2021 ඔක්තෝබර් 16 වන සෙනසුරාදා

ඉන්දියාවට එන්න මම උදව් කරන්නම් කියලා එයා මට කීවා....

 2021 ඔක්තෝබර් 16 වන සෙනසුරාදා, පෙ.ව. 10:01 255

හේෂාන්.... මේ දවස්වල මොනවද කරන්නේ?
මේ දවස්වල සියත නාලිකාවේ විකාශය වන රේස් (Race) ටෙලිනාට්‍යයේ රෑගත කිරීම්වලට සහභාගි වෙනවා. ඊට අමතරව Colombo Fashion Show වෙනුවෙන් සූදානම් වෙනවා. 

සැබෑ ජීවිතයේදීත් හේෂාන් රේස් පදින්න කැමතිද...?
ඔව්... සැබෑ ජීවිතයේදී මම වෘත්තීය මට්ටමින් රේස් පදින්නේ නැහැ. හැබැයි මම බයික්වලට මාරම ආසයි. හේෂාන් මනුල කියන්නේ ස්වාධීන වෙන්න කැමති චරිතයක්. ඒ නිසාම මට මගේම මහන්සියෙන් මගේම බයික් එකක් සල්ලි දීලා ගන්න ඕනවුණා... මම බයික් එකක් ගන්න ඕනේ කිව්වොත් මේ වෙන අනතුරුත් එක්ක අම්මලා බයික් එකක් අරගෙන දේනනෙත් නැහැ කියලා මම දැනගෙන හිටියා. ඒ නිසා මගේම සල්ලිවලින් ඒ දේ ලබාගන්න මට ඕනවුණා. ඒ කාලේදී බොහෝ දෙනා &ඔයාගේ උස, පෙනුම එක්ක මොඩ්ලින් කරන්නේ නැත්තේ ඇයි* කියලා අහන්න පටන් ගත්තා. ඒ නිසාම මම මොඩ්ලින් කරන්න ඇවිත් ඒ ලැබෙන සල්ලිවලින් මට ආස හිතුන බයික් එක කොහොමහරි ගත්තා.

හේෂාන් කුඩා කාලයේදී ආස කළේ කවුරු වෙන්නද?
පුංචි කාලේ ඉඳන්ම මම ඇඳුම් පිළිබඳව ටිකක් උනන්දුයි. කෙනෙක්ට අරමුණක් තියෙන්න ඕන වුණත් මගේ ජීවිතේ අරමුණු ගොඩක් තිබුණා. මම ජාත්‍යන්තර දේවල් පවා අධ්‍යයනය කළා. වෙනස් දෙයක් කරන්න මට ඕනවුණා. මේ ක්ෂේත්‍රයට එන්නට පෙර සිටම මම ලංකාවේ බොහෝ කලාකරුවන් කලාකාරියන්ගේ නිර්මාණ පිළිබඳ අධ්‍යයනය කරලා තියෙනවා. රේස් නිර්මාණයේදී දායක වෙද්දී මම බොහෝ නිර්මාණකරුවන් පිළිබඳව අධ්‍යයනය කරලයි තිබුණේ. ඒ නිසා රඟපාද්දී වුණත් මට ඒ අයත් එක්ක රඟපාන්න ලේසියි. හැබැයි මම මේ රටේ ඉන්න ප්‍රවීණ, ජ්‍යෙෂ්ඨ නිර්මාණකරුවන්ගෙන් නම් බොහෝ දේවල් ඉගෙන ගන්න තියෙනවා. මගේ පොඩි දුර්වලකමකින් මුළු නාට්‍ය කොටසම අසාර්ථක වෙනවාට මම කැමති නැහැ. මම පුංචි කාලේදී මගේ නෑදෑයෝ, අසල්වාසීන්, මගේ යාළුවන් නළුවෙක් වගේ කියල මට කියල තිබුණු අවස්ථා තිබුණා. අපේ ලොකු අම්මාට මාව නළුවෙක් කරන ආසාව තදින්ම තිබුණා.  ඒ නිසාම මගේ හිතෙත් නළුවෙක් වෙන ආසාව තිබුණා. ඒ නිසාම වෙන්න ඇති මම ඒ කාලේ ඉඳන්ම මේ රටේ ඉන්න බොහෝ කලාකරුවන්, කලාකාරිනියන් අධ්‍යයනය කළේ. නමුත් මට හැමවෙලේම ඕනවුණේ ලංකාවේ වෙනස් කෙනෙක් වෙන්නයි. මම නිරෑපණ ක්ෂේත්‍රයේදී ඒ දේ කරල තිබෙනවා. මම වැඩිම කාලයක් මොඩ්ලින් කරපු කෙනෙක්. තාමත් මොඩ්ලින් කරනවා. නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙලා අවුරුදු දහතුනක්.

