2021 ජුලි 17 වන සෙනසුරාදා

මම ඒ කිසිම දෙයක් නවත්වලා නැහැ. ආසා කරන දේ ආසා වෙලාවට කරනවා

 2021 ජුලි 17 වන සෙනසුරාදා, පෙ.ව. 10:01 263

අමන්දි.... මොකක්ද මේ නැටිල්ලේ තේරුම...?
අම්මෝ.... ඔහොම කියද්දී බයත් හිතුණා. මෙගා ස්ටාර් තරගයක තුන්වැනි අදියරේ තරගයට මාත් ඉදිරිපත් වෙලා ඉන්නවා. ඒ නිසා මේ දවස්වල නැටිල්ලම තමයි. පුහුණුවීම් එක්ක හරිම මහන්සියි. ඒත්... මට පුළුවන් උපරිමයෙන්ම මම ඒකට සහභාගී වෙනවා.

නර්තනය ඉගෙන ගත්තේ කොහෙන්ද?
මම බොහෝම පුංචි කාලේදී කුලසිරි බුදවත්ත සර් යටතේ නර්තනය ඉගෙන ගත්තා. මාත් එක්කම නංගීත් බුදවත්ත සර් යටතේ නර්තනය හැදෑරුවා. මම ඉගෙන ගත්තේ කොළඹ සිරිමාවෝ බාලිකා විදුහලේ. ඒ නිසා පාසැල් කාලේදී මගේ නර්තනය ගුරුතුමිය වුණේ හේමාලි බුදවත්ත ගුරු මෑණියන්. පුංචි කාලේ මම ඉගෙන ගත්තේ උඩරට නර්තන ශෛලියයි. අවුරුදු දහසයේදී මම කපිල පලිහවඩන සර් යටතේ බැලේ නර්තනය ඉගෙන ගත්තා. අවුරුදු තුනක් මම ඒ නර්තන විෂයන් හැදෑරුවා. ඒ නිසා මගේ නර්තන ගුරුවරු දෙපලත්, නර්තන ගුරුතුමියවත් ආදරෙන් මතක් කරනවා. ඔවුන් නිසා අද මට නර්තනය හරහා යම්කිසි දෙයක් කරන්න පුළුවන් වෙලා තියෙනවා.

මේ වෙද්දී ලැබෙන ප්‍රතිචාර කොහොමද?
මේ තරගය සඳහා කලාකරුවන් කලාකාරියන් තිස් දෙකක් සහභාගී වුණා. එයින් මේ වෙද්දී අවසන් දහ දෙනා අතරට මාවත් තේරිලා තියෙනවා. ඒ ගැන තියෙන්නේ ඇත්තටම සතුටක්. සමහරු නිරෑපිකාවකට නර්තනය කරන්න බැහැ කියන අදහසෙන් හිටියේ. දැන්නම් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මේ මගේ පළමු නර්තන තරගාවලියයි. ඒ නිසා දැන් තමයි මගේ නර්තනය පිළිබඳ බොහෝ දෙනා දකින්නේ. ඉතින් ලැබෙන ප්‍රතිචාර ඉතා හොඳයි.

අමන්දි දැන් නිරූපණ ක්ෂේත්‍රයෙන් සමු අරගෙනද? විවාහයෙන් පස්සේ ඒවට තහංචි වැටුණද?
අනේ නැහැ. මම ඒ කිසිම දෙයක් නවත්වලා නැහැ. ආස කරන දේ ආස වෙලාවට කරනවා. මගේ සැමියාගෙන් කිසිම දේකට බලපෑමක් නැහැ. කිසිම දේකට තහංචි නැහැ. ඒ නිසා හිතේ පීඩනයක් නැහැ. එයා මට කරන්න එපා කියලා කියපු එකම දේ මගේ කොණ්ඩය කපන්න එපා කියලයි. එයා මගේ කොණ්ඩයට හරි ආසයි. ළඟදී තිබුණු එක්තරා නර්තනයකදී මගේ කොණ්ඩය ටිකක් කපන්න සිද්ධ වුණා. ඒ කැපුවෙත් එයාට කියලා බොහොම අමාරුවෙන් අවසරය අරගෙනයි. ඒ හැර වෙන කිසිම දේකට එයා මට තහංචි දාලා නැහැ.

අමන්දි... ඔයාගේ නංගිත් එක්ක ගත කරපු ළමා කාලය ආයෙත් මතක් කළොත්...?
මම පොඩි කාලේදී නම් හරිම දඟයි. වැඩිපුරම ඉඳලා තියෙන්නේ වත්තේ තිබුණ ගස් උඩයි. ගෙදරට බාස් කෙනෙක් ආවත් ඒ මනුස්සයා වැඩකරන අතරතුරේ ඒ මනුස්සයාගේ බයිසිකලේ අරගෙන මම බැරි බැරි ගාතේ පදිනවලු. උසත් නැති කාලෙක ඒ බයිසකල් එක්ක වැටිලා අනන්තවත් තුවාල වෙලා තියෙනවා. ටික ටික ලොකු වෙද්දී එහෙම දඟලන්න මම ආසා වුණේ නැහැ. මම අනෙක් කට්ටිය දඟලද්දී ඒක බලාගෙන ඉන්න ආස කළා. දැනුත් එහෙමයි. දැනුත් මම පැත්තකට වෙලා පාඩුවේ ඉන්න ආසයි. මට ඉන්නේ එක නංගි කෙනෙක් විතරයි. නංගි මට වඩා අවුරුද්දක් බාලයි.

