2021 දෙසැම්බර් 18 වන සෙනසුරාදා

සඳ ගමනත් නොහිතුවාට හරි අවදානම්

 2021 දෙසැම්බර් 18 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 85

ඔන්න බ්‍රෝ මේ දවස්වල වැඩිපුරම කතා කරන සීන් කෝන් එකක් ගැන අපි Y Trend එක ගලපන්න බැලුවා. කංසා වවන්න අවසර දෙන්න යනවලු. මේ දවස්වල ගොඩක් තැන්වල මේ ගැන කතා වෙනවා සුදාලට ඇහිලා ඇති. කංසාවල ගුණ අගුණ ගැනත් බුකියේ පට්ට වාද විවාද යනවා. ඉතින් මේක ටිකක් ලොකු මාතෘකාවක් ඈ.. 

සීන් එකට එන්ටර් වෙන්න ඉස්සෙල්ලා එක දෙයක් කියන්න ඕනේ හරි. ඔය මොන මොන වාද විවාද තිබුණත් නූතන වෛද්‍ය විද්‍යාවට අනුව ඔප්පු කරලා තියෙනවා කංසා දූම පානය සෞඛ්‍යයට අහිතකරයි කියලා. අන්න ඒ නිසා අපි මේ සීන් එකේදි නීතිය සහ සෞඛ්‍ය කියන පදනම මත ඉඳලා සුදාලට මුලින්ම කියනවා අපි මේ සීන් එකට අනුබල නම් දෙන්නේ නෑ. එහෙම කියලා ආතල් කඩන්න යන්නෙත් නෑ. ඒ නිසා වස්තුවේ මේ මොහොතේ තියෙන Trend එක ගැන ඇත්ත ඇති සැටියෙන් ඒ වගේම කෙටියෙන් අපි ගලපනවා. 

කංසා කියන්නේ අදක ඊයෙක ලංකාවේ භාවිත වුණු දෙයක් නෙවෙයි මචෝ. ඒකට පට්ට ඉතිහාසයක් තියෙනවා. දැන් ඒ ඉතිහාස කතා කංසා ගැන ගුණ වයන Trend එක වෙනුවෙන් භාවිත වෙනවා මචෝ. ඒක වෙනම ආතල් Marketing සීන් එකක්. කොහොම වුණත් කංසා කියන්නේ සුද්දා එන්න කලින් අපේ වෙදකමට භාවිත කරපු ඖෂධයක්. මත්ද්‍රව්‍යයක් විදිහට භාවිත නොවුණම නෙවෙයි. ඒක වෙනම කතාවක්. වස්තුලාට පස්සේ කියන්නම්.

අපේ රටේ කංසා ජනප්‍රිය සංස්තෘතියට ඇතුළු වෙන්නේ හැත්තෑවේ දශකයෙදි වගේ. පහුකාලීනව සීන් එක නැගලා යන්න ගෝලීයකරණය විවෘත ආර්ථිකය බලපෑවා මචෝ. කොහොමෙන් කොහොම හරි සංචාරක කර්මාන්තය තමා කංසා ලංකාවේ මේ තරම් ජනප්‍රිය වෙන්න ප්‍රධාන වශයෙන්ම බලපෑවේ. විශේෂයෙන්ම ලෝකයේ එක කාලෙක රෙගී සංගීතය හිපි සංස්කෘතිය වගේ දේවල් විශාල වශයෙන් ජනප්‍රිය වුණා. අන්න ඒ කාලේ සංචාරක කර්මාන්තය හරහා ලංකාවේ වෙරළ තීරයට ජනප්‍රිය කංසා සංස්කෘතිය ආවා. මේ කියන්නේ මේ කාලේ ලංකාවේ කංසා භාවිතය නොතිබුණා කියලා නෙවෙයි මචෝ.

හැබැයි කංසා වාණිජකරණය වුණේ මේ සීන් එක නිසා කියලා කිව්වොත් වැරදි නෑ. මුලින්ම ලංකාවේ අපේ අයගේ භාවිතයට ඇති පමණට කංසා වගා කෙරුණා මචෝ. පස්සේ සීන් එක වසංගතයක් වගේ පැතිර යන්න පටන් ගත්තා. අන්න එතකොට තමා නීතියයි සෞඛ්‍යයයි කංසාවලට විරුද්ධ අරගලය දියත් කරන්නේ. මේ හරහා දේශීය කංසා කාලෙකදි කඩාගෙන වැටුණා. අන්න එතකොට තමා කේරළ ගංජා සංස්කෘතිය නිර්මාණය වෙන්නේ. ඒක සිද්ධ වෙන්නේ මෑත කාලීනව. ඒ කියන්නේ 2000න් පස්සේ වගේ. ඒ වෙනකොට කංසා ලංකාවේ වැඩිපුරම භාවිත වෙන මත්ද්‍රව්‍යයක් වෙලා තිබුණේ.

හැබැයි KG උප සංස්කෘතිය තමා දැනට තියෙන Trend එක නිර්මාණය වෙන්න මුල. කේරළ ගංජා මුළු රටම සමාජයේ හැම ස්ථරයක්ම ආක්‍රමණය කළා. ඒක හරිම වේගයෙන් සිද්ධ වුණේ. Office යන වැදගත් විදිහට ඉන්න කොල්ලෝ සෙට් එකක් වෙන්න පුළුවන්. නැත්නම් ටවුමේ හරි ගමක හරි වල බහින සෙට් එකක් වෙන්න පුළුවන්. Campus වෙන්නත් පුළුවන්. ඇත්තම කියනවා නම් ඉස්කෝලෙක වෙන්න බැරිත් නෑ. ඕනෑම තැනක කණ්ඩායම් මේ වෙනකොට කංසාවලට හුරුවෙලා. අපි මේ ගැන කලෙකට කලින් කිව්වා මචෝ.

