2021 ඔක්තෝබර් 02 වන සෙනසුරාදා

හිත හයිය වුණේම මිනිස්සු ගහපු ගල් හින්දා

 2021 ඔක්තෝබර් 02 වන සෙනසුරාදා, පෙ.ව. 10:01 341

පසුගිය කාලයේදී ශලනිටත් කොවිඩ් ආසාදිත වුණා. දැන් කොහොමද?
දැන් ගොඩාක් හොඳයි. සාමාන්‍ය තත්ත්වයෙන් ඉන්නවා. ඉඳලා හිටලා පොඩි පොඩි අපහසුතාවයක් නම් ඇතිවෙනවා. ඒවා ටික කාලයක් යනතුරු පවතිනවා කියලා වෛද්‍යවරුන් කියනවා. සමහරවෙලාවට කොන්දෙ අමාරුවක් ඇතිවෙනවා. පඩිපෙළවල් නගින්න අමාරුයි. ඒ නිසා රෑගත කිරීම් කරද්දී වුණත් ඒ ගැන පරිස්සම් වෙනවා.

ශලනි කොවිඩ් ආසාදිතයකු වුණේ රෑගත කිරීමකදී. ආසාදිතයකු බව දැනගත්තු මොහොතේ ඇත්තටම මොකද හිතුණේ?
රෑගත කිරීම් කරපු නාට්‍යයක ආසාදිත වුණු කිහිපදෙනෙක් හිටපු නිසා තමයි මමත් ආසාදිත වුණේ. ඒක දැනගත්ත වෙලාවේ නම් මේ පාර නම් හැදෙයි කියලා මට හිතුණා. එතෙක් අවුරුදු එකහමාරකට වැඩි කාලයක් මේ රෝගයෙන් බොහෝ පරිස්සම් වුණා. ඉතින් මේ පාර නම් හැදෙන්නේ නැතිව බේරෙන එකක් නැහැ කියලා හිතුවා. වෙනදා නම් ආසාදිතයින් මේ විදිහට ලොකුවට ගැටුනේ නැහැ. කොහොම හරි ඒ අය ආසාදිතයින් කියලා දැනගනිද්දිත් මටත් පොඩි පොඩි රෝග ලක්ෂණ ඇතිවෙලයි තිබුණේ. ඒ නිසා පී.සී.ආර්. පරීක්ෂණය කරන්නත් කලින්ම මමත් ආසාදිතයෙක් කියලා මම දැනගෙනයි හිටියේ. හැබැයි මම රෝගයට ලොකුවට බය වුණේ නැහැ. රෝග ලක්ෂණ මතු වෙද්දීම මම මට ආශ්‍රිත වුණු හැමෝවම දැනුවත් කළා. මේ වෙද්දී රෝගය ගැන රෝගයෙන් ආරක්ෂා වෙන්නේ කොහොමද කියල අපි දන්නවනේ. ඒ නිසා ලොකු බයක් දැනුණේ නැහැ. මම මුලින්ම මගේ හිතට බයක් නොදැනෙන්න මගේ හිත හයිය කර ගත්තා. පුළුවන් තරම් හොඳ ගීත ඇහුව.

ඒ කාලේදී ශලනි දිනපොතක් ලියලා ඔයාගේ මුහුණු පොත හරහා මිනිසුන්ව දැනුවත් කළා නේද?
ඔව්. සාමාන්‍යයෙන් මම දිනපොත ලියන්නේ නැති කෙනෙක්. කාමරයක් අස්සට වෙලා දවස් දාහතරක් තනියම ඉන්නත් අමාරුයි. ඒ නිසා මට කරන්න දෙයක් නැති නිසාම තමයි මම මගේ දිනපොත ෆෝන් එකෙන් ටයිප් කරලා මගේ මුහුණ පොතට දැම්මේ. කවදා හරි කාට හරි ප්‍රයෝජනවත් වේවි නේද කියලා හිතලයි මම ඒක පළකළේ. ඇත්තම කිව්වොත් ඒක බොහෝ දෙනෙක් බලලා තිබුණා. මට ඒකෙදි ඇතිවුණු රෝග ලක්ෂණ, මම ගත්තු ප්‍රතිකාර, කළ දේවල් පවා සටහන් කරලා තිබුණා... බොහෝ දෙනක් ඒක ප්‍රයෝජනයට ගත්තා යැයි මට කිව්වා.

