2021 සැප්තැම්බර් 25 වන සෙනසුරාදා

අව්ව සැර වුණාට යාපනේට යන්න ආසයි

 2021 සැප්තැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 270

ඉතින්, නිම්මි මොනවද මේ දවස්වල වැඩ?

අලුතින් නාඩගම්කාරයෝ කරගෙන යනවා. ඒ අතර තව අලුත් නාට්‍යයක රෑගත කිරීම් කරගෙන යනවා. ඊට අමතරව පරිස්සමෙන් ගෙදරට වෙලා ඉන්නවා.

• ඔබ Travel වලට ප්‍රියකරන කෙනෙක්ද?

ඔව්. මම ගොඩක් ආස දෙයක්. හැබැයි රටේ පවතින තත්ත්වය එක්ක, අවුරුදු 2 කින් ඇවිදින්න යන්න බැරිවුණා.

• Travel කරන්නේ කුඩා කාලයේ ඉඳන්ද නැත්නම් මෑතකදී හිතට ආපු දෙයක්ද?

මෙහෙමයි, Travel කියන දෙය කුඩා කාලයේ හිතට ආපු දෙයක් නෙමේ. මට නොතේරෙන කාලේ මගේ අත්තම්මා මාව හැමතැනම අරන් ගිහින් තියෙනවා. යන්න කොහෙද කියලාවත් දන්නේ නැති කාලයේ. නමුත් Travel කියන දෙය හිත ඇතුළට පනින්නේ A/L වලින් පස්සේ.

• මේ වනතුරු ඔබ කරපු Travel වලින් හිතට කා වැදුණු තැනක් ඇති නේද?

ඔව්. මම හරි ආසයි නුවරඑළිය පැත්තට යන්න.

• අපි කැමතියි දැනගන්න ඔබ එහි යන්න ආසා කරන හේතුව?

මම ඉපදුණේ හැදුණේ වැඩුණේ නුවර. ඉතින් නුවරයි නුවරඑළියේ අතරයි දේශගුණයේ ලොකු වෙනසක් නෑ. නුවර අව්වට හුරුපුරුදු මට රස්නේ පැතිවලට ලොකු කැමැත්තක් නෑ. ඒක තමා ඉතින් හේතුව.

• සීතල නුවරඑළියේ ඔබට අමතක නොවන අත්දැකීම් එහෙම ඇති නේද?

අත්දැකීම්.... මට තියෙන ලොකුම ගැටලුවක් තමයි Travel කරද්දී Migran දවස් 2ක් වත් යනකන්වත් මට කැරකිල්ලයි ඔළුවේ කැක්කුමයි නම් තියෙනවා.

• නිම්මි.... ඔබ ඇවිදින්න යන්න වඩාත්ම ප්‍රිය කරන්නේ කාත් සමඟද?

මම ඉතින් ගෙදර කට්ටියත් එකකත් යනවා, යාළුවන් එක්කත් යනවා. එහෙම විශේෂයක් නෑ. හැබැයි ඉතින් වැඩිපුර විනෝද වෙන්නේ යාළුවන් එක්ක ගියහම තමයි.

• ඔබ විදේශ සංචාර ගිහින් තියෙනවාද? 

නැහැ තවම නම් නෑ.

• Travel කියන දේ ඔයා දකින විදිහ කොහොමද?

අපේ ජීවිත හරිම ඒකාකාරියි. වැඩට යනවා ගෙදර එනවා. හරිම කාර්යබහුලයි. ඉතින් ඒ අතරමැද ඇවිදින්න යනවා කියන්නේ මනසට ලොකු සැහැල්ලුවක්. ලස්සන තැන් දැකබලා ගන්න ලැබෙනවා. ඒ වගේම සුන්දර මතකයන් ජීවිතේට එකතු වෙනවා.

• ඔබ කවදාවත් නොගියපු, නමුත් යන්න සිහින දකින තැනක් තියෙනවාද?

මම යන්න ආසයි යාපනයට. අපේ ගෙදර අය නම් ගිහින් තියෙනවා. නමුත් මම ගිහින් නෑ. පාසල නියෝජනය කරලා තරගාවලියකට සහභාගි වෙන්න ත්‍රිකුණාමලේ යාමට වුණු නිසා ගෙදර අයත් සමඟ එම ගමනට යන්න මට අවස්ථාවක් ලැබුණේ නැහැ. ඉතින් පොඩ්ඩක් අව්ව තිබ්බට යාපනේ යන්න මට ආසයි.

• ඒකට විශේෂ හේතුවක් තියෙනවාද?

මට ආසයි... යුද්ධයෙන් පස්සේ ඒ මිනිසුන්ගේ ජන ජීවිතය, ජීවන රටාව දැක බලා ගන්න. යාපනයේ තියෙනවානේ ඉතින් විශේෂ ස්ථාන කිහිපයක්ම. ඒවා බලන්න මම හරි ආසයි. දෙමළ ජනයාගේ ජීවන රටාවට මම ගොඩාක් ආසයි. මම ආසයි ඇස් දෙකෙන් දැකබලා ගන්න තියෙනවා නම්, එයාලා තවමත් එයාලගේ සංස්කෘතිය සමඟ ජීවත් වෙනවාද කියලා. අපි TV එකෙන් නාට්‍යවලින් Filmවලින් දකින යාපනේමද තියෙන්නේ කියලා දකින්න ආසයි.

• ඔබ Travel කරන අයට සහ කරන්න ඉන්න අයට දෙන පණිවිඩය මොකක්ද කියලා.

මට කියන්න තියෙන්නේ, ඔයාලා Travel කරාට කමක් නෑ. ඕනේ තරම් Travel කරන්න. නමුත් ලංකාවේ තියෙන සුන්දරත්වය නැති කරන්න එපා. ගිහිල්ලා තැන තැන කුණු කසල දාලා අපේ සුන්දර ලංකාව විනාශ කරලා දාන්න එපා. යන්න, විඳින්න, බලන්න නමුත් එය ආරක්ෂා කරගන්න තව කෙනෙකුට එහි සුන්දරත්වය විඳින්න ඉතුරු කරන්න.