2021 නොවැම්බර් 27 වන සෙනසුරාදා

නිහඬ සෙවණැලි හැදුවේ හොල්මන් ගෙදරක!

 2021 නොවැම්බර් 27 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 125

හරිත්.. නිහඬ සෙවණැලිත් එක්ක මේ දවස්වල ටිකක් කාර්යබහුලයි කියලයි ආරංචිය?
ඔව්.. නිහඬ සෙවණැලි චිත්‍රපටයට මට අංශ කිහිපයකින්ම දායක වෙන්න අවස්ථාව ලැබුණා. ඒ වෙනුවෙන් එහි අධ්‍යක්ෂක සුනිල් ප්‍රේමරත්න මහතාට ස්තූති කරන්නම ඕනෙ. මෙම චිත්‍රපටයේ තිර පිටපත රචනා කළේ සුනිල් ප්‍රේමරත්න මහතා සහ මම එක්වයි. ඒ වගේම චිත්‍රපටයේ ප්‍රධාන චරිතයකුත් රඟපාන්න වගේම චිත්‍රපටයේ ගීතයක්ද පද රචනා කරන්න මට අවස්ථාව ලැබුණා. ඒ නිසා නිහඬ සෙවණැලි චිත්‍රපටය මට හරි සුවිශේෂීයි. අංශ කිහිපයකින් මේ නිර්මාණයට දායක වෙන්න ලැබීම ගැන මම ගොඩක් සතුටු වෙනවා. ඒ නිසා මේ කාලය තුළදී මම වැඩිපුරම හිත යොමු කරලා තියෙන්නෙත් මේ චිත්‍රපටයටයි.

ප්‍රවීණ සහ තරුණ කලාකරුවන් එක්ක රංගනයට දායක වෙන්න හරිත්ට අවස්ථාව ලැබුණා. ඒ ලැබුණු අවස්ථාව ගැන මොකද හිතෙන්නෙ?
ලොකු සතුටක් තියෙන්නෙ. මම ඉගෙන ගත්තේ මතුගම ශ්‍රී ඩබ්ලිව් ඩබ්ලිව් කන්නන්ගර විදුහලෙයි. ඒ කාලයේදී මම සිනමාවට කැමති වෙන්න නිර්මාණ දෙකක් බලපෑවා. ඒ බූඩි කීර්තිසේන මහතාගේ මිල්ල සොයා චිත්‍රපටය සහ උදයකාන්ත වර්ණකුලසූරිය මහතා අධ්‍යක්ෂණය කළ හිරිපොද වැස්ස චිත්‍රපටයයි. හිරිපොද වැස්සේ ප්‍රධාන චරිත විදිහට රොෂාන් රණවන සහ පුබුදු චතුරංග රඟපෑවා. ඒ කාලේ ඔවුන් අපේ වීරයෝ. ඊට අවුරුදු ගාණකට පසුව 2019 වකවානුවේදී ඔවුන් එක්ක සම චරිත රඟපාන්න මට අවස්ථාව ලැබුණා. ඒක මගේ ජීවිතේ මට ලැබුණු සුවිශේෂී අවස්ථාවක්. හිරිපොද වැස්ස සිනමාශාලාවේ බලද්දි මේ අය එක්ක මට කවදා හරි රඟපාන්න පුළුවන් වේවි කියලා මම කවදාවත් හිතුවේ නැහැ. නිහඬ සෙවණැලි නිර්මාණය හරහා පරිසර විනාශය ගැන අපි කතා කරනවා. පරිසරය විනාශ කළොත් එයින් දරුවන්ට පවා සාප විය හැකිය යන තේමාවක් එක්ක තමයි කතාව ගලාගෙන යන්නෙ. මේක තාරුණ්‍යයත් එක්ක කතා කරන චිත්‍රපටයක් වුණත් පරිසර විනාශය තමයි අන්තර්ගතව පවතින්නේ. පරිසරයට ඔබ ආදරය කරන කල්, පරිසරය ඔබට ආදරය කරයි කියලයි අපිට හිතෙන්නේ.