පාසල් කාලය ගැන මතක් කළොත්?
පාසැලේදීත් මම මගේ පාඩුවේ හිටපු කෙනෙක්. ඒ කාලේ මම මාර විදිහට ලැජ්ජා කෙනෙක්. ඒ නිසා පාසැලේ බාහිර ක්‍රියාකාරකම්වලටත් මම සහභාගී වුණේ නැහැ. පාසැල් වේදිකාවට නැගලා කවදාවත් මම සිංදුවක්වත් කියලා නැහැ. ඉස්සරහට ගිහින් කතා කරන්නටත් මම හරිම ලැජ්ජයි.

පුංචි කාලේ වෙන්න ආස කරපු හීනයක් තිබුණද?
දැන් ඒ ගැන හිතද්දී මම හිතන්නෙත් ඒ කාලේ ඉඳන් මට මෝස්තර නිරෑපිකාවක් වෙන්න තමයි ආස කළේ. මට කිසිම තේරුම් නැති පුංචි කාලේදී මගේ මාමා (ප්‍රියන්ත විජේකෝන්) නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙලා හිටියා. මාමා ඇවිදින විදිහ බලාගෙන මාත් මගේ පුංචි කාලේ ඇවිද්දා කියලා කට්ටිය මට කියනවා. ප්‍රියන්ත මාමා මට පොත් ඔළුව උඩ තියාගෙන සමබරව ඇවිදින විදිහ කියලා දෙනවලු. මාත් ඒ විදිහට පොඩි කාලේ ඇවිදලා තිබුණා. පාසැලේදී මම ගොඩාක් උස ශිෂ්‍යාවක්. ඒ නිසා මම ඒකට කැමති වුණේ නැහැ. හැමෝම මම දිහා බලද්දී මට හිතුණේ මම විහිළුවක් වෙලා කියලයි.

අමන්දිගේ විහිළුවක් වුණු ඒ උසම මේ ක්ෂේත්‍රයට එන්න ප්‍රධාන මාර්ගයක් වුණා නේද?
ඔව්නේ.... රෑපවාහිනියේ මට මෝස්තර නිරෑපිකාවක් දකින්න ලැබුණා. ඒ අයත් මම වගේම උසයි. හැබැයි ඒ කාලේ අපේ තාත්තා ඒ වැඩසටහන් මට බලන්න දුන්නේ නැහැ. තාත්තාට හොරෙන් මම ඒ වැඩසටහන් බැලුවා. ඒ වෙද්දී මේ කට්ටිය මම වගේනේ. මේ අයගෙත් කකුල් දිගයි. මේ උසෙත් හොඳ පැත්තක් තියෙනවානේ* කියලා මට හිතුණා. ඉතින්... කොහොම හරි මම ආසකරපු විදිහටම මට නිරෑපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා.

ඒ හැරවුම වුණේ කොතැනින්ද?
මට අවුරුදු දහ අටේදී රාජගිරියේ දර්ශි අක්කි මාර්ගයෙන් මට රොසෑන් අක්කව මුණගැහුණා. ඇය හරහා මම Miss Sri Lanka තරගයට ඉදිරිපත් වුණා. ඒ වෙද්දී මම ගොඩක් පොඩියි. කිසිම දෙයක් මම දැනගෙන හිටියේ නැහැ. මට තාම මතකයි එතැනට ගියාමත් සමහර ඡායාරෑප ශිල්පීන් නංගී ඔයාව ගෙදරින් බලෙන්ද එව්වේ කියලත් ඇහුවා. කිසිම දෙයක් නොදැන රොසෑන් අක්කගේ මඟ පෙන්වීම යටතේ මම මේ ක්ෂේත්‍රයට යොමුවුණා. ඊට පස්සේ මාව බ්‍රයන් කොකෝවන් දැකලා ඔහු මාව මට ලංකාවේ තියෙන හොඳම තරගවලට, වැඩසටහන්වලට මාව ඉදිරිපත් කළා. ඉතින් දර්ශි අක්කාගේ දැන හැඳුනුම්කමත් එක්ක පටන්ගත්තු ගමන තමයි තාමත් මේ යන්නේ.