ශලනි කියන්නේ ජනප්‍රිය කලාකාරියක්. මිනිසුන්ගේ ආදරය දිනාගත්තු කලාකාරියක්. කොවිඩ් ආසාදිතයෙකු වීමත් සමඟ බොහෝ දෙනෙක් ශලනිට ඉක්මන් සුවය පැතුවා. මේ ලැබුණු ආදරය ගැන මොකද හිතෙන්නේ?
ඇත්තටම ඒ වගේ ආදරණීය ප්‍රේක්ෂක කොටසක් ඉන්න එක ගැන සතුටුයි. සමහර තරුණ නංගිලා, මල්ලිලා &ඔයාට අසනීප වුණා කියලා දැනගත්තම අපේ අම්මා ඇඬුවා. ඔයා වෙනුවෙන් පඬුරක් පවා ගැටගැහුවා* කියලා. මැසේජ් කරලා තිබුණා. ඒ ආදරය හරි වටිනවා. ඒ අය මාව පෞද්ගලිකව දැකලා, මුණගැහිලා නොතිබෙන්න ඇති. නමුත් චරිත තුළින් ඒ අය අපේ ජීවිතයට සමීපවෙලා තියෙනවා. ඒ වගේ ආදරයක් ලැබීමත් පිනක්. ඔය අතරේ අසනීප වුණු එකට කැමැති වුණු පිරිසකුත් ඉන්නවා. අසනීපවෙලා මැරිලා යනවා නම් හොඳයි කියලා හිතන අයත් ඉන්නවා. ඒක සාමාන්‍ය දෙයක්. මිනිසුන්ගේ නපුරු ගති ඈත් කරන්න අමාරුයි. හැබැයි එක්කෙනෙක් දෙන්නෙක් එහෙම හිතුවත් දහස් ගණනකගේ ආදරය හරිම වටිනවා. මම වෙනුවෙන් බෝධිපූජා තියපු, දුක්වුණු, හැමෝටම මම ස්තූති කරන්න ඕනේ. නොදන්නා කෙනෙකුට ආශීර්වාද කිරීමත් ලොකු දෙයක්. ඒ ආශීර්වාදය නිසා මම ඉක්මණටම සුවපත් වුණා.

කොවිඩ් ආසාදිතයෙක් දින දාහතරකට වඩා පරිස්සම් වෙන්න කියලයි වෛද්‍යවරුන් කියන්නේ. රංගන ශිල්පිනියක් විදිහට අදටත් රංගන කටයුතුවල නියැලෙනවා. අපහසුවක් දැනෙන්නේ නැද්ද?
දැනෙනවා. මම සති පහකට වැඩි කාලයක් රංගන කටයුතුවල නියැලුනේ නැහැ. ඒ වෙනුවෙන් මම මේ දවස්වල දායක වෙන ධනුෂ්ක රත්නායක අධ්‍යක්ෂණය කරන කියාදෙන්න ආදරේ තරම් කියන නිර්මාණයට වගේම &චලෝ* නිර්මාණයටත් ස්තූති කරන්න ඕනේ. ඒ අය මම නිසා රෑගත කිරීම් නතර කළා. මාව ආයෙත් රංගනයට දායක කරගන්න හදිසි වුණේ නැහැ. මුල් දවස් තුන හතර යනතුරු රංගනය කළත් පඩිපෙලවල් නගින්න අමාරු වුණා. ඒ කිසිම දේකට මාව ඒ අය සම්බන්ධ කරගත්තේ නැහැ. තාමත් හවසට කොන්දෙ අමාරුවක් තියෙනවා. තාමත් විවේකය අවශ්‍යයි. වෛද්‍යවරුන් පවා ව්‍යායාම් කරන්න එපා. එහෙම ව්‍යායාම් කරනවා නම් විනාඩි විස්සක් වගේ හෙමිහිට ඇවිදින්න. හතිය එනවා නම් නවත්වන්න කියලා තමයි උපදෙස් ලබලා දීලා තියෙන්නේ. ඒ නිසා ටික කාලයක් පරිස්සම් වෙන්න වෙනවා.