• හේෂාන් ඉගෙන ගත්තේ මොන පාසැලේද..?
මම ඉගෙන ගත්තේ බොරුල්ල වෙස්ලි විදුහලේ. පාසැල් ජීවිතේ මගේ ප්‍රධානම විෂය චිත්‍ර විෂයයි. චිත්‍ර තරගවලින් සමස්ත ලංකා පවා මම ජයග්‍රහණය ලබලා තියෙනවා. ඒ වගේම මම පාසැලේදී ක්‍රිකට් සෙල්ලම් කළා. පාසැලෙන් අයින් වුණාට පස්සේ මම ක්‍රිකට් ක්‍රීඩා සමාජවලට පවා සෙල්ලම් කරලා තියෙනවා. හැබැයි මේ වෙද්දී නම් මම ක්‍රිකට් මැච් එකක්වත් බලන්නේ නැහැ.

• පාසැල් අධ්‍යාපනයෙන් පසුව හේෂාන් විදෙස් ගත වුණා නේද?
ඔව්.... මම සාමාන්‍ය පෙළ විභාගය කරල අවසන් වුණාට පස්සේ මට කලා විෂය හෝ වාණිජ විෂය තමයි කරන්න පුළුවන් වුණේ. ඒ වෙද්දී මගේ තාත්තා හිටියේ විදෙස් ගතවෙලයි. ඒ නිසා අපිත් නිතරම විදෙස්ගත වුණා. නිතරම ගිය නිසා පාසැලේ ඇතැම් විෂය නිර්දේශයන් අපෙන් මඟහැරුණා. ඒ නිසා උසස් පෙළ කරන්න තව අවුරුදු දෙකක් ගත කරනවාට වඩා සාමාන්‍ය පෙළ විභාගය සමත් වෙලා මම විදෙස්ගත වුණා. චිත්‍ර විෂයට ආස නිසා මම ඉතාලියට ගිහින් මාස හයක් පමණ ඒ සම්බන්ධව අධ්‍යයනය කළා. පළමු චිත්‍රපටය කරල ඉවර වුණාට පස්සෙත් මම නැවතත් විදෙස් ගතවුණා. නමුත් දිගින් දිගටම මේ ක්ෂේත්‍රයේ කටයුතුවලට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණ නිසා මම ලංකාවේම නතර වෙන්න තීරණය කළා.

