දෙන කාලයක්. ඒක ඒ කාලයට පමණක් සීමා නොවෙන දෙයක්. මුළු ජීවිත කාලයටම හොඳ මිනිසුන් විදිහට අලුතින් හිතන්න, අලුත් වෙනසක් ඇතිකරන්න කියලා දෙන කාලයක්. නත්තල කියන්නෙ පවුලේ අපි හැමෝම එකට එකතුවෙන කාලයක්. හැම වසරේදිම වගේම මේ වසරේදිත් ඒ දවස උදාවෙන තුරු හරිම ආසාවෙන් බලා හිටියා.

පහුගිය වසර දක්වාම නත්තල් ගස සැරසුවේ අක්කයි නංගියි එකතුවෙලයි?

ඔව්.. ඒ කාලේ අපි නත්තලට එක එක්කෙනා බෙදාගෙනයි වැඩ කළේ. නත්තල් ගහ වගේම ගෙදර සරසන්නෙ නංගියි (ශනුද්‍රි). ඒක එයාට ලස්සනට කරන්න පුළුවන්. මේ පාර එයා තනියම තමයි ඒ හැමදේම කරලා තියෙන්නෙ. හැබැයි අම්මත් උදව්වෙලා තියෙනවා. නත්තලට දවල් කෑම, රෑ කෑම අපි හැම අවුරුද්දෙම ලෑස්ති කරනවා. කෑම හදද්දි තුන්දෙනාම එකතුවෙලා තමයි කෑම හැදුවේ. මම සැර කෑම හදන්න තමයි වැඩිපුර ආසා වුණේ. අක්කයි නංගියි බේක් කරන කෑම, පුඩිං කෑම හැදුවා. ඒ වගේ හැම අවුරුද්දෙම තුන්දෙනාම බෙදා හදාගෙන ඒ දේවල් කළා.

තුන්දෙනාම එකතුවෙලා ගෙදර ලස්සනට සැරසිලි කළාට නත්තල අවසන්වෙලා ඒ දේවල් අස්පස් කරන්නෙ වෙන කෙනෙක් කියලයි ආරංචිය?

අනේ ඔව්.. නත්තල ඉවරවෙලා ඒ දේවල් අස්පස් කරන්නෙ හැම අවුරුද්දෙම අම්මා තමයි. අපි තුන්දෙනා එකතුවෙලා ගේ ලස්සන කළාට ඒවා අස්පස් කළේ අම්මා තනියමයි. මගේ නත්තල් ගහ සරසද්දි මට අම්මව මතක් වුණා. ඒක නිසා මම ඔක්කොම පිළිවෙළකට පෙට්ටිවල දාලා පැත්තකට කළා. නැත්නම් අම්මා තමයි ඒ හැමදේම කළේ.

දැන් ශේෂාද්‍රි ඉන්නෙ රාගම. අම්මලා ඉන්නෙ හෝමාගම. යන්න එන්න වැඩි දුරක් නැහැ?

ඔව්.. අපිට විනාඩි විස්සකින් විතර අම්මලාගෙ ගෙදරට හයිවේ එකෙන් යන්න පුළුවන්. ඒ නිසා ප්‍රශ්නයක් නැහැ. හිටපු ගමන් අපි දෙන්නා එහෙ යනවා. කොහොමත් මම සතියකට දෙපාරක් විතර යනවාම තමයි. අක්කත් එන දවසට තමයි වැඩිපුර යන්න ආසා කරන්නෙ. චූටි පැටියා ඉන්නවනෙ. ඒ නිසා එයා ගෙදර එනවනම් මටත් කතා කරනවා. අම්මා තාත්තත් අපේ ගෙදර එනවා.

නත්තලට කෑම බීම හැදුවේ ශේෂාද්‍රිද?

ඔව්.. මට රසට කෑම හදන්න පුළුවන්. ඇත්තම කිව්වොත් නත්තල් කේක් එක මම හරියටම බේක් කරන්න දන්නෙ නැහැ. ඒක මට උත්සාහ කරන්නත් බැහැ. ඒක හරියට මගේ අතින් හැදෙන්න නැහැ කියලා මම දන්නවා. හැම අවුරුද්දෙම නත්තල් කේක් එක හැදුවෙ අම්මයි. මේ පාර ක්‍රිෂාන්ගේ අම්මා ඉන්න නිසා ආන්ටි හදලා දුන්නා. ක්‍රිෂාන්ගේ අම්මටත් හරි රසට නත්තල් කේක් හදන්න පුළුවන්.

අක්කලා නංගිලා එකතුවෙලාද සාප්පු සවාරි ගියේ?

ඉස්සරනම් අපි නොවැම්බර් මාසෙ ඉවර වෙද්දිම ඇඳුම් අරගෙන ඉවර කරනවා. සමහර දවස්වලට අපි තුන්දෙනා එකට ගිහින් තෑගි ගත්ත දවස් තිබුණා. නැත්නම් මම වෙනම ගිහින් අරගෙන එනවා. මේ පාර ක්‍රිෂානුයි මායි එකතුවෙලා ගිහින් තමයි තෑගි හැමදෙයක්ම ගත්තෙ.

ක්‍රිෂාන් සංගීත කණ්ඩායමෙන් ඉවත් වුණා කියලයි ආරංචිය?

ඔව්.. එයා පෞද්ගලික ආයතනයක ජ්‍යෙෂ්ඨ කළමනාකරුවකු විදිහට කටයුතු කරනවා. ඒ නිසා රැකියාවේ වගකීම් වැඩියි. රාජකාරියට කාලය වැඩිපුර යොදවන්න සිදු වුණා. ඒ වගේම සංගීත කටයුතුත් එක්ක කාර්යබහුල වුණොත් අපි දෙන්නට එකට නිදහසේ ගත කරන්න තියෙන කාලය අඩු වෙනවා. ඒ නිසා එයාට (බෑන්ඩ්) එක හෝ රැකියාව යන දෙකෙන් එකක් තෝරාගන්න සිදු වුණා. ඒකෙන් එයා රැකියාව තෝරාගත්තා.(බෑන්ඩ්) එකෙන් අයින් වුණාට ක්‍රිෂාන් සංගීතය නතර කරලා නැහැ. මම එයා සංගීතය අතහරිනවාට කැමතිත් නැහැ. එයා ගීත කිහිපයක්ම පටිගත කරලයි තියෙන්නෙ. පොඩි (ඇල්බම්) එකක් විදිහට ළඟදිම ඒවා එළිදක්වන්න බලාපොරොත්තු වෙනවා.

මේ නත්තලට කිතුනු බැතිමතෙක් හැටියට කරන ප්‍රාර්ථනය මොකක්ද?

අපි නත්තලට විතරක් හොඳ මිනිසුන් වෙන්නෙ නැතිව ජීවිත කාලයටම හොඳ මිනිසුන් වෙන්න උත්සාහ කරන්න ඕනෙ. හිතේ වෛරය, ඉසිරියාව නැතිව පිරිසිදු හිතින් ඉන්න පුළුවන් නම් ඒක හරිම වටිනවා. හැමෝටම නිරෝගි ජීවිතයක් වගේම හැමෝගෙම හිත සතුටින් තියෙන, කරදරවලට මුහුණ දෙන්නෙ නැති, හිතට හයියක් ලැබෙන සැනසිලිදායක නත්තලක් සහ සුබ නව වසරක් වේවායි මායි ක්‍රිෂානුයි ප්‍රාර්ථනා කරනවා.

 දිශානි
සේයාරුව - සුමුදු හේවාපතිරණ