2021 දෙසැම්බර් 04 වන සෙනසුරාදා

සම්මානයෙන් පූජිත උදිත්

 2021 දෙසැම්බර් 04 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 71

සිය විචිත‍්‍රවත් හඬෙන් මිනිසුන්ගේ හදවත්හි රජ කිරීමට උදිත් නාරායන් හට පුළුවන් වුණ බව ඔබ සැවොම දන්නවා. ඔහු විසින් ගායනා කරන සෑම ගීතයක්ම ඔහු තම රසිකයින් උමතු කරවනවා. උදිත් නාරායන් කියන්න නම හදාගන්න එහෙම නැත්නම් තමන්ට උරුම වුණු තැන හදාගන්න ගොඩාක් මහන්සි වුණු කෙනෙක්. එක රුයකින් එක ගීතයකින් උදිත් නාරායන් ගායන තරුවක් බවට පත් වුණු හැටි තමයි අද මේ ලිපියෙන් ඔබට අපි කියන්නේ... ඒත් ඊට පෙරාතුව උදිත් ගැන ඔබ දැනගන්න කැමති දේවල් ටිකකුත් කියලම ඉන්නම්.

1955 දෙසැම්බර් 01 වෙනිදා ඉන්දියාවේ බිහාර් ප‍්‍රාන්තයේ බෛසිවලදී උදිත් නාරායන් ජන්මය ලබනවා. 2006දී දී රංජනා නාරායන් ජා උදිත් නාරායන්ගේ පළමු බිරිඳ විදියට ප‍්‍රකාශ කළද උදිත් නාරායන් එය දිගින් දිගටම ප‍්‍රතික්ෂේප කොට තියෙනවා. නමුත් පසුව ඔහු ඇයව තම භාර්යාව විදියට පිළිගෙන ඇයගේ නඩත්තු සපයන බවට පොරොන්දු වෙනවා. උදිත් නාරායන් රන්ජනා එක්ක විවාහවෙලා තියෙන්නේ 1984දී. ඉන් අනතුරුව 1985දී උදිත් නාරායන් දීපා එක්ක විවාහ වෙනවා. උදිත් රංජනා එක්ක විවාහ වෙලා සිටිද්දීම දීපා එක්ක සම්බන්ධතාවය ආරම්භ කොට තියෙනවා. උදිත් සහ දීපාගේ එකම පුතණුවන් වෙන්නේ ජනප්‍රිය ගායකයෙක් වැඩසටහන් ඉදිරිපත් කරන්නෙක්ද වන ආදිත්‍ය නාරායන් බව ඔබට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ නේද?

2001දී දක්ෂිණ බාහු සම්මානයෙනුත්, 2009 දී පද්ම ශ්‍රී සම්මානයෙනුත් 2016 දී පදම් අභූෂන් සම්මානයෙන්ද පිදුම් ලබන උදිත් නාරායන් සාම ආකාරයකම ශෛලීන්වලින් ගීත ගායනා කරන කෙනෙක් විදියට තමයි සිනමා ක්ෂේත‍්‍රයේ ප‍්‍රසිද්ධියක් උසුලන්නේ. උදිත් නාරායන් තෙළිඟු, කන්නඩා, දමිල, මලයාලම්, ඔඩිආ, නේපාලී, භෝජ්පුරි, බෙන්ගාලි සහ හින්දි භාෂාවලින් ගීත ගායනකොට තියෙනවා. ෆිල්ම් ෆෙයාර් සම්මාන, අයිෆා සම්මාන, ලතා මංගේෂ්කර් සම්මාන උළෙලේ, නැෂනල් ෆිල්ම් ෆෙයාර් අවෝර්ඩ් ඇතුළු විවිධ සිනමා සම්මන උළෙලවලදී හොඳම ගායකයාට හිමි සම්මානයන් එක වරක් නොව කිහිප වරක්ම තම නමට වෙන් කරගන්න උදිත් නාරායන් සමත්වෙලා තියෙනවා. 

නේපාලයේ උපන් උදිත් නාරායන් සිය ගායන දිවිය ආරම්භ කළේ නේපාල ගීත ගයමිනුයි. නේපාල ගීත රුසකට තම සුමිහිරි හඬින් පන පිහිටුවීමෙන් පසුව ඔහු සිහින නගරය වන මුම්බායි නගරයට පැමිණ එතැන් සිට ඔහුගේ ජීවන අරගලයේ නව කතාවේ පරිච්ඡේදයන් එකින් එක ලියන්න පටන් ගෙන තියෙනවා. ජීවනෝපය සඳහා උදිත් නාරායන් හෝටල්වලද ගීත ගායනා කොට ඇති අතර ඒ දවස්වල ජනප‍්‍රිය නළුවෙක් වුනු රාජේෂ් රෝෂන් උදිත් නාරායන් හට ඌෂා මංගේෂ්කර් සහ රාෆී එක්ක ගීතයක් ගායනා කිරීමට අවස්ථාවක් ලබා දුන්නද උදිත් නාරායන්ට තමාගේ වියදම් සොයා ගැනීමට දැඩි ලෙස වෙහෙස මහන්සි වීමට සිදුවෙලා තියෙනවා.

