2021 දෙසැම්බර් 25 වන සෙනසුරාදා

එහෙම වුණොත් රැවුලයි කොණ්ඩෙයි දෙකම කපනවා

 2021 දෙසැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 119

යෂ් වීරසිංහ කියන්නෙ මෙරට සිටින දක්ෂ රංගන ශිල්පියෙක්. මේ දිනවල කියා දෙන්න ආදරේ තරම් ටෙලිනාට්‍යයෙන් ඔබ හමුවට එන යෂ් රංගන ශිල්පියෙක් වගේම හඬකැවීම් ශිල්පියෙක් ද වෙනවා. ඉතින් එහෙම වුණොත් විශේෂාංගය වෙනුවෙන් අපි මෙවර යෂ් එක්ක පොඩ්ඩක් කතා කළා

යෂ්.. අපි හිතමු ඔයාට ආයෙමත් පුංචි කාලයට යන්න අවස්ථාව ලැබෙනවා කියලා. එහෙම වුණොත් යෂ් ආසා කරන්නෙ මොන කාලයටද?

එහෙම වුණොත් මම සාමාන්‍ය පෙළ කරපු කාලයට යනවා. මම උසස් පෙළ කළේ ගණිත අංශයෙන්. ඉතින් ආයෙත් පුංචි කාලෙට යන්න ලැබුණොත් මම සාමාන්‍ය පෙළ අවසන් කරලා උසස් පෙළට ගණිත අංශයට තෝරාගන්නෙ නැතිව කලා අංශය තෝරාගන්නවා. එහෙම වුණා නම් මගේ මේ ක්ෂේත්‍රයත් එක්ක කලා විෂය ලොකු ප්‍රයෝජනයක් වෙන්න තිබුණා. මම මුලින්ම ඉගෙන ගත්තෙ මුනිදාස කුමාරතුංග විද්‍යාලයේ. උසස් පෙළ විභාගය සඳහා බෝමිරිය ජාතික පාසලට ගණිත අංශයෙන් ඇතුළත් වුණා. කොහොමත් මම ගණිත අංශයෙන් ඉගෙන ගත්තත් වැඩිපුර කලා පන්තියෙයි හිටියේ. පාසල් සංගීත කණ්ඩායමේ නායකත්වය දැරැවේ මමයි. ඒක හරි සුන්දර කාලයක්.

නොහිතුව වෙලාවක යෂ්ව කලා ක්ෂේත්‍රයෙන් ප්‍රතික්ෂේප වෙනවා. එහෙම වුණොත්?

ඒක මම සතුටින් බාරගන්නවා. එහෙම වුණොත් මට අධ්‍යාපනය පැත්තෙන් කරගන්න බැරිවුණු ටිකක් තියෙනවා. ඒ වෙනුවෙන් වැඩියෙන් නැඹුරැවෙලා මම ඒ ටික අවසන් කර ගන්නවා. ඒ වගේම බොහෝ විට මම ව්‍යාපාර ක්ෂේත්‍රයටත් යොමුවේවි.

නොකළ වරදකට ඔබට දඬුවම් විඳින්න සිදුවෙනවා. එහෙම වුණොත් මොකද කරන්නෙ?

එහෙම වුණොත්නම් මම නිකම් ඉන්නෙ නැහැ. නොකළ වරදකට මට දඬුවම් විඳින්න වුණොත් මම අනිවාර් යෙන්ම ඒ සම්බන්ධයෙන් කතා කරනවා. ඒ වගේම මගේ නිවැරදිභාවය ඔප්පු කරන්න මම මොනවාම හරි දෙයක් කරනවා. නොකළ වරදකට මම නිකරැණේ දඬුවම් විඳින්න කැමති නැහැ.

හිතන්න.. යෂ්ට දේශපාලනයට සම්බන්ධ වෙන්න අවස්ථාවක් ලැබෙනවා කියලා. එහෙම වුණොත්?

අම්මෝ.. ජීවිතයට මම කරන්නෙ නැහැ. මම දේශපාලනයට කිසිමදාක සම්බන්ධ වෙන්නෙ නැහැ. රටේ පවතින දේශපාලන ක්‍රමයත් එක්ක දැන් දේශපාලන විෂය පවා අපිට එපා කරවලයි තියෙන්නෙ. ඒ තරමටම දේශපාලනය තිත්තයි.

කෝටි ගණනාවකට ලොතරැයි දිනුමක් යෂ්ට ලැබෙනවා. එහෙම වුණොත් මොකද කරන්නෙ?

