2021 දෙසැම්බර් 11 වන සෙනසුරාදා

සිරි සිරි ගාලා කූඩැල්ලෝ එල්ලුණා...

 2021 දෙසැම්බර් 11 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 90

ඉඳුවර.. මේ දවස්වල මොනවද තොරතුරු?

මේ දවස්වල පාර දිගේ ටෙලිනාට්‍යයේ වැඩ කටයුතු කරගෙන යනවා. ඊට අමතරව අලුත් ටෙලිනාට්‍යයක සංගීත වැඩ කටයුතු කරගෙන ගෙදරට වෙලා ඉන්නවා.

ඉඳුවර.. ඔබ Travel කියන දේට ආසා කරන කෙනෙක්ද?

ඔව්.. ඇත්තටම මම ගොඩක් කැමතියි. මම ගොඩක් තැන්වල Travel කරලා තියෙනවා. 

ඔබ ඇවිදින එක විනෝදාංශයක් විදිහටද කරන්නෙ?

මම පොඩි කාලෙ ඉඳන් Travel කියන දේට ගොඩක් කැමති කෙනෙක්. මගේ පවුලේ කට්ටියත් මම වගේම Travel කියන දේට ආසයි. මම පොඩි කාලෙ ඉඳන් පවුලේ කට්ටිය එක්ක ගොඩක් තැන්වල ඇවිද්දා. නමුත් ඒ කාලෙ කරපු Travel ලොකුවට තේරුමක් ඇතිව කරපුවා නෙමෙයි. අම්මලා තාත්තලා කොහෙ හරි යනවා නම් මමත් එයාලත් එක්ක යනවා. නමුත් මම විනෝදාංශයක් විදිහට Travel කියන දේ කරන්න පටන් ගත්තෙ මෑතකදි. 

ඔබ ඇවිදින්න යන්න කැමති මොනවගේ පරිසරවලද?

නිස්කලංක කොළ පාට පරිසරවල තමයි මම ඇවිදින්න යන්න කැමතියි. 

මේ වනතුරු ඔබ කරපු Travel වලින් ඔබේ හිතට දැනුණම ගමන කුමක්ද?

ලංකාවේ ගොඩක් තැන්වල මම Travel කරලා තියෙනවා. නමුත් මෑතකදි මගේ යාළුවෝ කිහිප දෙනෙක් සමඟ බෙලිඋල් ඔය, හාවගල කන්දේ camping කරන්න ගියා. ඒ ගමනට මම මාරම කැමතියි. 

ඇයි ඔබ ඒ ගමනට එච්චරම කැමති?

මම පළවෙනි පාරට තමයි camping කියන දේ කළේ. ඒක මාරම අත්දැකීමක්. ඒ නිසා මම ඒ ගමනට කැමතියි. 

ඒ ගමනෙදි සිදුවුණු අමතක නොවන සිදුවීම් ඇති නේද?