පාසල් යන කාලේ සිටම හරිත් චිත්‍රපටවල රංගනයට කැමැත්තක් දක්වපු කෙනෙක්ද?
ඔව්.. පාසල් යන කාලේදී මම අනිවාර්යෙන්ම චිත්‍රපට නැරඹුවා. මොන චිත්‍රපටයක් ආවත් තනියම හෝ සිනමාශාලවකට ගිහින් මම ඒ චිත්‍රපටය බැලුවා. සමහරවිට %චිත්‍රපට පිස්සෙක්^ කියලත් හිතෙන වෙලාවල් තිබුණා. ජාතික චිත්‍රපට සංස්ථාවේ සිනමාකරණය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාවක් හැදෑරුවා. ඒ හැමදේම මම කළේ කැලණිය විශ්වවිද්‍යාලයේ උපාධිය හදාරන අතරතුරේදියි. ඒ හරහා මට සිනමාව ගැන බොහෝ දේවල් ඉගෙන ගන්න අවස්ථාව ලැබුණා. මම රෑප දකින්න කැමති වුණා. වේදිකා නාට්‍ය කළත් මගේ වැඩි කැමැත්ත තිබුණේ සිනමාවටයි. මම මාධ්‍ය ආයතන කිහිපයක වැඩසටහන් තිර පිටපත් රචකයෙක් විදිහටත් කටයුතු කළා. ඔය අතරේ ශෂික රුවන් මාරසිංහ නම් මගේ මිත්‍රයාට තිරනාටක පිටපතක් ලියලා දුන්නා. ඒ වැඩේ පටන් නොගත්තත් ඒ ඔස්සේ මට තිර පිටපත් කිහිපයකටම ආරාධනා ලැබුණා.

පුංචි කාලේ හරිත් දැකපු හීනවල නළුවෙක් හිටියද?
ඉස්කෝලෙදි මම වේදිකා නාට්‍ය කළා. දවසක් පන්තියට ආපු ගුරුවරයෙක් ලොකු වුණාම කවුද වෙන්නෙ? කියලා හැමෝගෙන්ම ඇහුවා. මම කිසිම දෙයක් කිව්වේ නැහැ. එහෙම කවුරු හෝ වෙනවා කියන්න මට ලජ්ජා හිතුණා. මට තාම මතකයි අපේ පන්තියේ හිටපු මගේ මිතුරියක් ඔයා නළුවෙක් වෙන්න^ කියලා කිව්වා. එයා ඒක කිව්වේ මුළු පන්තියටම ඇහෙන්නයි. ඇය මේ වෙද්දි නීති පීඨයේ කථිකාචාර්යවරියක්. ඒක මට බලපෑවාද නැද්ද කියලා කියන්න මම දන්නෙ නැහැ. හැබැයි තාමත් මට ඒ මතකය තියෙනවා. ඒ වගේම මගේ තාත්තාගේ ආභාෂයත් තිබුණා. මගේ තාත්තා කලාවට නැඹුරු කෙනෙක්. එයාගේ රුකියාවත් එක්ක ඒවාට සම්බන්ධ නොවුණත් කලාවට හරියට ආදරය කළා. ඒ කාලේ ඉඳන් චිත්‍රපට ගැන, පත පොත ගැන බොහෝ දේවල් කියලා දුන්නා.

හරිත්ගේ පවුලේ විස්තර ටිකක් කියමු?
මමයි අම්මයි තාත්තයි මල්ලියි ඉන්නෙ. මල්ලි පෞද්ගලික ආයතනයක ඉංජිනේරුවෙක් විදිහට කටයුතු කරනවා. මම පිටපතක් ලියලා මුලින්ම කතා කළේ මල්ලි එක්කයි. අදටත් එහෙමයි. මල්ලි ගණිත අංශයෙන් ඉගෙනගෙන ඉදිරියට ගිය කෙනෙක්. ඒ නිසා කලාවට සම්බන්ධ නැති, කලාවට කැමති කෙනෙක් එක්ක පිටපතක් ගැන කතා කරද්දි අඩුපාඩු හදාගන්න පුළුවන්. මගේ තාත්තා අම්මා විශ්‍රාමිකයි. ඒ දෙන්නා මට මේ දේවල්වලට දක්වන සහයෝගය උපරිමයි. එහෙම දෙමව්පියන්, සහෝදරයෙක් ලැබීම ගැන මම ගොඩක් සතුටු වෙනවා.

