2021 නොවැම්බර් 20 වන සෙනසුරාදා

දවල්ට නිදාගෙන රෑට වැඩකරන්න මාර ආසයි

 2021 නොවැම්බර් 20 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 105

කොවිඩ් කාලයේදී ඔයාගේ වැඩිපුරම හිත ගියේ?
කොවිඩ් කාලයේදී වැඩිපුරම හිතගියේ චිත්‍රපට බලන්නයි. කොහොමටත් මම දවසකට ෆිල්ම් එකක් බලන්න උත්සාහ කරනවා. හැබැයි ඉතින් එක දිගට චිත්‍රපට බලන එකත් ටිකක් කාලය කා දැමීමක් තමයි. හැබැයි ඉගෙනගන්න බොහෝ දේවල් තියෙනවා. ඒ නිසා කොවිඩ් කාලයේදී ෆිල්ම් බැලුවා.

ජීවිතේ ආයේ ආයෙත් අහන්න ආසා ගීතය?
මම කොහොමත් චරිත අත්තලගේ ගායනා කරන ගීතවලට ආසයි. එයාගේ දුර ආකහේ ගීතයට මාරම විදිහට ආසයි. මම ඒක දවසකට හතර පස් වතාවක්වත් අහනවා.

යහළුවන් මුනගැහුණාම වැඩිපුරම කතා කරන මාතෘකාව?
මම එහෙම යාළුවෝ ලොකු පිරිසක් නම් නැහැ. ඉන්න යාළුවන් එක්ක මම මේ දවස්වල නොකරන්නේ නම් කාලය සම්බන්ධ එක එක ප්‍රශ්න, ආලෝකයේ එක එක හැසිරීම ගැන කතා කරනවා. හැබැයි මගේ යාළුවන්ට ඒ සම්බන්ධ කතා කරන්න කැමැත්තක් නැති බවත් මම දන්නවා. විද්‍යාව සම්බන්ධ ගැටලු මම කතා කළත් සමහර යාළුවන්ට නම් ඒක වදයක් බවත් මම දන්නවා.

පුංචි කාලේ යන්න ඇත්නම් යන්න ආස කරන්නේ?
එහෙම පුංචිම කාලේට යන්න මගේ ආසාවක් නැහැ. හැබැයි සාමාන්‍ය පෙළ පන්තිවල ඉගෙන ගන්න කාලවලට යන්න ආසාවක් තිබෙනවා. ඒ කාලේ හරි ෂෝක්. ඉස්කෝලේ ඉවරවෙලා පයින් ගොඩක් දුර යාළුවන් එක්ක ඇවිද්දා. ගණන් විෂය ඉගෙන ගන්න රූට අමතර පන්තියකටත් ගියා. මම ජීවිතයටම අමතර පන්තියකට ආසාවෙන් ගියේ ඒකට තමයි.

 ආසා කරන සෙල්ලම
මම ආසාම කරන සෙල්ලම ක්‍රිකට්. ඉස්කෝලේ යන කාලේදීත් යාළුවෝ එක්ක ඇතිතරම් ක්‍රිකට් සෙල්ලම් කළා. දැනුත් ඉඩ ලැබෙන වෙලාවල්වල කට්ටිය එකතු වුණොත් අපි ක්‍රිකට් සෙල්ලම් කරනවා.

ආසම වාහනය මොකක්ද?
ඇත්තම කියන්නද? මම එහෙම වාහන සම්බන්ධයෙන් විශේෂ කැමැත්තක් තියෙන කෙනෙක් නෙමෙයි. හැබැයි මම හරි ආසයි Tesla Models Plaid වාහනයට. ඒක තමයි මේ කාලයේදී මගේ ආසම වාහනය වෙන්නේ.

කැමැතිම පර්ෆියුම් එක?
මම ආසාම පර්ෆියුම් එක වන්නේ CKI පර්ෆියුම් එකට. ඒක හරි සුවඳ පර්ෆියුම් වර්ගයක්.

ලංකාවේ යන්න ආසා කරන තැන?
ලංකාවේ මම බොහෝ තැන්වලට යන්න ආසයි. ඒක කාලෙන් කාලෙට වෙනස් වෙනවා. මම කඳු නඟින්න මාරම ආසයි. මේ දවස්වල මම යකාගේ පඩිපෙළ (Devil’s Staircase) නගින්න හරිම ආසවෙන් ඉන්නේ. ඒකත් හරි අපූරු අත්දැකීමක් වේවි.

කෙනෙකුට තෑග්ගක් දෙන්න තෝරද්දී හිත යන්නේ මොනවටද?
ඇත්තටම කියන්නද? සාමාන්‍යයෙන් මට කෙනෙකුට තෑගි තෝරන්න දන්නේ නැහැ. තනියම කාට හරි තෑග්ගක් තෝරල දුන්නොත් ඒක කිසිම වැදගත්කමක් නැති, අපරාදයක් වෙනවා. ඒ නිසා මම තනියම ගිහින් කාටවත් වැඩිය තෑගි තෝරලා නැහැ. ජීවිතේටම මම තනියම ගිහින් තෑගි තෝරලා දීලා ඇත්තේ තුන්පාරක් හෝ හතර පාරක් වගෙයි. අනිත් හැම පාරකම තෑගි තෝරද්දී මම මගේ යාළුවෙක් උදව් කරනවාම තමයි.

කාගෙන් හරි තෑග්ගක් ලැබෙනවා නම් ආසා කරන්නේ?
මම හරි ආසයි ඔර්ලෝසුවලට. මම ආසා කරපු, මම ගත්තු, මට තෑගි ලැබුණ ඔර්ලෝසු එකතුවක් මට තියෙනවා. හැබැයි ඉතින් කවුරු හරි ආසාවෙන් දෙන ඕනෑම තෑග්ගක් මාත් ආසාවෙන් බාර ගන්නවා.

කොච්චර කෑවත් එපා වෙන්නේ නැති කෑම?
අම්මෝ.... මම පීසා කන්න නම් මාරම ආසයි.

ජීවත් වෙන්න කැමැති?
මම පුළුවන් හැම වෙලාවෙම ගෙදරට වෙලා ඉන්න කැමැතියි. මම නිදහසේ, තනියම ඉන්න කැමැති කෙනෙක්. මම දවල්ට නිදාගෙන රෑට වැඩකරන්න කැමති කෙනෙක්.

 දිශානි ජයමාලි