Make up කෙටි චිත්‍රපටය හරහා ශලනි අධ්‍යක්ෂණයටත් යොමුවෙලා තියෙනවා?
ඒක ඇත්තටම නිකමට කරපු දෙයක්. පළමුවෙනි Lockdown එකේදී අපි නිකා ඉන්න බැරිකමට සැලසුම් කරපු වැඩක්. එහෙම සැලසුම් කරලා කරන්න හදද්දී Lockdown ඉවර වුණා. ඒ නිසා ඒ කාලයේදී ඒක කරන්න අපිට බැරිවුණා. වෙන වෙනම රෑගත කිරීම් කරන්න හිතුවත් අපි ඒක එකටම රෑගත කිරීම් කළා. මට මේ වෙනුවෙන් අපේ කණ්ඩායම ගොඩක් හොඳ සහයෝගයක් ලබලා දුන්නා. ඒ වෙනුවෙන් කුලරුවන් ගමගේ, ශාන් අල්විස්, ප්‍රියනාත් විදානපතිරණ, අනුරාධා එදිරිසිංහ, පූජන දන්දෙණිය ඇතුළු ඒ හැමෝම මේ වෙනුවෙන් ගොඩක් මහන්සි වුණා. මේ වනවිට ඒක Youtube එකෙන් බලන්න පුළුවන්. මගේ පළමු අධ්‍යක්ෂණයට ප්‍රතිචාර හොඳයි. ප්‍රවීණ අධ්‍යක්ෂකවරුන්ගෙන් පවා හොඳ ප්‍රතිචාර තියෙනවා. පළවෙනි වැඩේ නිසා මම ඒ ගැන සතුටුයි.

 අධ්‍යක්ෂණය කිරීම කාලයක සිට හිතාගෙන හිටපු දෙයක්ද?
නැහැ නැහැ. අධ්‍යක්ෂණය කරන්න එහෙම කිසිමදාක හිතේ තිබුණේ නැහැ. මේක ක්ෂණිකව හිතට ලැබුණ සිතුවිල්ලක්. Lockdown කාලේදී නිකං ඉන්න බැරිකමට කරපු දෙයක්. අධ්‍යක්ෂණය කියන්නේ වෙනමම ලොකු විෂයක්. තව බොහෝ දේවල් ඒ සම්බන්ධව ඉගෙන ගන්න තියෙනවා. කෙටි චිත්‍රපට නම් ඉඳලා හිටලා අධ්‍යක්ෂණය කරන්න ආසයි. ලොකු මාතෘකාවක් පොඩි වෙලාවක් ඇතුලේ කතා කරනව කියන්නේත් ලොකු දෙයක්. ඒ නිසා මම කෙටි චිත්‍රපට නම් අධ්‍යක්ෂණය කරන්න ආසයි.

