2021 ඔක්තෝබර් 23 වන සෙනසුරාදා

මගේ රඟපෑම් ගැන මටම පුදුමයි.....

 2021 ඔක්තෝබර් 23 වන සෙනසුරාදා, පෙ.ව. 10:01 224

මධුෂානි පෙරේරා කියන්නේ කුකුළු මුදලාලිගේ දුව වගේම කටකාර කෙනෙක්ද?
අනේ නැහැ. මම ඒ තරම් කටකාර නම් නැහැ. මම බොහෝ වෙලාවට කතා කරන්නෙත් අඩුවෙන්. මම එහෙම කියද්දිත් බොහෝදෙනා ඒක පිළිගන්නෙත් නැහැ. අච්චර කෑගහන ළමයා මෙච්චර නිශ්ශබ්ද වෙන්නේ නැහැනේ කියල සමහරැ මටම කියන වෙලාවලුත් තියෙනවා. මගේ පවුලේ ඉන්නේ අම්මයි, තාත්තයි, අයියයි, මමයි. දැන් අයියා විදෙස් ගතවෙලයි ඉන්නේ. ඒ නිසා දැන් ගෙදර ඉන්නේ අපි තුන්දෙනා විතරයි. ගොඩක් වෙලාවට අම්මා එයාගේ වැඩක් කරනවා. තාත්තා එයාගේ වැඩක් කරනවා. මම ගෙදර මගේ පාඩුවේ ඉන්නවා. මගේ අම්මා ගෘහණියක්. තාත්තා සීමන් කෙනෙක් විදිහට සේවය කරලා මේ වනවිට විශ්‍රාමිකයි. ගෙදර ඉඳිද්දීත් මම මගේ කාමරයට වෙලා පාඩුවේ ඉන්නවා. ඒ නිසා ජානු වගේ මට එහෙම කෑගහන්න හේතුවක් නැහැ.

නිළියක් වෙන්න මධුෂානි පුංචි කාලේ ඉඳන්ම ආසා කළාද...?
නැහැ. පුංචි කාලේ මම එහෙම කවදාවත් නිළියක් වෙන්න හීන දැක්කේ නැහැ. මම හිතපු නැති විදිහට මාව මේ ක්ෂේත්‍රයට යොමුවුණා. ඉස්කෝලේ ඉගෙන ගන්න මුල් කාලේදී මම ගෘහ නිර්මාණ ශිල්පිනියක් වෙන්න ආස කළා. මම චිත්‍ර කලාවට ගොඩක් ආසයි. උසස් පෙළ කරන කාලේදී මම ගුවන් සේවිකාවක් වෙන්න ආස කළා. ඒ නිසාම මම ඒ සම්බන්ධව භාෂාවක් හැදෑරීමක් උසස් පෙළටත් කළා. ගුවන් සේවිකාවක් වෙන්නත් මම කීපවතාවක් උත්සාහ කළා. ඊටපසුව මම නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්න අවස්ථාවක් ලැබුණා. අයියාව බලන්න මෙල්බන් ගිය ගමනේදී එහිදී මොඩ්ලින් ඩිප්ලෝමාවක් කරල තමයි මම  ඒකත් පටන් ගත්තේ. ඊටපසුව තමයි මට රංගන ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණේ.

මධුෂානි ඉගෙන ගත්තේ....?
මම ඉගෙන ගත්තේ පන්නිපිටිය ධර්මපාල විදුහලේ. පාසැලේදී මම උදේට පන්තිය ඇතුළට ආවට පස්සේ ආයේ එළියට යන්නේ පාසැල ඇරුණට පස්සෙයි. කිසිම බාහිර ක්‍රියාකාරකමකට සම්බන්ධ වුණේ නැහැ. අඩුම ගානේ යාළුවෝ එක්ක සෙල්ලම් කරන්නවත් පිට්ටනියට ගියේ නැහැ. ළදරු පාසැල් යන කාලේදීත් එහෙමලු. කවදාවත් මම විවේක කාලයටවත් එළියට ගිහින් සෙල්ලම් කරල නැහැ. ක්ලාස් එක ඇතුළේම ගෙනාපු කෑම එක කාලා අනිත් ළමයි සෙල්ලම් කරන්න ගිහින් එනකම් පුටුවේ වාඩිවෙලා ඉඳල තියෙනවා. පාසැලේදීත් එහෙමයි. මට ගොඩක් යාළුවෝ ඉඳලා නැහැ. පාසැල් වේදිකාවේ රඟපාලම නැහැ. පාසැල් ජීවිතේටම උදේ රැස්වීම් දෙකකදී හෝ තුනකදී කතාවක් කරලා ඇති. එච්චරමයි. එදා එහෙම හිටපු මම අද මෙහෙම රඟපාන එක ගැනත් වෙලාවකට මටත් පුදුමයි.

