2021 ඔක්තෝබර් 23 වන සෙනසුරාදා

කාටවත් තෑගි අරන් දෙන්නේ නැහැ

 2021 ඔක්තෝබර් 23 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 75

කොවිඩ් කාලයේදී වැඩිපුරම හිත ගියේ...

කොවිඩ් කාලයේදී මම ෆිල්ම්ස් බැලුවා. කැරම් සෙල්ලම් කළා. කොහොමටත් දවසකට මම පැය දෙකක් මියුසික් පුහුණුවීම් කරනවා. පැය විසි හතරෙන් මම පැය හයක් විතර නිදාගන්නවා. ඉතුරු පැය ගණනේත් පසුගිය කොවිඩ් කාලයේදී වැඩිපුරම කළේ ෆිල්ම් බලලා කැරම් සෙල්ලම් කරපු එක තමයි.

ජීවිතේ ආයෙ ආයෙත් අහන්න කැමැති ගීතය...

මම බොහෝ ගීතවලට කැමැති කෙනෙක්. ඒ අතරින් ඉන්දියන් ගායක එස්.පී. බාලසුබ්‍රමනියම්ගේ ගීත අහන්න මම පුදුම විදිහට කැමැතියි.

යහළුවන් මුණගැහුණම මේ දවස්වල වැඩිපුරම කතා කරන්නේ....?

මේ දවස්වල නම් යහළුවන් මුණගැහුණම අහන්නේම &අලුත්* නාට්‍ය මොනවද? අලුතින් කරපු සිංදු මොනවද කියල තමයි.

පුංචි කාලෙට යන්න ඇත්නම් යන්න ආසකරන කාලය?

මම පහ වසර, හය වසර කාලවලට යන්න හරි ආසයි. ඒ කාලේදී කිසිම කරදරයක් නැහැනේ. ඉස්කෝලේ ගියා. ගෙදර ආවා. පුදුම නිදහස. දැන් මේ කරන වැඩ ඒ කාලේ කරන්නෙම නැහැනේ. ගෙදර ආවා. සෙල්ලම් කළා. පාඩමක් කළා. කිසි වගකීමක් නැහැ. ප්‍රශ්න මොනවද කියල දන්නේවත් නැහැ.

ආස කරපු සෙල්ලම...

ඉස්කෝලෙ යන කාලේ ඉඳන්ම මම රගර්වලට හරි ආසයි. ඉස්කෝලේදී සෙල්ලම් කළෙත් රගර්ම තමයි. මම කොටහේන ශාන්ත බෙනඩික් විදුහලේ ඉගෙන ගත්තේ. පාසැලේදී මම අවුරුදු හතරක් රගර් සෙල්ලම් කළා. පාසැලෙන් පසුව රගර් ක්‍රීඩා සමාජයකත් මම සෙල්ලම් කළා. ඊටපස්සේ මම සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ වැඩට ගියා. ඒ නිසා ඒ හෝටලයෙත් මම රගර් සෙල්ලම් කළා.

කැමැතිම වාහනය...

මම Lamborghini, Ferrari, BMWi8 වාහනවලට හරි ආසයි.

තමන්ගේ මහන්සියෙන් ලැබුණු මුල්ම වැටුපට කළ දේ..

මම සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ තමයි මුල්ම රස්සාව කළේ. ඒකේදී මට මුලින්ම රුපියල් එකොළොස්දහස් පන්සීයක ලියුම් කවරයක් ලැබුණා. මම ඒක කඩලවත් බැලුවේ නැහැ. කවරයේ මුදලේ වටිනාකම ගහලා තිබුණා. මට තාත්තා බයික් එකක් අරන් දීලයි තිබුණේ. ගෙදරට ගිහින් මුලින්ම මම ඒ ලියුම් කවරය මගේ අම්මට දුන්නා. අම්මා ඒක බයිසිකලේ ෆිනෑන්ස් එකට දැම්මා.

ලංකාවේ වැඩිපුරම යන්න ආසකරන තැන...

ඇල්ලේ රාවණ නිල්දිය පොකුණට යන්න හරි ආසයි. මම ඒක බලන්න දෙපාරක් ගිහින් තියෙනවා. රාවණා රජතුමන්ගේ මොකක් හෝ සිහිවටනයක් ලංකාවේ තියෙනවා නම් මම ඒක බලන්න යනවා.

වැඩිපුරම ආස කෑම බීම...

මම පෝක් කන්න නම් හරි ආසයි. එකේ ආයේ කතා දෙකක් නැහැ. කොහොමටත් දවසකට අනිවාර්යයෙන්ම ලීටර් පහක් වතුර බොනවා.

යන්න ආසම රට...

මම නවසීලන්තයට වගේම කැලිෆෝනියාවටත් යන්න ආසයි.

කාගෙන් හරි තෑග්ගක් ලැබුණොත් ඔයා ආස කරන්නේ...

මම පර්ෆියුම්වලට හරි කැමැතියි. ඒ අතරින් Versace Perfume එකට හරි කැමැතියි.

කාට හරි තෑග්ගක් දෙන්න ලැබුණොත්...

මම තෑගි අරන් දෙන්න කැමැති නැහැ. එක එක්කෙනාගේ ආසාවල් විවිධයිනේ. ඒ නිසා එක්කෝ මම වවුචරයක් දෙනවා. නැත්නම් සල්ලි දෙනවා.

ජීවත් වෙන්න කැමැති...?

හරිම නිදහසේ කාටවත්, යටහත් පහත් නොවී හරිම සතුටින් ජීවත් වෙන්න කැමැතියි.

 දිශානි