2021 දෙසැම්බර් 11 වන සෙනසුරාදා

දෙකටම එක වගේ කැමති හින්දී රසිකයෝ...

 2021 දෙසැම්බර් 11 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 73

ඇක්ෂන්වලට වුණත් රොමෑන්ස්වලට වුණත් සිනමාවට කැමති ප්‍රේක්ෂකයන් එක වගේ කැමැත්තක් දක්වනවා කියන එක අමුතුවෙන් කියන්න ඕන නැහැ. බොලිවුඩයේ ඇක්ෂන් කින්ග් කියලා අධ්‍යක්ෂකවරයෙක්ව හඳුන්වනවා කියලා සමහරවිට මේ වෙනකම් ඔබ නොදැන සිටින්න ඇති. මේ කියන අධ්‍යක්ෂවරයා වෙන කිසිවෙක් නෙවෙයි මේ දිනවල තිරගත වන ආක්ෂය කුමාර් ප‍්‍රධාන චරිතයට පණපොවන සූර්යවංශී සිනමාපටයේද අධ්‍යක්ෂවරයා වන රෝහිත් ශෙට්ටි තමයි ඒ විදියට හඳුන්වන්නේ. සූර්යවංශී සිනමාපටය තිරගත වූදා පටන් පේ‍්‍රක්ෂකයන්ගේ නොමද ආදරය මේ සිනමාපටයට ලැබෙන්නේ ඇයි කියලා ඔබ තවම සූර්යවංශී සිනමාපටය නරඹලා නැත්නම් තවමත් නොදන්නවා ඇති.

සූර්යවංශී සිනමාපටය ක‍්‍රියාදාම දර්ශන වගේම ප්‍රේමණීය ජවනිකා වගේම හාස්‍ය ජවනිකාවලින්ද සමන්විත සිනමාපටයක්. අද මේ කියන්න හදන බොලිවුඩයේ අලුත් වාර්තා තබමින් තිරගත වන සිනමාපටයෙහි ආක්ෂය කුමාර්ට අමතරව අජේ දේව්ගන්, රන්වීර් සිං, කත‍්‍රිනා කයිෆ් ද විවිධ අපූරු චරිතවලට පණ දෙන්න එකතුවෙලා තියෙනවා. කත‍්‍රිනා කයිෆ්ගේ විවාහයට පෙර තිරගත වන අවසාන සිනමාපටයද වනුයේ සූර්යවංශී සිනමාපටයයි. කත‍්‍රිනා කයිෆ් විකී කෞශල් එක්ක විවාහ වුණා කියන එක බොලිවුඩයට ආදරය කරන ඔබ මේ වන විටත් නොදැන ඉන්න විදියක් නැහැ නේද? සූර්යවංශී සිනමාපටයෙහි ආක්ෂය කුමාර් පණ පොවන්නේ ඩී.සී.පී. වීර් සූර්යවංශීගේ චරිතයටයි. 1993 වසරේ 11/26 වැනිදා තාජ් හෝටලයට කරන ලද ත‍්‍රස්තවාදී ප‍්‍රහාරයෙන් අනතුරුව, එම ත‍්‍රස්තවාදීන් මුම්බායි නගරයෙහි පුපුරණ ද්‍රව්‍ය විශාල ප‍්‍රමාණයක් සඟවා තියෙනවා. ආක්ෂය කුමාර් මෙන්න මේ කියන ත‍්‍රස්තවාදීන් මුම්බායි නගරයේ පිපිරීම් කිරීමට සූදානම් වෙද්දී සිංගම් සහ සිම්බා, ඒ කියන්නේ අජය දේව්ගන් සහ රන්වීර් සිංගේ උදව් ඇතිව එම විශාල පිපිරීම් නතර කරන හැටි තමයි මේ සිනමාපටයෙන් කියැවෙන්නේ.

ආක්ෂය කුමාර්ගේ බිරිඳගේ චරිතයට කත‍්‍රිනා කයිෆ් පණ පොවන අතර ඇය බිරිඳක් සහ මවක් විදියට මේ සිනමාවෙන් දැකගන්න ලැබෙනවා. මේ සිනමාපටය තුළින් 90 දශකයෙහි ජනප‍්‍රිය ගීතයක් වුණු රවීනා තණ්ඩන් ආක්ෂය කුමාර් සමඟින් පෙනි සිටි ටිප ටිප බර්සා පානී කියන ගීතයෙහි රීමේක් එකත් දැකගන්න පුළුවන්කම තියෙනවා. ඊට අමතරව මේරේ යාරා, සහ අයිල රේ අයිලා කියන ගීතද මේ සිනමාපටයෙහි අන්තර්ගත වෙනවා.

