2021 නොවැම්බර් 27 වන සෙනසුරාදා

තරු පලඳින මාර මුදු

 2021 නොවැම්බර් 27 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 120

මුද්දක මිල

විවාහ ගිවිස ගැනීමේදී බොහෝ රටවල එය සිදුවන්නේ මුදුවක් තම සහකරුවාට සහ සහකාරියට පළන්දවලා කියන එක නොදන්න කෙනෙක් නැහැ. සමහර උදවිය තම පෙම්වතිය හෝ පෙම්වතාව පුදුමයට පත්කරන්න විවිධාකාරයේ පුදුම කිරීමේ කාර්යයන් සැළසුම් කර තම විවාහ යෝජනාව තම සිතෙහි රජ කරන අයට යෝජනා කොට ඔහු හෝ ඇය කැමැත්ත ප‍්‍රකාශ කළහම මුදුවක් පළඳවනවා. ඒක අපේ රටේ මෙන්ම ලොව බොහෝ රටවල සිදුවන චාරිත‍්‍රයක්. විවාහ ගිවිස ගැනීමේදී බොලිවුඩ් තරුත් තම සහකරුවාට සහ සහකාරියට මුදුවක් පළඳවනවා. අද මේ ලිපියෙන් කියන්න හදන්නේ බොලිවුඩයේ සුරූපිනියන් විවාහ ගිවිස ගැනීමේදී පැළැඳි මුදුවල වටිනාකම කොතෙක්ද කියලයි.

බොලිවුඩයට ප‍්‍රිය කරන්නන් බොලිවුඩ් තරු හා සම්බන්ධ සෑම දෙයක්ම දැන ගැනීමට උනන්දු වන අතර බොලිවුඩ් තරු හා සම්බන්ධ පුවත් මාධ්‍යවලින් මෙන්ම සමාජ මාධ්‍ය හරහාද ඔවුන් වෙත බාධාවකින් තොරව දැන ගැනීමට පුළුවන්. මේ ලිපියෙන් බොලිවුඩ් සිනමාවේ හැඩකාරියන් 05 දෙනෙකුගේ විවාහ ගිවිස ගැනීමේ මුදු ගැන ඔබට අපි කියනවා.

• ඓශ්වර්යා රායි බච්චන්

2009 වසරේදී ඉන්දියාවේ ඉහළම සම්මානයක් වන පද්ම ශ්‍රී සම්මානයෙන් පිදුම් ලැබූ ඓශ්වර්යා රායි 1973 නොවැම්බර් 01 වැනිදා ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයේ මැන්ගලොරේ වල ඉපදුනු ඇය මුම්බායි විශ්වවිද්‍යාලයෙන් ඉගෙන ගත්ත කෙනෙක්. 1991 වසරේ සිට හින්දි සිනමාව හා සම්බන්ධව වැඩකරන ඇය 1994දී මිස් වර්ල්ඩ් කිරුළ තම නමට ලියාගන්නට සමත් වුණේ ඇයගේ රූ සපුව නිසයි. ලොව සුන්දරම කාන්තාව ලෙසින් හඳුන්වන බොලිවුඩ් නිළි ඓශ්වර්යා රායි බච්චන්ගේ රූමත්කම ලොවපුරා රසික රසිකාවියන් පමණක් නොව බොහෝ දෙනෙකුගේ සිහින කුමාරය විදියට හඳුන්වන සල්මාන් ඛාන්ද උමතුවෙලා හිටියා කියන එක කවුරුත් දන්න රහසක්. සිනමා කර්මාන්තයේ නියැලුනු ජනප‍්‍රිය බොහෝ දෙනෙකු ඇය හා සම්බන්ධතා පවත්වන බව සිරස්තල මැව්වත්, ඓශ්වර්යා රායි බොලිවුඩයේ අධිරාජයා වන අමිතාබ් බච්චන්ගේ පුත් ජනප‍්‍රිය නළු අභිෂේක් භච්චන්ව ඇයගේ ජීවන සහකරුවා කර ගත්තා. අභිෂේක් තම අනාගත රෑමත් සහකාරියට විවාහ ගිවිස ගන්නා විට කැරට් 53ක සොලිටේයර් මුදුවක් පළඳවන අතර එහි වටිනාකම ඉන්දිය රුපියල් ලක්ෂ 50ක්. එය ශ්‍රී ලංකා රුපියල් වලින් කොයිතරම් වටිනවද කියලා රුපියලේ වටිනාකම දවසින් දවස වෙනස් වන නිසා ඔබටම හදලා බලන්න වෙනවා.