පාසැල් වේදිකාවක රඟ නොපාපු මධුෂානි නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්න හිත ගියේ කොහොමද?
පාසැල් අධ්‍යාපනය අවසන් කරල මම වෙළඳ දැන්වීම් ආයතනයක වසරක් පමණ සේවය කළා. එතනදි වෙළඳ දැන්වීම් කිහිපයකට සම්බන්ධ වෙන්න මට අවස්ථාව ලැබුණ. ඒ හරහා මටත් පොඩි ආසාවක් ඇතිවුණා. ඒ ආසාවත් එක්කම තමයි නිරෑපණ ක්ෂේත්‍රයට සම්බන්ධව මට ඉගෙන ගන්න ඕනවුණේ. වෙළඳ දැන්වීම්වලදී මුලදී වැඩිය කතාකරන්න ඕන වුණේ නැහැ. ටිකින් ටික මම ඒකට හුරුවුණා.

මේ දේවල්වලට සම්බන්ධ වෙනවට අම්මා තාත්තා කැමැති වුණාද?
එහෙම මට ලොකු බලකිරීමක් තිබුණේ නැහැ. හැබැයි මුලින් මොඩ්ලින් කරද්දී නම් තාත්තා පොඩ්ඩක් අකැමැති වුණා. දැන්නම් එහෙම නැහැ. දැන් ගෙදර හැමෝම මේ වැඩවලට මට ලොකු සහයෝගයක් ලබලා දෙනවා.

 මධුෂානි කියනවාට වඩා ඔයාව කවුරුත් දන්නේ උළු කැටේ, කුකුල් පැටියා වගේ නම් වලින්නේ. මඟතොටේදීත් එහෙම කට්ටිය කියනවාද?
මඟතොටේදි නම් මූණට මුණගැහුණාම නම් වැඩිය කට්ටිය කියන්නේ නැහැ. හැබැයි මාව දකිද්දී &අන්න කුකුල් පැටියා යනවා. අන්න උළු කැටේ යනවා වගේ කතා නම් කියනවා. ඈත ඉඳන් එහෙ කිව්වට ළඟට ඇවිත් කට්ටිය &ජානු, සිඟිති* කියල තමයි කතා කරන්නේ. මුලින් නම් පොඩි වෙනසක් තේරුණා. උළු කෑල්ල, කුකුල් බබා කියල කතා කරද්දී මට මොකක්ද වගෙයි දැනුණේ. දැන්නම් මම ඒකට පුරුදුවෙලා. මේක මගේ දෙවැනි නිර්මාණය. මීට පෙර රාවණා ටෙලිනාට්‍යයේ මන්දෝදරී චරිතය කරන්න මට අවස්ථාව ලැබුණා. මේ නිර්මාණ දෙකම ඉතා වටිනා, හාත්පසින්ම වෙනස් චරිත දෙකක්. මන්දෝදරී කියන්නේ රජ බිසවක්. ජානු කියන්නේ ඊට හාත්පසින්ම වෙනස් චරිතයක්. මන්දෝදරී කියන්නේ බුද්ධිමත් කාන්තාවක්. ජානු කියන්නේ ඊට හාත්පසින්ම වෙනස්. ඇත්තටම මුල් රංගන දෙකම ඒ වගේ චරිත දෙකක් ලැබීමත් මගේ වාසනාවක් කියලයි මට හිතෙන්නේ. අද ජානුට හොද ප්‍රතිචාර තියෙනවා. ඒ වෙනුවෙන් ජයප්‍රකාශ් සිවගුරුනාදන් මහතා, සද්ධා මංගල සූරියබණ්ඩාර මහතා ඇතුළු මුළු කණ්ඩායමටම ස්තූති කරන්නට ඕනේ.

 කුකුල් පැටියාට අමතක නොවන සිදුවීම් එහෙමත් වෙලා ඇති?
මම ගොඩක් කතා කරනව අඩුයිනේ. පිරිසක් ඉදිරියේ කතා කරනවාත් අඩුයි. එක දවසක මන්ත්‍රීතුමා ගෙදර අයත් එක්ක ආපු දවසේම මම රත්නේව පන්නගෙන උඹව මරණවා... ෆෝන් එක දීපං  කියල ගේ ඇතුළේ ඉඳන් දුවගෙන ඉස්සරහට එන කොටසක් කරන්න තිබුණා. නාඩගම්කාරයෝ රෑගත කරද්දී ගෙදරට එන පාරේ ඉඳන්ම ගමේ මිනිස්සු රෑගත කිරීම් බලන්න ඇවිත් ඉන්නවා. ඉතින් ඒ කට්ටිය ඉස්සර මට ඒ විදිහට කෑගහගෙන දුවද්දී නම් ලැජ්ජාවක් ඇතිවුණා. හැබැයි ඉතින් කොහොම හරි ඒ කොටසත් කළා.

මධුෂානිගේ ප්‍රථම ප්‍රේමය ගැනත් කතා කරමු..?
නිහඬ චරිතයක් වුණත් මට පාසැල් ප්‍රේමයක් තිබුණා. සාමාන්‍ය පෙළ කරන කාලේදී තමයි ඒ ප්‍රේමය පටන් ගත්තේ. එයත් අපේ ඉස්කෝලේ. ටික ටික කතා කරද්දී ගෙදරට අහුවුණා. ඒකත් එක්කම ඒ ප්‍රේමයත් නතර කළා. අද වෙනකොට මම පෙම්වතියක් නෙමේ. හිතට දැනුණු සැබෑ ආදරය තාම මට මුණගැහුණේ නැහැ.

