2021 ඔක්තෝබර් 23 වන සෙනසුරාදා

මලක් සේ පිපෙන ආදරය පාරමිතාවක්...

 2021 ඔක්තෝබර් 23 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 86
ආදරයට මලක් සේ පිපෙන්න ඉඩ හරින්න එය නෙලා නොගන්න... එහෙම කීවේ ඕෂෝ.... ආදරය කියන්නෙ අයිතියට විතරක් වුණානම් අයිතිය ලැබුණු තැන ජීවිතය වින්දනීය ආස්වාදයක් වෙන්න ඉඩ තිබුණා.... ඒත් අයිතිය කියන්නෙ ආදරයවත් ආදරය කියන්නෙ අයිතියවත් නෙවෙයි.... ආදරය කියන්නෙම ආදරය... ඔව් ආදරය කියන්නෙම ආදරය...
 
මට එහෙම හිතුණේ පද්මාවත් හින්දී සිනමා රූපකාරකය දිහා ඇස් දල්වාගෙන බලාගෙන ඉද්දි... ඒ තමයි අතීත ඉන්දියානු සම්ප්‍රදාය.... තම ස්වාමියා වෙනුවෙන් ඇය අවසානයේ ගින්දරට පැන ජීවිතය අත්හරිද්දී එතැන සම්ප්‍රදායට එහා ආදරයක් තිබුණු වග මට දැනුණේ ඇගේ දෑසින්... මිනිස්සුන්ට කතා කරන්න පුළුවන් වචනවලින් විතරක්ම නෙවෙයි.... වචනවලින් කතා කරන්න නොහැකි හුඟාක් දේවල් මිනිස්සුන්ට වචන නැති නිහඬ සල්ලාප ඔස්සේ දිගහරින්න පුළුවන්... වචනවලින් කතා කරද්දී නොදැනෙන සංවේදනාත්මක හුගාක් දේවල් වචනවලින් කතා නොකරද්දී දැනෙනවා..
 
පද්මාවත් කියන්නෙ අතීත කතාවක්... ඇය ආදරය කරන්නෙ නිරිඳෙකුට... එහෙත් කිරුළක් දරාගෙන ඉන්න රජෙකුට ආදරය වගේ ඉසියුම් හැඟීමක් ඉවසිලිවන්තව විඳින්න තරම් සොඳුරු මානසිකත්වයක් කෝ කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්... ඒත් ළය ලෙය අක් මුල් සිසාරා ආදරයේ අංශුමාත්‍ර ලේ බින්දුවක් බින්දුවක් ගාණේ විසිරිච්ච හදවතකට ආදරය ආදරය විදිහටම නොදැනෙන්න විදිහක් නෑ. 
 
පද්මාවතී කියන සුන්දර ගැහැනියගේ අපූර්ව සුන්දරත්වයට මහා ලෝභකමකින් පෙම් බැන්ඳ තවත් රජෙක් එනවා ඇය අත්පත් කර ගන්න.... එහෙත් ඇගේ හදවතේ කොතනකවත් තවත් පිරිමියෙක් වෙනුවෙන් අල්පමාත්‍රයක් තරම්වත් ඉඩක් නැහැ... ඇය වෙනුවෙන් යුද්ධයක්... ඇය දෙවියන් ළඟ වැඳ වැටෙන්නෙ ඒ ආදරය වෙනුවෙන්... තමන්ගේ ස්වාමියා වෙනුවෙන්... ඇය ඇය වෙනුවෙන් කිසිවක්ම ඉල්ලන්නෙ නැහැ.. ඇය සියල්ල ඉල්ලන්නෙ ඇය ආත්මීයව බැඳුණු ඔහු වෙනුවෙන්... ඇය ප්‍රාණය සදිසි ප්‍රේමයෙන් බැඳුණු ඔහු වෙනුවන්.... එහෙත් දෙවියන් වුණත් අහක බලන මොහොතක් එන්න පුළුවන්... දෙවියන්ට වුණත් ආදරය ආදරය සේ නොහැඟෙන මොහොතක් එන්න පුළුවන්... කඳුළු පිරුණු ඇස් දෙකින් දෙවියන් ඉදිරියේ වැඳ වැටෙමින් ඇය ඉල්ලන කිසිවක්ම ඇයට දෙවියන්ගෙන් ලැබෙන්න නැහැ... අවසානයේ ඔහු යුද්ධය අවසානයේ ජීවිතය හැර යනවා... ඔහුගේ ප්‍රතිවාදියා එන්නෙ ඇය අත්පත් කර ගන්න... එහෙත් තවත් පිරිමියෙක් හා බෙදාගන්න හදවතක් ජීවිතයක් ඇයට නැහැ... තවදුරටත් තවත් රජෙකුට රුජිනක් වෙන්න තරම් මානසිකත්වයක් ඇයට නැහැ..
 
සියල්ල අවසානයේ ඇය තීරණය කරනවා ජීවිතය අත්හරින්න... ඇයට තිබුණා තවත් රජෙකුට රුජිනක් වී ආදරය හා ජීවිතය සොයා යන්න. එහෙත් ඇය හෘද සාක්ෂියට එකඟව තීරණය කරන්නෙ ඔහු වෙනුවෙන් ජීවිතයත් අත්හරින්න... සියල්ල ඔහු වෙනුවෙන් දන් දුන් ඇය අවසානයේ ඒ ආදරය වෙනුවෙන් දිය හැකි අවසාන දෙයත් ඔහු වෙනුවෙන්ම පිරිනමමින් ජීවිතය අත්හරිනවා... තමන්ගේ හදවත හා ශරීරය තවත් පිරිමි හදවතක් සහ ශරීරයක් එක්ක බෙදාගන්න ඇයට හිතක් නෑ...
පද්මාවත් දිව යන්නෙ අන්න එවැනි ප්‍රස්තුතයක් ඔස්සේ...
 
ආදරය කියන්නෙ ප්‍රාණය හදිසි හැඟීමක් නොඉල්ලමින් කිසිවක්ම පිරිනැමිය හැකි හැඟීමක්. ඔව් ආදරය කියන්නෙ ආදරය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම තේරුම් ගත් මොහොතක ආදරය කියන්නෙ සංසාර පාරමිතාවක්. සංසාර මහා කන්ද නැග යන්න මහා අත්වාරුවක් සේම ජීවිතයේ ගිම් නිවන්න උරහිස දන්දෙන මහා ළෙන්ගතුකමක්. 
 
► සංජු