මේ දවස්වල දායක වෙන නිර්මාණ මොනවාද?
මේ දවස්වල මම මහේෂ් රත්සර මද්දුමආරච්චිගේ පිටපතක් වුණ ධනුෂ්ක රත්නායක අධ්‍යක්ෂණය කරන කියාදෙන්න ආදරේ තරම් සහ හසුන් සමීර අධ්‍යක්ෂණය කරන චලෝ ටෙලි නාට්‍යයේත් රෑගත කිරීම්වලට සම්බන්ධ වෙනවා. මේ පවතින තත්ත්වයත් එක්ක අලුත් නිර්මාණ බාරගත්තේ නැහැ. මම සිහින ගෙනෙන කුමාරියේ ටෙලිනාට්‍යයෙන් ඉවත් වුණා. ඒක දීර්ඝ ටෙලිනාට්‍යයක් බවට පත්වීම වගේම හේතු කිහිපයක් නිසා මම ඒ ටෙලිනාට්‍යයෙන් ඉවත් වුණා.

ශලනි පුංචි තිරයේ ජනප්‍රිය, හොඳම රංගන ශිල්පිනිය වුණත් සිනමාවට සම්බන්ධ වෙන්නේ අඩුවෙන්. ඇයි මේ?
පසුගිය වසරේ චිත්‍රපට කිහිපයකට ආරාධනා ලැබුණා. නමුත් කොවිඩ් වසංගතය නිසා ඒ සියලුම දේ නතර වුණා. මේ පවතින තත්ත්වයත් එක්ක චිත්‍රපටයකට විශාල මුදලක් යට කරන්න නිෂ්පාදකවරු ඉදිරිපත් වන්නේ අඩුවෙන්. අද වෙද්දී අලුත් අධ්‍යක්ෂකවරුන් හොඳ නිර්මාණ කළත් ඒවා තිරගත කරන්න යාමේදී අවසරය හිමිවෙන්නේ හරිම අඩුවෙන්. මේ අලුත් දක්ෂ අධ්‍යක්ෂකවරුන්ට මුදල් ආයෝජනය කරන්න නිෂ්පාදකවරුන් මැලිවෙනවා. කොහොමටත් මට ටෙලිනාට්‍යවලට ලැබෙන ආරාධනා තරමට චිත්‍රපටවලට ආරාධනා ලැබෙන්නේ අඩුවෙන්. ඒකට හේතුව මම දන්නේ නැහැ. එක්කෝ මම ඒ අධ්‍යක්ෂකවරුන්ට දක්ෂ මදි ඇති. එහෙමත් නැත්නම් ඔවුන්ට දුරකතන ඇමතුම් ලබාදෙනවා අඩු ඇති.

චලෝ ටෙලිනාට්‍යයේත්, කියාදෙන්න ආදරේ තරම් ටෙලිනාට්‍යයේත් ඔයා රඟපාන චරිත දෙක හාත්පසින්ම වෙනස් නිර්මාණයන්. ලැබෙන ප්‍රතිචාර කොහොමද?
කියාදෙන්න ආදරේ තරම් ටෙලිනාට්‍යය මිනිසුන් අතරේ ජනප්‍රිය වෙලා තියෙනවා. චලෝ කියන්නේ ජනප්‍රිය ගණයේ ටෙලිනාට්‍යයක් නොවුණත් සම්භාව්‍ය ගණයේ ටෙලිනාට්‍යයක් කියලයි මට හිතෙන්නේ. මුලින්ම මගේ වයසත් එක්ක පාසල් චරිතයකට මාව සුදුසුවේදැයි මට ගැටලුවක් ඇතිවුණා. නමුත් රංගන ශිල්පියෙක්, ශිල්පිනියක් වෙද්දී වයස ගැන හිතන්න බැහැ. අපි ඒ චරිතය හරියට කරනවා නම් වයස අදාළ වෙන්නේම නැහැ. ප්‍රේක්ෂකයා වයසට වඩා ඒ කෙනාගේ රංගනය තමයි දකින්නේ. දැන් චලෝ එකට හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඒක හරි ගැමි දුගී දුප්පත් අසරණ කෙල්ලෙක්ගේ චරිතයක්. &කියාදෙන්න ආදරේ තරම්* ඔස්සේ හමුවන ස්නේහා කියන්නේ අවුරුදු විසි හයක පමණ හොඳ සල්ලිකාර පවුලක ආඩම්බරකාර කෙල්ලෙක්. ඒ චරිත දෙක හරියට අහසයි පොළවයි වගෙයි.