අපි ඒ දවස්වල සීන් එක සිද්ධවෙන විදිහ මෙහෙම පැහැදිලි කරනවා. “ඉන්ට්‍රස්ට්” වෙන්නන් එපා. දැනගන්න කියන්නේ අද තත්ත්වය මේක. මෙහෙමයි දැන් තත්ත්වය.

“ඔන්න කොල්ලෝ සෙට් එකක් පන්සීයේ කෑල්ලක් ගහන්න සෙට් වුණා. ඒකෙන් ඒගොල්ලෝ උපරිම ඔතන්නේ පැට්ටෝ දෙකක් හරි තුනක් හරි. පන්සීයකට ග්‍රෑම් 2ක් විතර තමා පොඩි පැකට් එකකට දාලා හම්බවෙන්නේ. පැට්ටෝ කියන්නේ මෙතනදී ඔතන සුරුට්ටුවලට. දැන් මේක මෙයාලා ඔතත්නේ කොහොමද? ඒකට නම් ක්ෂේත්‍රයේ ප්‍රවීණත්වය වැදගත්. සව්කොළවල තෙල්කොළවල ඔතලා ගංජා ගැහුව කාලෙට වඩා දැන් ලෝකේ පොෂ්. කොළ කඩවල තියෙනවා. එකක් රුපියල් විස්සක් විතර තමා වෙන්නේ. දැන් සෙට් එකේ වැඩ්ඩා බඩු ටික ළං කරගෙන ඔතන්න ගන්නවා. මුලින් KG කෑල්ල කඩාගන්න ඕනෙ. එක ගුලියට තදවෙලා තියෙන මේ කෑල්ල ඇට නැටි අහුලා වෙන් කරනවා. ඊට පස්සේ අතින් හරි කතුරකින් හරි කෑලි කෑලි වෙන්න මේක කපා ගන්නවා. දැන් ඔය අතරේ කවුරු හරි ෆෝන් කාඩ් එකකින් හරි සිගරුට් පෙට්ටියේ අයිනේ කොළ කෑල්ලකින් හරි ෆිල්ටරයක් හදනවා. ඕකට බෝක්කුවක් කියලත් කියනවා. අර මුලින් සීරුවට කපාගත්ත කෑලිවලට සිගරුට් එකක් කඩලා ඒකේ දුම්කොළ කෑලි ටික Mix කරනවා. ඊට පස්සේ සීරුමාරුවට මෙයාලා ජොයින්ට් එක ඔතනවා. ඔන්න දැන් සඳ ගමනට ඔක්කොම රෙඩී. රොකට් එක දල්වන්න විතරයි තියෙන්නේ.”

ආයෙත් පැහැදිලිව කිව්වා කංසා භාවිතය සෞඛ්‍යයට අහිතකරයි මචෝ. වෛද්‍ය විද්‍යාත්මකව නම් ඇත්තටම මේ තත්ත්වය භයානකයි. සරලව KG භාවිතයේ තත්ත්වය භයානක වෙන්නේ මෙහෙමයි. KG ජනප්‍රිය වුණු මුල් කාලේ ඔක්කොම බඩු ආවේ ඉන්දියාවෙන්. බෝට්ටුවලින් උතුරට ආවා. උතුරෙන් දකුණට ආවා. පස්සේ නාවික හමුදා මිෂන් කිහිපයක් නිසා වැඩේ අල වුණා. ඒත් තාම මුළුමනින්ම වැඩේ නැවතිලා නෑ. ඒත් දැන් ගොඩක් වෙලාවට බ්රූන්ඩ් එක ඉන්දියන් වුණාට රොකට් එක මේඩ් ඉන් ශ්‍රී ලංකා. මහා පරිමාණ ජාවාරම්කාරයෝ තමා මේ වැඩේ කරන්නේ.

ලංකාවේ තණමල්විල උඩවලවේ ඇඹිලිපිටියේ කංසා. ඒ කියන්නේ (දේශීය) අරගෙන ඒවා වලින් තමා මෙහේ KG හදන්නේ. මේකට හදන ශිල්පය නම් පැහැදිලි කරන්න අමාරුයි. ඒත් එස්ලෝන් බටයක් ඇතුළට ලෝකල් දාලා පැණි වගයකුත් දාලා මේවා හදනවා කියනවා. එතකොට ඔය මෝටීන් ෆෝමලීන් දානවා කියන කතාවෙත් ඇත්තක් තියෙනවා. අධික ඔළුව කැක්කුමට හේතුව ඒකලු. හිතාගන්නකෝ ෆෝමලීන් මෝටීන්වල කොච්චර විසක් තියෙනවද කියලා. එක අතකට KG කියන්නේ නූතන තාරුණ්‍යය පණ පිටින් එම්බාම් කරන මත්ද්‍රව්‍යයක්. 

මේ දවස්වල කංසා සම්බන්ධ කතා කරන Trend එක වෙනම සීන් එකක්. කංසා කියන්නේ ලංකාවට විශාල විදේශ විනිමයක් ගේන්න පුළුවන් දෙයක් මචෝ. ඒක ඇත්ත. ඒත් අපි මේ විවාදයට සම්බන්ධ වෙන්නේ නෑ. ඉස්සරහට තව Y Trend එකක් දෙනවා සීන් එකේ වෙනම පැත්තක් ගැන මචෝ.

 නිසල්