හරිත්.. නිහඬ සෙවණැලි කියන්නේ හොල්මන් ආශ්‍රිතව නිර්මාණය කරපු චිත්‍රපටයක්. රූගත කිරීම් කරද්දිත් හරි අකරතැබ්බවලට මුහුණ දුන්නා කියලයි ආරංචිය?
ඔව්නෙ.. අපි රෑගත කිරීම් කරපු නිවස පාළුවට ගිය, කිසිම කෙනෙක් කාලයක් තිස්සේ පදිංචි නොවුණු නිවසක්. ඒ ගම්මු පවා ඒ නිවසේ හොල්මන් තියෙනවා කියලා කිව්වා. ඒ නිසාම ඒ සුවිශේෂී අත්දැකීම් සැබැවින්ම ලබන්න අපිට අවස්ථාව ලැබුණා. එකපාරටම බිත්ති කණ්ඩියක් පවා කඩාගෙන වැටුණා. ඒකෙන් කට්ටිය අනූ නවයෙන් තමයි බේරුණේ. මම පෞද්ගලිකව ඔය හොල්මන් අවතාර පිළිගන්නේ නැහැ. ඒ නිසාම මම රෑගත කිරීම් අතරතුරේදි තනියම ඔය ගෙදරට යනවා කියලත් කට්ටිය එක්ක ඔට්ටුවක් ඇල්ලුවා. ඒත්.. කවුරුවත් මට එහෙම යන්න දුන්නේ නැහැ. ඔය රූ හොල්මනකට බය වුණොත් ෂූටින් කරන්නවත් ලැබෙන්නේ නැහැ කියලා කට්ටිය ඒ ගමන යන එක වැළැක්වුවා. ඒ වගේ හරි සොඳුරු අත්දැකීම් ඒ කාලය පුරාවට තිබුණා. සමහරු ඒ ගෙදර රෑගත කිරීම් කරන අතරේ ඡායාවන් දැක්කා කියලත් කිව්වා.

කට්ටියම නොදන්නා බිලිගන්න ඇල්ලකට ගියේ ඇයි?
ඒකත් වුණේ මාකිරි ඇල්ල ප්‍රදේශයේ කරපු රූගත කිරීමකදියි. මාකිරි ඇල්ල කියන්නෙ මිනිස්සු ගසාගෙන යන බිලිගන්න ස්ථානයක්. ඒ ගැන අපි ඊට පෙර දැනගෙන හිටියේ නැහැ. අපි රෑගත කිරීම් කරලා අනිත් පැත්තෙන් ගොඩට එද්දි &මෙය බිලිගන්න ස්ථානයකි. මෙම ස්ථානයට නොයන්න යැයි පුවරුවක් තිබුණා. එතන එකපාරටම වතුර මට්ටම වැඩි වෙනවලු. එහෙම වුණා නම් ලොකු අනතුරක් වෙන්නත් තිබුණා. මේ චිත්‍රපටයේ රොෂාන්, තාරුකා, පුබුදු, මාෂි, ධනංජය සහ මම හරිම සතුටින් හරියට විනෝද ගමනක් ගියා හා සමානව තමයි මේ හැම රෑගත කිරීමකටම සහභාගි වුණේ.

නිහඬ සෙවණැලි චිත්‍රපටයේ සුවිශේෂී වටිනාකමක් හිමිවන්නේ එහි වෙස් ගැන්වීමටයි?
ඔව්.. ඒකට ප්‍රියන්ත දිසානායක අයියාට ස්තූති කරන්නම ඕනෙ. හොල්මන් වුණු අපිව මේක්අප් කළේ ඔහුයි. මේක්අප් එක කළාට පස්සේ අපිට කෑම කන්න බැහැ. පුබුදුගේ මේක්අප් එක දැම්මට පස්සේ එයාට ඇස් පේන්නෙත් නැහැ. ඒක ලොකු අත්දැකීමක් වුණා. උදේ කෑම කාලා මේක්අප් එක දාගගත්තට පස්සේ හවස හය විතර වනතුරු කෑම කන්න පුළුවන් වුණේ නැහැ. ඒ කාලය පුරාවට බටයක් වගේ ආධාරකයකින් තමයි වතුර ටිකක් හරි බිව්වේ. කරපු කැපකිරීම් හැමදෙයක්ම කළේ හරිම සතුටින්.