රූපවාහිනියෙන් නිරූපණ වැඩසටහන් බලන්න තහනම් කරපු තාත්තා පහුකාලේදී අමන්දා මේ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙනවට කැමැති වුණාද?
අම්මෝ ඔව්? මේ ගමන එන්න මට ලොකුම හයිය වුණේ මගේ තාත්තායි. මගේ නංගියි. තාත්තාගෙන් මට ලොකු සහයෝගයක් ලැබෙනවා. Colombo Fashion Week 2010 අවුරුද්දේ සිට මම කළා. මේ ක්ෂේත්‍රයට සම්බන්ධ වුණු කාලයේ සිටම මට හොඳම අය සමඟ නිරූපණය කරන්න අවස්ථාව ලැබුණා.  ඒ හැම තැනකදීම මාත් එක්ක මගේ පිටුපසට වෙලා හිටියේ තාත්තා. අදටත් ඒ හයිය මට තියෙනවා. 

කවදා හරි දවසක මේ ක්ෂේත්‍රයෙන් සමුගන්න හිතිලා නැද්ද? කැපිලි කෙටිලි නිසා කලකිරීමත් ඇතිවෙලා නැද්ද?
හැම ක්ෂේත්‍රයකම ඔය කැපිලි කෙටිලි තියෙනවානේ. මේකත් එහෙමයි. ඉරිසියා කරන කට්ටිය, සැරට කතා කරන කට්ටිය මට මුල ඉඳලම මුණගැහිලා තියෙනවා. මුලදී නම් ඒවා නිසා හිත් රිදුණු තැන් ඇතිවෙලා කලකිරීම් දැනිලා තියෙනවා. නමුත් මේ මම ආස කරන ක්ෂේත්‍රය. දැන් මොන දේ ආවත් මම ගණන් ගන්නේ නැහැ. මම ආසකරන දේවල් කාටවත් නවත්තන්න බැහැ.

 ජීවිතේ ඉරණම්කාරයා ඉඳලා තියෙන්නේ මුහුදෙන් එපිට...?
ඔව්නේ... මම විවාහ වුණේ දිමුතු පෙරේරා එක්කයි. දිමුතු මගේ මාමාගේ යාළුවෙක්ගේ පුතෙක්. දිමුතු අවුරුදු දාහතරේ සිට අමෙරිකාවෙයි හිටියේ. මාමා මට දිමුතු ගැන කිව්වට පස්සේ අපි මුලදී යාළුවෝ විදිහට ෆෝන් එකෙන් කතා කළා. එහෙම කතා කරලා කාලයක් ගියාට පස්සේ තමයි අපි යාළු වුණේ. එයාගේ අම්මා තාත්තා ඇතුළු මුළු පවුලම හිටියේ ඇමෙරිකාවෙයි. ඉතින් ඒ නිසා අපි දෙන්නා යාළුවෙලා ටික කාලයකට පස්සේ එයයි ඒ පවුලේ අයයි මාව බලන්න ලංකාවට ආවා. කිහිප සැරයක්ම ඒ අය ලංකාවට ආවා. 2018 අවුරුද්දේ අපි විවාහ වුණා... මේ දිනවල දිමුතුත් ලංකාවට ඇවිත් ඉන්නේ. මෙගා ස්ටාර් අවසන් වුණාට පස්සේ දිමුතු මාවත් අරගෙනම ඇමෙරිකාවට යනවා.

අමන්දා රංගනයටත් දායක වුණානේ?
ඔව්... මුලින්ම මම විසුල අහස යට ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතය රඟපෑවා. මීට අවුරුදු දෙකකට පෙර &ෂෙලීනා* චිත්‍රපටයේ මම රඟපෑවා. මාව ෂෙලීනා චිත්‍රපටයෙන් දිනෙත් අයියා තමයි සිනමාවට හඳුන්වලා දුන්නේ. ඒ චිත්‍රපටයේ මම දිනෙක් අයියා සහ අනුජ් අයියා එක්ක රඟපෑවා. ඒක පූජිත ගුණතිලක සහ චන්දන එදිරිසිංහ නිර්මාණයක්. කොවිඩ් නිසා චිත්‍රපටයට යම් පසුබෑමක් සිදුවුණත් දින හැත්තෑපහක් තිරගත වුණා. නරක කාලයක තමයි ඒ චිත්‍රපටය පෙන්වන්නට සිදුවුණේ. නමුත් ඒක ලස්සන රහස් පරීක්ෂක කතාවක්.

 අමන්දිගේ ජීවිතේ තිබෙන බලාපොරොත්තු මොනවද?
එහෙම ලොකු බලාපොරොත්තු නැහැ. මම ඒ ඒ වෙලාවට සතුටින් ඉන්න ආසයි. මට ලොක ලොකු හීන නැහැ. දිමුතු කියන්නේ හරිම හොඳ කෙ‌ෙනක්. දිමුතු වගේම එයාගේ අම්මා, තාත්තා, ඒ පවුලේ අයත් ගොඩක් හොඳයි. ඒ අයත් හරිම ජීවිතේ සතුටින් ගෙවන්න දන්න අයයි. ඒ නිසා මම ජීවිතේ සතුටින්, සැහැල්ලුවෙන් ගෙවෙනවා. මේ ජීවිතයට මම හරි ආදරෙයි.

 

                      සේයාරූ - සුමුදු හේවාපතිරණ