• රංගනයට හේෂාන් සම්බන්ධ වෙන්න ලැබෙන්නේත් ප්‍රධාන චරිතයකින් නේද?
ඔව්.... මගේ මුල්ම වෙළඳ දැන්වීම ලංකාවේ ප්‍රධාන ආයතනයකයි. මගේ යාළුවෙක් කිව්ව නිසාත් මට බයික් එකක් ගන්නා හීනයක් තිබුණ නිසාත් ඉරෝෂ් බාලසූරිය හරහා මට වෙළඳ දැන්වීම්වලට පෙනී සිටින්න අවස්ථාව ලැබුණා. ටික කාලයකදී මට මොඩ්ලින් ඉගෙන ගන්න ඕන වුණා... ඒ නිසා මම රොසෑන් ඩයස් මහත්මිය මුණගැසුණා. ඇය මට බ්‍රයන් කෙර්කෝවන් මහතාව හඳුන්වා දුන්නා. ඔහු යටතේ අවුරුදු එකොළහක් තිස්සේ මම දැනටත් මොඩ්ලින් කරනවා. ලංකාවේ තිබුණ සියලුම ජාත්‍යන්තර නිරෑපණ ප්‍රසංගවලට මම සහභාගි වෙලා තියෙනවා. විදෙස් ඇඳුම් නිර්මාණ ශිල්පීන්ගේ මෝස්තර නිරූපණ ශිල්පියා විදිහට මම වැඩකරලා තියෙනවා. ඒ වගේම මම ඉන්දියානු වෙළඳ දැන්වීම්වල පවා ඉඳලා තියෙනවා. Youtube හරහා ඒ නිර්මාණ බලන්නත් පුළුවන්. මෑතකාලයේදී ඉන්දියානු ප්‍රධාන පෙළේ වෙළඳ දැන්වීමක් වෙනුවෙන් මාව හතර වතාවක් පරීක්ෂණ කළා. ඒ වගේ ඉන්දියානු වැඩ කිහිපයක්ම මම කරලා තියෙනවා. ප්‍රසාද් වීඩප්පා නැමැති &Mr. India* තෝරන පුද්ගලයා ලංකාවට ආපු වෙලාවක මටයි තව යාළුවෙකුයි ඉන්දියාවට එන්න මම උදව් කරන්නම් කියලා ආරාධනා කළා. නමුත් එහෙම යනවා නම් දිගටම වගේ ඉන්න වෙනවා. මම දිගටම එහෙට යන්න කැමැති නැහැ. ලංකාවේදී ළඟකදී කරන්න තිබුණ ඉන්දියානු චිත්‍රපටයකටත් මට ආරාධනා ලැබුණා. කොවිඩ් නිසා ඒකත් තාවකාලිකව නතර කරලයි තියෙන්නේ. බලමු...ඉතින්...

• හේෂාන්... රංගනයේදී තෝරා බේරීමක් කරනවාද?
මම බොහෝ දෙනාව අධ්‍යයනය කරනවානේ. මම රංගනයක් කරන්න යද්දී ඒ අය කොච්චර නිර්මාණය වෙනුවෙන් කැපවෙනවාද කියලත් පොඩ්ඩක් හොයලා බලනවා. ඉන්දියානු අයත් එක්ක වැඩකරලා තියෙන නිසා මේ කරන සමහර නිර්මාණ හරියට අහසට පොළොව වගෙයි. ඒ නිසා එවැනි නිර්මාණවලට මම දායක වෙන්නේ නැහැ. බොහෝ නිර්මාණවලට දායක වෙන්න මමත් කැමැතියි. සමහර ටෙලිනාට්‍යවල අධ්‍යක්ෂවරුන් &ඔයාගේ ඇඟ අපිට මේ විදියට හදලා දෙන්න* කියලා කියනවා. මට ඒක කරන්න පුළුවන්. හැබැයි ඒකට ඒ අය මට අවශ්‍ය කරන දේවල් දෙන්න ඕනේ. ඒවා දෙන්න සමහරු කැමති නැහැ. හැබැයි අඩු බජට් එකකට වැඩි දෙයක් ඒ සමහරු අපෙන් බලාපොරොත්තු වෙනවා. මම නිර්මාණකරුවන් බාල්දු කරන අය එක්ක වැඩ කරන්න කැමති නැහැ. මහන්සියට වටිනාකමක් ලැබෙන්න ඕනේ. හැමදාම රෑපවාහිනියේ දකින්න ඕනකමට තමන්ගේ මහන්සිය, කැපවීමට අඩු මුදලකට යට කරන්න මම කැමැති නැහැ. ඔය වගේ ප්‍රශ්න නිසා මම මේ ක්ෂේත්‍රයේ වැඩිය පේන්නේ නැහැ. සමහරු &මුදලම බලාපොරොත්තු වෙන්නේ නැහැ* කියලා කියනවා. නමුත් මේ තියෙන ආර්ථික රටාවත් එක්ක අපිට මුදල කියන දේ බොහෝම වැදගත්. මම මේ ඇත්ත කතා කරන්නේ. මට එවැනි මුදලක් ගෙවලා වැඩ ගන්නවා නම් මම මට පුළුවන් උපරිමයෙන් ඒකට සාධාරණයක්, කැපවීමක් කරනවා. සනත් අබේසේකර මහතාගේ &සිරි දළදාගමනය* චිත්‍රපටයේ ප්‍රධාන නළුවා වුණ දන්ත කුමරුගේ චරිතයට දායක වුණා. ඒ වගේම මම සුනිල් ආරියරත්න සර්ගේ &යසෝදරාවත* චිත්‍රපටයේ නන්ද කුමාරයාගේ චරිතයට දායක වුණා. මම ප්‍රසිද්ධියක් ලබාගන්න ආස කෙනෙක් නෙමේ. ප්‍රසිද්ධිය අපි කරා එනවා මිස ප්‍රසිද්ධිය හොයාගෙන අපි යන්න ඕනේ නැහැ. සමහරු මගේ &ගාන වැඩියි* කියල කියනවා. හැබැයි කිසිම දවසක මම අනෙක් කිසිම රංගන ශිල්පීන්ගේ, ශිල්පිනියන්ගේ මුදල ගැන කාගෙන්වත් අහන්නේ නැහැ. මට ඒක වැදගත් නැහැ.