අමතක නොවන සිදුවීම්නම් ගොඩක් තියෙනවා. අපි කවුරුත් නොදන්න පරිසරයක මහ රෑ camping කරන්න යනකොට ගොඩක් අත්දැකීම්වලට මුහුණ දෙන්න වුණා. අපි කට්ටියම camping කරන්න කියලා ගියාට ඒ ගැන කිසිම අවබෝධයක් තිබුණේ නෑ. අපි නගින කන්දෙ කූඩැල්ලෝ ගොඩක් හිටියා. අපි දාගෙන හිටියේ සෙරෙප්පු. ඒ නිසා කූඩැල්ලො ගොඩක් අපේ කකුල්වල එල්ලුණා. කොහොම හරි ඔය කූඩැලි ප්‍රශ්නෙත් විසඳගෙන අපි කන්ද නගිනකොට අපිව එක තැනකදි අතරමං වුණා.කොහොම හරි අපි කට්ටිය විදුලි පන්දම් දල්වාගෙන කන්ද නගින්න පටන් ගත්තත් අපිට කිසිම දෙයක් හරියට පෙනුණේ නෑ. ඊට පස්සෙ අපි කතා වුණා අපි අද රූ මෙතන camping ගහලා හෙට උදේම කන්ද නගිමු කියලා. ටිකක් වෙලා ඉන්නකොට අපි දැක්කා අපි වගේම තවත් කට්ටියක් ඒ කන්ද නගිනවා. ඊට පස්සෙ අපි එයාලට කෑගහලා එයාලත් එක්ක එකතු වුණා. එතන හිටියා අට දෙනෙක් විතර. එයාලා කහවත්තේ ඉඳලා ආපු හොඳ කොල්ලො ටිකක්. හොඳම වැඩේ තමයි අපි වගේම එයාලත් අතරමං වෙච්ච කට්ටියක්. හැබැයි එයාලනම් camping කියන දේට හොඳට සූදානම්වෙලා හිටපු කට්ටියක්. කොහොම හරි අපි දෙගොල්ලොම එකතුවෙලා අපි අතරමං වුණු තැන camping ගහලා එදා රූ ගත කළා. නමුත් පාන්දර වෙනකොට වැස්සා. ඒත් එක්කම අධික සීතලක් ආවා. ඊට පස්සෙ අපි පාන්දර තුනේ ඉඳන් එළිවෙනකම් සිංදු කිය කිය උදේ වෙනකම් හිටියා. පහුවදා උදේ නැගිටලා බලනකොට අපිට පොඩි දුරයි කන්ද නගින්න ඉතිරිවෙලා තියෙන්නෙ. රූට කිසිදෙයක් පෙනුණෙ නැති නිසා අපිට කන්ද නැගින්න බැරි වුණා. කොහොම හරි ඒ සිදුවීම මාරම අත්දැකීමක්. 

ඔබ විදෙස් සංචාර එහෙම කරපු කෙනෙක්ද?

ඔව්. මම විදෙස් සංචාර කිහිපයක්ම කරලා තියෙනවා. ඒ අතරින් මම ගොඩක් කැමතියි යුරෝපා සංචාරයට. 

ඔබ වැඩිපුර Travel කරන්න කැමති කාත් සමඟද?

යාළුවොත් එක්කත් යනවා. පවුලේ කට්ටිය එක්කත් යනවා. මට ඒ දෙකම එක වගේ දැනෙන්නෙ. යාළුවොත් එක්ක ගිහිල්ලා කරන හැමදේම ගෙදර අය සමඟ යන Travel වලත් මම කරනවා. මට ඒකට නිදහස තියෙනවා.

ඉඳුවර.. ඔබ Travel කියන දේ මොන විදිහටද දකින්නෙ?

Travel කියන දේ හැමදෙනාම කරන්න ඕනෙ කියලයි මම හිතන්නෙ. අපි රාජකාරි වැඩත් එක්ක ගොඩක් වෙලාවට රාමුවක් ඇතුළෙ කොටුවෙලා ඉන්නෙ. ඒ රාමුවෙන් මිදිලා ජීවිතය විඳින්න තියෙන හොඳම අවස්ථාව තමයි Travel කියන්නෙ. 

ඔබ කවදාවත් නොගිය නමුත් යන්න ආසාවෙන් ඉන්න තැනක් තියෙනවද?

එහෙම තැන්නම් ගොඩක් තියෙනවා. ලංකාවෙනම් ගොඩක් තැන්වල දැනට මම ඇවිදලා තියෙනවා. නමුත් මට ආසාවක් තියෙනවා අප්‍රිකා සංචාරයක නිරත වෙන්න. 

ඒකට හේතුවක් තියෙනවද?

අප්‍රිකාවේ සංගීතයට සහ ඒ සංස්කෘතියට මම මාර ආසයි. ඒ විතරක් නෙමෙයි. ඒ මිනිස්සුන්ගෙ පැහැයටත් මම මාර කැමතියි. ඒකයි මම අප්‍රිකා යන්න ආසාවෙන් ඉන්නෙ.

ඔබ වගේ Travel කරන සහ කරන්න ඉන්න අයට ඔබ දෙන පණිවිඩේ මොකක්ද?

හැමදෙනාම Travel කරන්න. හැබැයි කරන එය හරි විදිහට කරන්න. ඒ කියන්නෙ අපි යන තැන ගැන අවබෝධයක් තියාගෙන තවත් කෙනෙකුට ඒ අත්දැකීම ලබාගන්න පුළුවන් ආකාරයට ඒ පරිසරයත් රුකගෙන අපිත් ආරක්ෂා වෙලා Travel කරන්න කියලයි මම හැමදෙනාටම කියන්නෙ.