උදිත් නාරායන් 1990 දශකයේ සහ 2000 දශකයේ මුල් භාගයේ බොලිවුඩය තුළ වඩාත්ම කැපී පෙනෙන් ගායකයක්. ඔහු අමිතාබ් බච්චන්, රාජේශ් ඛන්නා, දේව් ආනන්ද්, ආමීර් ඛාන්, ශාරුක් ඛාන්, සල්මාන් ඛාන්, ආක්ෂය කුමාර්, සහ අජේ දේව්ගන් වෙනුවෙන් ඔවුන් චරිතයන්ට පණදුන් සිනමාපට වෙනුවෙන් ගීත ගායන කොට තියෙනවා. උදිත් නාරායන් යුග ගීත වැඩි ප‍්‍රමාණයක් ගායනා කරලා තියෙන්නේ අල්කා යාග්නික් සමගිනුයි. උදිත් නාරායන් 1970දී නේපාලයේ මෛතිලි ජන ගී ගායකයෙක් විදියට (මාණ්ඩලික ශිල්පියෙක් විදියට) සිය වෘත්තීය ජීවිතය ආරම්භ කොට ඇති අතර වසර අටකට පසුව උදිත් නාරායන් භාරතීය විද්‍යා භවන්හි ශාස්ත‍්‍රීය සංගීතය හැදෑරීම සඳහා නේපාලයේ ඉන්දියානු තානාපති කාර්යාලයෙන් නේපාල ජාතිකයින් සඳහා පිරිනමන ශිෂ්‍යත්වයක් ලැබ එකල බොම්බායට ගොස් තියෙනවා.

වියදමට සල්ලි නැතුව කරගන්න දෙයක් නැතුව ඉද්දී උදිත් නාරායන්ට ගීත රචක අන්ජාන් හමුවෙනවා. ඔහු උදිත් නාරායන් හට චිත‍්‍රගුප්තව හමුවීමට සැලැස්වූ අතර ඉන් පසුව උදිත් නාරායන්ට භෝජ්පුරි සිනමාපටවල ගීත ගායනා කිරීමට අවස්ථාව හිමිවෙනවා. ඒ කාලයේ චිත‍්‍රගුප්තගේ පුතුන් දෙදෙනා වන ආනන්ද් සහ මිලින්ද් &ක්‍යාමත් සේ ක්‍යාමත් තක්* හින්දි සිනමාපටය සංගිතවත් කරමින් සිට තියෙනවා. චිත‍්‍රගුප්ත් තම පුතුන් දෙදෙනාට උදිත් නාරායන්ව මුණ ගස්සවන අතර ඔවුන් දෙදෙනාම උදිත්ගේ කට හඬට ගොඩාක් ප‍්‍රිය කරනවා. ඔවුන් දෙදෙනා උදිත් නාරායන් හට &පාපා කැහැතේ හෛ* කියන ගීතය ගායනා කිරීමට අවස්ථාව දෙනවා.

1988 වසරේදී තිරගත වුණු &ක්යාමත් සේ ක්‍යාමත් තක්* කියන සිනමාපටයෙහි ඇතුළත් වූ පාපා කැහැතේ හෛ කියන ගීතය බෙහෙවින් ජනප‍්‍රිය වුණු බව ඔබට අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනේ. අදටත් බොහෝ දෙනෙක් ඒ ගීතයට ප‍්‍රිය කරනවා. උදිත් නාරායන්ගේ හඬෙහි තිබූ මැජික් එකක් හේතුවෙන් ඔහු එක රුයකින් ගායන තරුවක් බවට පත්විය. දැන් උදිත්ට කියලා ගීතයක් ගායනා කරවගන්න හැමෝම බලා ඉන්නවා.

අදටත් ඔබ කැමතිම ගීතය මොකක්ද කියලා කවුරුන් හෝ උදිත් නාරායන්ගෙන් ඇහුවොත් ඔහු කියන්නේ මම කැමතිම පාපා කැහැතේ හෛ කියන ගීතයට කියලයි ඔහු කියන්නේ. මේ ගීතය වෙනුවෙන් හොඳම පසුබිම් ගීතය වෙනුවෙන් උදිත් නාරායන් ෆිල්ම් ෆෙයාර් සම්මානයෙන් පිදුම් ලබනවා. උදිත් නාරායන් ඉන්පසුව හින්දි සිනමා කර්මාන්තයේ අති දක්ෂ ප‍්‍රසිද්ධ සංගීතඥයෙක් වුනු ආර්.ඩී. බර්මන් එක්කත් වැඩකොට තියෙනවා. ඒ.ආර්. රහමාන්, විශාල් භර්ද්වාජ් සහ ජග්ජීත් සිං එක්කත් උදිත් නාරායන් වැඩකොට තියෙනවා.

මේ ලිපිය ලියන දවස වෙනකොට උදිත් නාරායන් භාෂා 34කින් ගීත 25,000කට වඩා ගායනා කරලා තියෙනවා. වර්තමානය වෙනකොට ඔහු වැඩිපුරම ගායනා කරන්නේ භෝජ්පූරි ගීත බවත් ඔබ දැන සිටියද?, උදිත් නාරායන්ගේ නිෂ්පාදන සමාගම මෛතිලි සහ භෝජ්පුරි සිනමාපට නිෂ්පාදනය කරන එක තමයි ඒකට හේතුව.