ශලනි.... මේ වෙනකොට සැබෑ ජීවිතේදී පෙම්වතියක්ද?
මගේ පෞද්ගලික ජීවිතය ගැන මම ප්‍රසිද්ධ කරන්න කැමැති නැහැ. මම විවාහ වෙනවා නම් ඒක ඒ කාලේදී සිදුවේවි. මට පෙම්වතුන් ඉඳලා තියෙනවා. නමුත් මගේ පෞද්ගලික ජීවිතයට වඩා රංගන ජීවිතේ තමයි මිනිසුන් විවේචනය කරන්න ඕනේ කියලයි මම විශ්වාස කරන්නේ. සමහරු අපේ ගෙවල්වල ඇවිත් ජීවත් වෙනව වගේ අපිට චරිත සහතික දෙනවා. මගේ පෞද්ගලික ජීවිතේ කවුරුවත්ම දන්නේ නැහැ. ඒක තමයි ඇත්ත.

නිසඳැස්, කවි, ගීත ලියන එක නතර කරලද?
නැහැ. ලියනවා. ඇත්තම කිව්වොත් කොවිඩ් හැදිලා තියෙද්දී නම් මගේ අතින් කිසිම දෙයක් ලියවුනේ නැහැ. ඒ කාලේදී මම පොත් කියවන්න උත්සහ කළා. මට කියවන්නවත් බැරිවුණා. මම පුළුවන් තරම් චිත්‍රපට නම් බැලුවා. ගීත කිහිපයක් කරල මේ වෙද්දි වැඩ ආරම්භ කරලයි තිබෙන්නේ. ඉදිරියේදී ඒ ගීත ටික නම් අහන්න පුළුවන් වේවි.

රංගන ජීවිතේ කවදාවත් හිතිලා නැද්ද අපරාදේ නිළියක් වුණේ කියල?
සමහර වෙලාවට හිතිලා තියෙනවා. නැත්තේ නැහැ. මිනිසුන්ගේ කතන්දර එන කාලේ මාව නොමරා මරණ කාලවලට අපරාදෙනේ නිළියක් වුණේ කියල හිතිල තියෙනවා. හැබැයි එහෙම වුණා නම් මගේ ජීවිතේ මෙච්චර ශක්තිමත් වෙන්නේ නැහැ. මට දැන් මිනිස්සු කියන දේවල් ගාණක්වත් නැහැ. මට ඒ මිනිස්සු ගැන පව්, අපරාදේ ඒගොල්ලෝ ලේ කෝප කරගෙන, පව් පුරෝගෙන, සල්ලි වියදම් කරගෙන SMS ගහගෙන කරන දේවල් දැකලා දැන් හිනා යනවා. ඇත්තටම ඒ මිනිස්සු ලේ කෝප කරගෙන කියන දේවල් අපි හිනාවෙවී බලද්දී අපේ ලේ පිරිසිදු වෙනවා. අසරණ ජීවිත කියලා තමයි කියන්න තියෙන්නේ. ඒ මිනිස්සු මොනව කිව්වත් මගේ ඇඟේ වදින්නේ නැහැ.

ශලනි කියනවා ඔයා හිත හයිය කෙල්ලක් කියලා. ජීවිතයට ප්‍රශ්න එද්දී ඒ හිත හයිය කර ගත්තේ කොහොමද?
හිත හයිය වුණේම ඔය මිනිස්සු ගහපු ගල් හින්දමයි. ඒ සිදුවීමෙන් පස්සේ මම පුදුමාකාරව මානසිකව වැටුණ කෙනෙක්. ඇතිතරම් අඬපු කෙනෙක්. මාස කිහිපයක් මම තනියම ඇඬුවා. දැන් මට කිසිම දේකට ඇඬෙන්නේ නැහැ. කලා ක්ෂේත්‍රයට ආයේ එන්නේ නැහැ කියන මානසිකත්වයේ මම හිටියා. නමුත් මගේ දෛවය ඊට වඩා වෙනස්. ස්වභාවදහම මාව ශක්තිමත් කළා. මගේ හෘද සාක්ෂිය මම වැරදි කරපු කෙනෙක් නෙමෙයි කියලා දන්නවා.