• සෝනම් කපූර්

1985 ජූනි 09 වැනිදා ඉන්දියාවේ මහාරාෂ්ට‍්‍රා ප‍්‍රාන්තයේදී ජනප‍්‍රිය නළු අනිල් කපූර් සහ සුනීතා කපූර්ගේ දියණියක් විදියට ඉපැදුණු සෝනම් කපූර් 2007 වාරේ සිට බොලිවුඩ් සිනමාවේ නිළියක් විදියට වෘත්තියේ නියැලෙන බව බොලිවුඩයට හිතැති සැවොම දන්නා දෙයක්. බොලිවුඩයේ වඩාත්ම හැඩකාරියන්ගේ ලැයිස්තුවට ඇතුළත් වන සෝනම් කපූර් 2018 දී විවාහ වුණේ සුප‍්‍රසිද්ධ ව්‍යාපාරික ආනන්ද් අහුජා සමගයි. සෝනම් කපූර්ගේ මංගල්සූත‍්‍ර (තැල්ල) සිට විවාහ ගිවිස ගැනීමේ මුදුව දක්වා සෑම දෙයක්ම ඉතා සුවිශේෂී දේවල් වුණා. වාර්තා වන අන්දමට ආනන්ද් අහුජා සෝනම්ට පැළඳ වූ විවාහ ගිවිස ගැනීමේ මුදුවේ වටිනාකම ඉන්දියානු රුපියල් ලක්ෂ 90ක්.

• අනුෂ්කා ශර්මා

1988 මැයි 01 වැනිදා ඉන්දියාවේ උත්තර් ප‍්‍රදේශයේ අයෝධ්‍යාවල ඉපැදුණු අනුෂ්කා ශර්මා බැංගලෝර් විශ්වවිද්‍යාලයෙන් බී.ඒ. උපාධිය ලබාගත් අතර 2007 වසරේදී රබ්නේ බනාදී ජෝඩි හින්දි සිනමා පටයෙන් බොලිවුඩ් සිනමාවට පා තැබූ අතර 2017 දී ඇය විවාහ වුණේ ජනප‍්‍රිය දක්ෂ ක‍්‍රිකට් ක‍්‍රීඩකයෙක් වුණු විරාට් කෝලි සමගිනුයි. රංගන ශිල්පිනියක් වුණු අනුෂ්කා ශර්මා සහ විරාට් කෝලිගේ විවාහය කාගෙත් මවිතයට හේතුවක් වුණු අතර ඔවුන් දෙදෙනා රහසේ විවාහ වී සියල්ලන්ම මවිතයට පත් කළා. විරාට් කෝලි තම ආදරවන්තිය අනුෂ්කා ශර්මාට පැළඳ වූ විවාහ ගිවිස ගැනීමේ මුදුව ඉන්දීය රුපියල් කෝටියක් වටිනවා කියලා තමයි කියන්නේ.

• ප‍්‍රියංකා චොප්රා

1982 ජූලි 18 වෙනිදා ඉන්දියාවේ බිහාර් ප‍්‍රාන්තයේ ජ්හාර්ඛන්ඩ් වලදී ඉපැදුණු ප‍්‍රියංකා චොප්රා 2002 වසරේදී හින්දි සිනමා ක්ෂේත‍්‍රයට යොමුවුණු අතර ඇය 2000 වසරේදී මිස් වර්ල්ඩ් කිරුළ තම නමට වෙන්කර ගැනීමට සමත් වුණු බව සැවොම දන්නා දෙයක්. බොලිවුඩයේ පමණක් නොව හොලිවුඩ් සිනමාව දක්වා සාර්ථකත්වයේ හිණිපෙත්තට නැඟුණු ප‍්‍රියංකා 2018 විවාහ වුණේ ඇමෙරිකානු ගායක නික් ජොනාස් සමගිනුයි. ඔවුන් දෙදෙනාගේ විවාහය කාගෙත් මතකයේ රුඳුණු එකක් වන අතර ඔවුන් දෙදෙනා විවාහ වී ඇත්තේ ක‍්‍රිස්තියානි සහ හින්දු චාරිත‍්‍ර වාරිත‍්‍ර දෙකටම අනුව වන අතර විවාහ ගිවිස ගැනීමේදී නික් ඉන්දියානු රුපියල් එක් කෝටි හතළිස් ලක්ෂයක් වටිනා අලංකාර මුදුවක් ප‍්‍රියංකා චොප්රාට පැළඳ වූ අතර එය බොහෝ කතාබහටද ලක් විය.

• දීපිකා පදුකෝන්

1986 ජනවාරි 05 වැනිදා ඩෙන්මාර්කයේ කොපෙන්හැගන්වලදී ඉපැදුණු දීපිකා පදුකෝන් 2005 වසරේදී හින්දි සිනමාවට නිළියක් විදියට පා තබනවා. බොලිවුඩයේ සුන්දරම සහ ජනප‍්‍රියම යුවළ ලැයිස්තුවට ඇතුළත්ව සිටින රංගන ශිල්පීන් වන රන්වීර් සහ දීපිකා පදුකෝන් කාගෙත් ප‍්‍රියතමයන් වෙනවා. දීපිකාට ආදරය කරන රන්වීර් සිං තම ප‍්‍රියම්බිකාවට ඇති ආදරය වෙනුවෙන් ඉන්දියානු රුපියල් දෙකෝටි හත් ලක්ෂයක් වටිනා මුදුවක් විවාහ ගිවිස ගැනීමේදී පැළැඳ වූ අතර එය දීපිකාගේ සුන්දරත්වය තවත් සුන්දර  කරනවා.