90 දශකයෙහි සිනමා තරු රාශියක්ද මේ සිනමාපටයට එක්කරගෙන තිබීම විශේෂත්වයක්. ජැකී ශ්රොෆ් ද මේ සිනමාපටයෙහි දුෂ්ට චරිතයකට පණ පොවනවා. ඊට අමතරව ජාවෙද් ජැෆ්රි, ගුල්ෂාන් ග්‍රෝවර්, කුමුද් මිශ‍්‍රා, සිඛන්දර් ඛේර්, අභිමන්යු සිං, නිකිත් ධීර් සහ කබීර් ශ්රොෆ් ද සූර්යවංශී සිනමාපටයෙහි චරිතයන්ට පණ පොවනවා. මුම්බායි නගරයෙහි මෙන්ම මොරිෂස්වලද රෑගත කර ඇති මේ සිනමාපටයෙන් ඒ රටවල සුන්දරත්වය විඳින්නද ප්‍රේක්ෂකයාට අවස්ථාව හිමිව තිබීම විශේෂත්වයක්.

මෙන්න මේ සිනමාපටයේ කතවෙන් හදවත් ආදරයෙන් ස්පර්ශ කරනවා. සූර්යවංශී සිනමාපටය ක‍්‍රියාදාම සිනමාපටයක් විදියට අලෙවි වාර්තා තබමින් තිරගත වෙද්දී මීනක්ෂී සුන්ද්‍රේශ්වර් කියලා තවත් අපූරු සිනමාපටයක් බොලිවුඩයේ මේ දිනවල ජන හදවත් ආකර්ශනය කර ගනිමින් තිරගත වෙනවා. සාන්යා මල්හෝත‍්‍රා සහ අභිමන්යු දස්සානි මේ සිනමාපටයෙහි ප‍්‍රධාන චරිතවලට පණ පොවන අතර විවාහ වෙබ් අඩවියක් හරහා දැන හඳුනාගන්නා දෙදෙනෙක් අතර සම්බන්ධතාවය ගැඹුරු සම්බන්ධයක් වන ආකාරය තමයි මේ සිනමාපටයෙන් කියන අපූරු කතාව. අපි හැමෝම මේ වෙද්දී වැඩිපුර කාලයක් ගෙවන්නෙ අන්තර්ජාලයන්හි සහ සමාජ මාධ්‍ය ජාලාවලනේ. ඒ හරහා හරි අපූරු සම්බන්ධතා වගේම නොයෙකුත් අපචාර ක‍්‍රියාවන්ද සිදුවෙන බව නොදන්න කෙනෙක් නැහැනේ. මේ කියන සිනමාපටය ඉන්දියාවේ දක්ෂිණ ප‍්‍රදේශයේ මීනක්ෂි සහ උතුරු පෙදෙසෙහි ජීවත් වන සින්දරේශ්වර්ගේ ආදර සම්බන්ධතාවය විවාහය දක්වා ගලාගෙන යන ආකාරය අපූරුවට පෙන්වා දෙන සිනමාපටයක්. දකුණු ඉන්දියානු සම්ප‍්‍රදායන් ගැන බොහොම අපූරුවට පෙන්වා දෙන මේ සිනමාපටය ඉතාම අලංකාර සිනමාපටයක්.

මේ සිනමාපටයෙහි දකුණු ඉන්දියාවේ අතිශය ජනප‍්‍රිය සිනමා තාරකාවක් වන රජිනි කාන්ත් ද චරිතයකට පණ පොවනවා. මේ කතාවේ ආදරය කරන දෙදෙනා විවාහ වුණාට පස්සේ සුන්දරේශ්වර්ට රුකියාවෙන් දීමනාවක් ලැබෙනවා. ඒක ලැබෙන්නේ අවිවාහක අයට  විතරයි කියලා ආයතනයෙන් කොන්දේසියක් පණවනවා. මේ සිනමාපටයෙහි කතාව ඉතාම රසවත් කරන්න එහි ලියන්නෝ ලෙස කටයුතු කරලා තියෙන අර්ෂ් වෝරා සහ විවේක් සෝනි ගොඩාක් මහන්සියක් ගෙන තියෙනවා. මෙන්න මේ වෙනස් ආකාරයේ සිනමාපට දෙකම එක විදියට එකක් පරෙයා අනෙක ඉහළට එමින් අලෙවි වාර්තා තබමින් මේ දිනවල ඉන්දියාව ඇතුළු ලොව විවිධ රටවල තිරගත වෙනවා. ආදරය වුණත්, ක‍්‍රියාදාම වුණත් ඒ දෙකම වෙනසක් නොමැතිව පේ‍්‍රක්ෂයන් වැළඳගන්නා බවට මේ සිනමාපට දෙක හොඳම සාක්ෂියක්.