චිත්‍රපටයේ ජීප් රථය ඉදිරියට පනින දර්ශනය කී පාරක් රූගත කළාද?
ඒක පස් හය වතාවක් වගේ රෑගත කළා. මට හොල්මනක් වෙලා ජීප් රථය ඉදිරියට එක්වරම පනින්න දර්ශනයක් තියෙනවා. කට්ටිය ජීප් රථය නවත්තලා පනින්න කියලයි කිව්වේ. ඒත් ජීප් රථය එද්දි මම පනින්නම් කියලා මමම යෝජනා කළා. මේ මොහොතේ සරත් චන්ද්‍රසිරි අයියාව ආදරයෙන් මතක් කරනවා. සරත් අයියා ඒ දර්ශනය කරන්න මට උපරිමයෙන් සහයෝගය දුන්නා. ඔහු අත්දැකීම් බහුල ප්‍රවීණ කලාකරුවෙක්. එන වාහනයට කැලේ ඇතුළේ ඉඳන් මම කීප වතාවක් පැන්නා. තාක්ෂණික හේතූන් නිසා වගේම විවිධ හේතූන් නිසාත් කීප වතාවක්ම ඒක රෑගත කිරීම් කරන්න සිදු වුණා. වාහනයේ නම්බර් ප්ලේට් එක පවා ඒ රෑගත කිරීම් කරද්දි කැඩුණා. අපි රාත්‍රියේ පැදුරු සාජ්ජ පවා පැවැත්වුවා.

හරිත්ගේ ඊළඟ බලාපොරොත්තු මොනවාද?
නිර්මාණ කිහිපයක්ම කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. ඒ අතරින් මම තිර රචනා කළ සුනිල් ප්‍රේමරත්න මහතා අධ්‍යක්ෂණය කළ 21 ටෙලිනාට්‍ය ඉතා ඉක්මනින් විකාශය කරන්න අවසරය ලැබේවි යැයි බලාපොරොත්තු වෙනවා. වර්තමානයේදී කවුරුත් කතා නොකරන මාතෘකාවක් ගැන ඒ ඔස්සේ අපි කතා කරන්න සූදානම් වෙනවා. ඒකත් වෙනස් අත්දැකීමක් වේවි.

ධනංජි තාරකා

ධනංජිට දැන් සැන්ඩ්‍රි කියන්නද? ධනංජි කියන්නද?
ධනංජි කියමු නේද? මම සුනිල් ප්‍රේමරත්න මහතා අධ්‍යක්ෂණය කළ දෙවැනි චිත්‍රපටය වන නිහඬ සෙවණැලි චිත්‍රපටයේ රඟපාන්නේ සැන්ඩ්‍රි කියන චරිතයයි. සුනිල් අයියාගේ පළමු චිත්‍රපටය වුණු වැලි පහුරු චිත්‍රපටයෙත් මම රඟපෑවා. %නිහඬ සෙවණැලි^ කියන්නේ හොල්මන් චිත්‍රපටයක් වගේම ආදර්ශමත් කතාවක්. ඒක අභියෝගාත්මක නිර්මාණයක්. ඒ නිසා තමයි මම මේ නිර්මාණය කරන්න බාරගත්තේ.