ජීවිතේ ගත්තු සමහර තීරණ ගැන පසුතැවිලි වෙලා තියෙනවාද?
සමහර තීරණ ගැන අපරාදේ ඒ වෙලාවේ ඒක නෙමෙයි කරන්න තිබුණේ කියලා පසුතැවිලි වෙලා තියෙනවා. සමහර ප්‍රශ්නවලදී මම හොඳ වැඩියි. ඒවායින් මිනිස්සු අයුතු ප්‍රයෝජන ගත්තා. මම මිනිසුන්ට අනුකම්පා කරන කෙනෙක්. ඒවායින් ඇතැම් අය අයුතු ප්‍රයෝජන ගත්තා.

කොවිඩ් නිසා යහළුවන් තුන්දෙනාට මුණගැහෙන්න බැරිවෙන්න ඇති?
ඔව්... ඒකනම් ඇත්ත. දිනක්ෂි මවක් වෙන්න හිටපු නිසා අපි මුණගැහුණේ නෑ. ජූනි මාසේදී මායි, අසේකායි, දිනක්ෂියි මුණගැහුණා. දැන් අපි හැමවෙලේම මැසේජ් කරනවා. දිනක්ෂිගේ තත්ත්වය නිසා අපි යන එන එක හොඳ මදි. ඒ නිසා වීඩියෝ කෝල්ස්වලින් කතා කරනවා.

අනුරාධා එදිරිසිංහ ශලනිට හරි අපූරු යාළුවෙක් වගෙයි...?
අනුරාධාව මට මුණගැහෙන්නේ එයාගේ දෙවැනි නාට්‍යයෙන්. ඒ නාට්‍යයේ මගේ නංගිට රඟපෑවේ එයයි. ඒ කාලේ ඉඳන් එයා මාත් එක්ක හරි සමීපයි. ඕනෑම ප්‍රශ්නයකදී එයා මාත් එක්ක කතා කරනවා. එයා මට මගේම නංගි කෙනෙක් වගෙයි. නිතරම අපි මුණගැහෙනවා. හොඳම යහළුවෙක්ටත් වඩා අනුරාධා කියන්නේ මට මගේ සහෝදරියක්.

ඊළඟට ශලනිගේ හිතේ හැබෑකරගන්න හිතෙන බලාපොරොත්තු මොනවාද?
මට එහෙම ලොකු ලොකු බලාපොරොත්තු නැහැ. මගේ ජීවිතේ බොහෝ දේවල් මම හැබෑකරගෙන තියෙනවා. පෞද්ගලික ජීවිතේ නම් හොඳ සැමියෙක් ලැබිලා දරුවන් එක්ක හොඳ ජීවිතයක් ගත කරන්න ආසයි. ඒක අපේ ජීවිතේ යන විදිහට යාවි. ඒ ගැන වුණත් ලොකුවට බලාපොරොත්තු නැහැ. කලා ජීවිතයේදී මම හිතුවාටත් වැඩිය සාර්ථක වුණා. මේ කාලයේදී මට පුංචි තිරයේ ජනප්‍රිය නිළියක් වීමේ උණක් ඇත්තටම නැහැ. ජනප්‍රිය නිළිය සහ හොඳම නිළිය සම්මාන දෙකම මට එකවර ලබාගන්න පුළුවන් වුණා. ඉදිරියේදීත් මිනිසුන්ගේ මතකයේ හිටින හොඳ නිර්මාණවලට දායක වෙන්න ආසයි.

 

                       සේයාරූ I සුමුදු හේවාපතිරණ