 ජානු විලාසිතාවලට වැඩි කැමැත්තක් දක්වන කෙනෙක්. මධුෂානිත් එහෙමද?
සැබෑ ජීවිතයේදීත් මම විලාසිතා කරනවා. තැනට අදාළව මම ඒ විලාසිතා තෝරාබේරාගෙනයි කරන්නේ. පන්සලකට යන විදිහ, පාටියකට යන විදිහ වෙනස. ඒ දේ තෝරාබේරාගෙන තමයි මම විලාසිතා කරන්නේ.

 සමහරු මේ ක්ෂේත්‍රයට එන්නේ බාධක පහුකරගෙනයි. තාමත් මධුෂානි සම්බන්ධ වුණේ නිර්මාණ දෙකකට විතරයි. මේ ආ කෙටි ගමන් මඟේ බාධාවන් තිබුණද?
නැහැ. ඇත්තටම මම කට්ටක් කාලා, බාධකත් එක්ක මේ ගමන ආපු කෙනෙක් නෙමේ. ඒක හරි ආඩම්බරයෙන් ලොකුකමින් මම කියන්නේ නැහැ. බොහෝදෙනා මේ තැනට එන්න මහන්සි වෙනවා. ඒවත් එක්ක මට මේ ලැබුණු නිර්මාණ දෙකත් එක්ක මම ඉන්න තැන ගැන මට සතුටුයි. මම රඟපාන්න හිතාගෙන හිටියේ නැහැ. මගේ කවුරුවත් මේ කලාවට සම්බන්ධත් නැහැ. ඒ දෙවල් එක්ක බලද්දී අද මට ලැබුණ මේ අවස්ථාවන් ගැන මට ලොකු සතුටක් තියෙනවා.

 තමන්ගේ මහන්සියෙන් ලැබුණ මුල්ම වැටුප මතකද?
ඔව්... මට මතකේ හැටියට මුලින්ම වෙළෙඳ දැන්වීම් ආයතනයෙන් රුපියල් පහළොස්දාහක් දුන්නා. ඒ සල්ලි රැකියාවට යන්න ඇඳුම් අරගෙනම ඒක ඉවර කළා. ඊළඟ මාසෙ ඔෆිස් යන්න එන්න සල්ලි ඉල්ලා ගත්තෙත් ගෙදරින්මයි. දැන්නම් මම මුදල් අනවශ්‍ය දේවල්වලට නාස්ති කරන්නේ නැහැ. අවශ්‍යම දේවල් ගන්නවා. ලෝභකමක් නැහැ. ලැබෙන මුදල් අරපිරිමැස්මෙන් පාවිච්චි කරනවා.

 මන්දෝදරී කරලා ජානු චරිතය බාරදෙද්දී ඇත්තටම හිතුවද මේ වගේ කටකාර චරිතයක් කරන්න පුළුවන් වෙයි කියලා?
මුලින්ම ස්වර්ණවාහිනියෙන් මට මේ නාඩගම්කාරයෝ නාට්‍යයේ ගැමි චරිතයකට තමයි කතා කළේ. මූලික පරීක්ෂණ කරල ඉවරවුණාට පස්සේ ජානුගේ චරිතය ගැන කියල මේ චරිතයට කැමැති නැද්ද...? කියල ඇහුවා. පිටපතේ මීට වඩා වෙනස් ඇඳුම් තමයි තිබුණේ. ඒ ගැනත් කතා කරලා වෙනස් කරගෙන මම මේ චරිතය බාරගත්තා.

ගෙදරත් නිහඬ චරිතයක් වුණ මධුෂානිට ජානු අභියෝගයක් වුණේ නැද්ද?
ඇත්තටම ඒක ලොකු අභියෝගයක් වුණා. නාට්‍යයේ මුල් කොටස් බලල දැන් බලද්දී ඒ වෙනස තේරෙනවා ඇති. රාවණා නාට්‍යය කරද්දී මුල් මාස කිහිපය නාට්‍ය වැඩමුළු කිහිපයක්ම කළා. ඊට අමතරව වෙනමම නාට්‍ය කලාව හදාරලා නැහැ.

මොනවද තියෙන බලාපොරොත්තු?
මුල් දවස් කිහිපයේදීම තවත් නාට්‍ය කිහිපයකට මේ වගේ චරිත කිහිපයකට ආරාධනා ලැබුණා. නමුත් මම ඒවා බාරගත්තේ නැහැ. රාවණා - 3 පටන් ගන්නට නියමිතයි. ජානු මට ලොකු අවස්ථාවක් ලබලා දුන්නා. ඒ වෙනුවෙන් හැමෝටම ස්තූති කරනවා.

 

                   සේයාරූ  I සුමුදු හේවාපතිරණ