අනේ මන්දා. එහෙම ලොතරුයි දිනුමක් ලැබුණොත් මම මොනවා කරයිද කියලා හිතාගන්නවත් බැහැ. ඒ ගැන මම ඇත්තටම හිතලත් නැහැ. එහෙම ලොතරැයි දිනුමක් ලැබුණොත් මම ඒකෙන් යම් කොටසක් මේ රටේ අහිංසක නැති බැරි මිනිසුන් වෙනුවෙන් යොදවනවා. ඒක මම අනිවාර්යෙන්ම කරාවි. ඒ වගේම සමහරවිට මම ඒකෙන් කොටසක් යොදවලා ව්‍යාපාරයකුත් පටන් ගන්න ඉඩ තියෙනවා.

යෂ්ට අධ්‍යක්ෂණයට පිවිසෙන්න අවස්ථාව ලැබුණා කියලා හිතන්න. එහෙම වුණොත්?

අධ්‍යක්ෂණය කියන්නෙ බොහෝ පුළුල් විෂයක්. තාමත් මම ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්න පරිණත වෙලා නැහැ. තාමත් මම ඒ විෂය සම්බන්ධයෙන් දැනගෙන ඉන්නෙ යම් යම් කොටස් විතරයි. යම්කිසි කාලයක මට ඒ විෂය දැනගෙන කර ගන්න පුළුවන් වෙයි කියලා හිතුණොත් මම ඒ සම්බන්ධයෙන් සලකා බලනවා. හැබැයි තාමත් මට හිතෙන්නේ මම නළුවෙක් විතරයි කියලයි.

ඔබට සංගීත ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්න අවස්ථාවක්, ආරාධනාවක් ලැබුණා කියලා හිතන්න. එහෙම වුණොත් ඒ ආරාධනාව බාරගන්නවාද?

නැහැ. මම හිතන්නෙ නැහැ මම ඒ ක්ෂේත්‍රයට යොමුවේවි කියලා. මට සංගීතය කියන්නෙ හරියටම කරන්න පුළුවන් විෂයක් නෙමෙයි. ඉඳලා හිටලා සින්දුවක් කිව්වට හරියට කියන්න දන්නෙ නැහැ. ඒ නිසා දන්නෙ නැති දේවල් කරන්න ගිහින් මම අමාරැවෙ වැටෙන්නෙ නැහැ. මේ නළුකම හොඳටම ඇති.

තවත් ක්ෂේත්‍රයක් සම්බන්ධයෙන් වැඩිදුර ඉගෙන ගන්න යෂ්ට අවස්ථාව ලැබෙනවා. එහෙම වුණොත්?

එහෙම වුණොත් මම Automobile Engineering සම්බන්ධයෙන් වැඩිදුර ඉගෙන ගන්නවා. කොහොමත් ඒ සම්බන්ධයෙන් මට ඉගෙනීම පටන් අරගෙන අතරමඟදී නතර කරපු කෙනෙක්. ඒ නිසා ඉගෙන ගන්න අවස්ථාව ලැබුණොත් මම ඒ නවත්තපු තැනින් ඉදිරියට ඉගෙන ගන්නවා.

නිර්මාණ කටයුත්තක් සඳහා ආසාවෙන් යෂ් වවපු කොණ්ඩය කපන්න සිදුවෙනවා. එහෙම වුණොත්?

දෙපාරක් හිතන්නෙ නැහැ. නිර්මාණය හොඳ නම් මම අනිවාර් යෙන්ම කොණ්ඩයයි රැවුලයි දෙකම කපනවා.

රටේ පවතින තත්ත්වයත් එක්ක බොහෝ තරුණ තරුණියන් විදෙස් රටවල රැකියාවලට යනවා. යෂ්ටත් හොඳ වැටුපකට හොඳ රුකියාවකට අවස්ථාවක් ලැබෙනවා. එහෙම වුණොත්?

මම එහෙම වුණොත් යනවා. මේ රටට මම හරි ආදරෙයි. මේ රටේ ජීවත් වෙන්න හරි ආසයි. ඒත් දැන් මේ තියෙන තත්ත්වයත් එක්ක කිසිම මනුස්සයෙක්ට ජීවත් වෙන්න බැරි තත්ත්වයත් උදාවෙලා තියෙන්නෙ. මට එහෙම යන්න අවස්ථාවක් ලැබිලා තියෙන්නෙ. හැබැයි තාමත් මම ඉන්නවා. මේ යන විදිහට රට තිබුණොත් මමත් මේ රටින් යනවා.

 දිශානි ජයමාලි