ධනංජිට මෙම චිත්‍රපටයේ වැඩියෙන්ම රඟපාන්න තියෙන්නේ රොමා හෙවත් හරිත් එක්කයි?
ඔව්.. හරිත් වාසල කියන්නෙ වැලි පහුරු චිත්‍රපටයේදිත් මගේ සැමියාට රඟපාපු කෙනායි. ඒ නිසා අපි හොඳට හඳුනනවා. මම හරිත්ට හුරුයි. අපි සමහර රූගත කිරීම් කළේ රෑ දොළහට එකට විතර. ඒ රූගත කිරීම් කරද්දි කට්ටිය අපිව බොරුවටත් බය කළා. එක දර්ශනයකදී මම මහ රෑ හොල්මනක් වෙලා ගහක් උඩ නැගලා ඉන්න කොටසක් රෑගත කිරීම් කළා. මම ගහ උඩ තනියම ඉඳිද්දි හරිත් ඇතුළු කණ්ඩායම බොරුවට ඇවිත් පිටිපස්සෙ ඉඳන් මාව බය කළා. කකුල දිගේ කොළ කෑලි වගේ දේවල් යවලා මාව බය කළා. මුළු ගමම නිදාගෙන ඉඳිද්දි අපි රෑ දොළහට එකට හොඳටම බය වුණු අවස්ථා තිබුණා.

ඔබටත් හරි ලස්සන මුහුණක් ප්‍රියන්ත දැම්මා කියලයි ආරංචිය?
අම්මෝ ඔව්.. ඒ හොල්මන් මූණ හරි ලස්සනයි. ප්‍රියන්ත අයියා (ප්‍රියන්ත දිසානායක) කියන්නේ දක්ෂ වේෂ නිරෑපණ ශිල්පියෙක්. සමහර මේක්අප් කරද්දි අපිට පේන්නෙ නැහැ. පුබුදු අයියව තමයි පේන්නෙම නැතිව ගියේ. පුබුදු අයියා ඒ මේක්අප් එක දැම්මට පස්සේ රෑගත කිරීම් කළේ කියන දේවල් එක්කයි. ඒ වගේ හැමෝම පුදුම කැප කිරීම් කළා. මේක්අප් දැම්මට පස්සේ අපිට මුහුණ අල්ලන්නවත් බැහැ. මට නම් හිතෙන විදිහට ඒ මේක්අප් එක සුපිරියි. අපි දින ගණනාවක් ඒ පැතිවල නතරවෙලයි චිත්‍රපටය රෑගත කිරීම් කළේ. ඒ කිසිම දවසක හිත් රිදීම් කොතනකදිවත් සිදු වුණේ නැහැ. හරිම විනෝදයෙන් ඒ චිත්‍රපටය රූගත කිරීම් කළා.

මේ දවස්වල ධනංජි නිරතවෙලා ඉන්න නිර්මාණ මොනවද?
මේ දවස්වල හාට් කාට් කියන නාට්‍යයෙත්, සුනිල් ටී ප්‍රනාන්දු මහතා නිෂ්පාදනය කරන සුනිල් ප්‍රේමරත්න මහතා අධ්‍යක්ෂණය කරන මීළඟ චිත්‍රපටයටත් ආරාධනා ලැබුණා. ඊට අමතරව 21 ටෙලිනාට්‍යයටත් සම්බන්ධවෙලා ඉන්නවා.

ජීවිතේ කොහොමද?
පෞද්ගලික ජීවිතේ හොඳින් ගෙවෙනවා. මගේ සැමියා දෙව්නක වීරනායක. පහුගිය කාලයේදී කොවිඩ් නිසා වැඩ අඩුයි ඒ නිසා වැඩිපුරම ගෙදර හිටියේ. දෙව්නකත් මේ දවස්වල වෙස්ගත්තෝ ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතයක් රඟපානවා.

ධනංජි.. ඊළඟට තියෙන බලාපොරොත්තු මොනවාද?
මට ඉස්සර ගොඩක් බලාපොරොත්තු තිබුණා. හැබැයි කොවිඩ් නිසා දැන් හැමදේටම අනිත්‍යභාවය දැනිලා තියෙන්නේ. ඒ නිසා ලොකුවට ජීවිතේ ප්ලෑන් කරන්න අමාරුයි. මේ කාලයේදී ව්‍යාපාරයක් ආරම්භ කරන්න හිතාගෙන හිටපු දේවලුත් පොඩ්ඩක් පස්සට දාලයි තියෙන්නේ.

 

                    සේයාරූ I සුමුදු හේවාපතිරණ