• මේ වෙනකොට ආදරය දැනෙන්නේ කොහොමද?
ආදරය සෑහෙන්න විඳලා තියෙනවා. ඇත්තම කිව්වොත් දැන් අවුරුදු එකහමාරක සිට මම තනිකඩයි. මම අවුරුදු දෙකක දෙකහමාරක සිට සංචාරය කරන්න හරිම කැමති කෙනෙක් වුණා. කූඩාරම් ගහගෙන කරන සංචාරයට හිත වැඩිපුර යොමුවුණා. ඒ වගේ දේවල් එක්ක මම තනිකම ආස කළා. කන්දක් උඩට ගිහින් කූඩාරමක රුයක් ඉන්නවා කියන්නේ වෙනමම අත්දැකීමක්. මම ස්වභාව දහමත් එක්ක නිදහසේ ඉන්න කාලය හෙව්වා. ඉස්සර මම මගේ පෙම්වතිය එක්ක විනෝද ගමන් ගිහින් තිබුණා. හැබැයි මට ඕනකරන නිදහස ඒ ගිය වෙලාවල්වල මට ලැබුණේ නැහැ. මට එයාවත් බලාගන්න තිබුණානේ. මම තනියම, මගේ යාළුවෝ එක්ක යද්දී එහෙම වගකීමක් නැහැ. හිතුණොත් මම තනියම පවා කන්දේ රූට ඇවිද්දා. ඔය හේතු වගේම මගේ වැඩත් එක්ක ගැහැනු ළමයෙක්ට අවධානයක් දෙන්න මට බැරිනම් ඒක ඒ ළමයාට කරන අසාධාරණයක්. ඒ නිසා මම මට ගැලපෙන ගැහැණු ළමයෙක් හම්බවෙනකම් තාම තනිකඩව, නිදහසේ මම මට ආදරේ කරමින් ජීවත් වෙනවා.

• ඊළඟට තියෙන ඉලක්ක...?
මට හොඳ යාළුවෝ පිරිසක් ජපානයේ ඉන්නවා. ඒ අය මට උදව් කරන්නත් කැමතියි. හොඳ අධ්‍යක්ෂකවරයෙක් යටතේ හොඳ චිත්‍රපටයක් මගේ හිතේ තියෙන විදියට හදන්න ආසයි. මට අධ්‍යක්ෂකවරයෙක් වෙන්න ඕනේ නැහැ. ඒ වෙනුවෙන් බොහෝ දෙවල් ඉගෙන ගන්න තියෙනවා. හැබැයි දැවැන්ත වැඩක්, නිවැරදි විදිහට කරවන්න මම හරි ආසයි.

 

සේයාරූ I සුමුදු හේවාපතිරණ