2023 මාර්තු 12 වන ඉරිදා

ජීවන මංපෙත මලින් සැදී ගිය - යුගයක නොව ඔබ හමුවූයේ

 2023 මාර්තු 12 වන ඉරිදා, පෙ.ව. 06:00 98

මම ආදරෙයි ඒ මොහොතට... ඒ මොහොත හැමදාමත් මට ජීවත් වෙන්න හුස්මක් දෙන මට මාව සිපගන්න හදවතින්ම හාදුවක් තිළිණ කරන අප්‍රමාණ මොහොතක්! ඒ මගේ ඇස් මත ඔය දිලිසෙන ඇස් රුඳිච්ච මොහොත... ඒ මොහොත තරම් ජීවිතයේ එක මොහොතක්වත් ලස්සන නෑ කියලා හිතෙනවා මට... ඒ මොහොත තරම් ජීවිතයේ වින්ද එක මොහොතක්වත් ආදරණීය නෑ කියලා මට හිතෙනවා... ඒ මොහොත... ඔබ මගේ ඇස් මත දැල්වෙමින් මගේ හදවත සිප වැළඳගත් ඒ මොහොත... ඔබ ආදරෙයි වග නොකියා කියූ ඒ මොහොත... ඒ තමයි ජීවිතය මට දුන්න ආදරණීයම මොහොත...

මම දන්නෙ නෑ සංසාර වීදියෙන් වීදියට කොයි තරම් සැතපුම් සංඛ්‍යාවක දුරක් මම ඔය ඇඟිලිවල එල්ලීගෙන අත අල්ලාගෙන ආවද කියලා. මේ දැනුණු ප්‍රේමයේ අක් මුල් සංසාරේ භව ගාණක් ඈතින් ඈතට ගැටගැහිලා ඇති... ඒත් මම දන්නෙ නැහැ ඒ මුල් දිගේ මතක මහ කන්දරාවක් හොයාගෙන හොයාගෙන ඇවිදින්න.

ඒත් මට දැනෙනවා... ඒත් මට හැඟෙනවා... සංසාර නවාතැන්පොළෙන් නවාතැන්පොළට ඇවිදගෙන ආපු ගමනක්. ඉතින් ආදරයෙන් අල්ලාගත්ත අත ආදරයෙන්ම අල්ලාගෙන ඇවිද යමුද ඉතින් සංසාරය පුරාවටම

සැරයටියෙන් අපි යනෙන තුරා
සංසාරේ අපි එකට ඉමු
සංසාරෙන් අපි සමුගන්නා දා
ඒ ගමනත් අපි එකට යමු

ඒ ප්‍රාර්ථනාව මගේ... මට කියන්න ඒ ප්‍රාර්ථනාව ඔයාගේ හදවතේ අග්ගිස්සක තියලා නොගැලවෙන්න සියුම් ලේ නහරයකින් ගැටගහලා පපුව මැද පැල කරන්න ආසයි මම...

ගන්න හුස්ම නවතින්නේ මරණයෙදි හැරුණුම තවත් එක තැනකදි විතරයි... ඒ ඔයාගේ නළල උණුසුම්ව උණුසුම් විදිහට මම ඉඹින මොහොතක... ඔයාගේ පපුව අස්සේ ඔව් පපුව අස්සේ අංශුමාත්‍රයකවත් ඉඩහසරක් නොතියා මම ගුලි ගැහෙන මොහොතක.. මාව පුච්චන මාව දවා හළු කරන ඒ උණුසුම තමයි ජීවත් වෙමින් මම දකින නිර්වාණය... ලෞකිකත්වය තුළ මම විඳින නිර්වාණය ජීවිතය තුළ මම විඳින සැනසිල්ල.. අප්‍රමාණයේ අප්‍රමාණ වූ සුවය...

ජීවිතයේ අතු අග මල් පිපිච්ච කොළ දළුලන කාලයකදි නෙවෙයි මට ඔබ හමුවුණේ.. ජීවිතයේ රුදු මංමාවත් දිගේ ඇවිදින්න පාරක් හොයාගෙන හොයාගෙන ඔව් හොයාගෙන ඇවිදිද්දි තමයි මට ඔයාව හම්බවුණේ... ජීවිතයේ ගිම් නිවන්න යස උරහිසක් තෑගි කරන්න මට. මගේ දෛවය දුන්න ලස්සනම තෑග්ගක් තිබුණා ඒ මගේ ආත්ම දාහය නිවාගන්න හම්බවුණ ඔය උරහිස සහ ඔය ආදරය...

ජීවන මංපෙත මලින් සැදී ගිය
යුගයක නොව ඔබ හමුවූයේ 
කටු කොහොලින් පිරි කළල් දියේ මා
තනිවම එද්දිය හමුවූයේ...
මින් මතු මාවත මලින් සදන්නෙමි
ලතැවුල් සෝ ගී නෑසෙන සේ
පමණක් නොව මේ සංසාරේ
උපදින වුව මතු සංසාරේ...

ඒත් ජීවිතය තවත් තැනක ගැටගැහිලා හදවත තුවාල වෙන්න ඉස්සර ආදරය විඳින්න හැකි තැනකදි අපි හමුවෙමු ආය සංසාරයේ හමුවන හැම වාරයකදීම...
ඇස් අගක කඳුළක් දැවටෙන්න ඉස්සර අපි හම්බවෙමු ආය... 

මතු සංසාරේ මා හුරුබුහුටිව 
පෙම් කරනා කළ එළඹෙන දා
කුළුඳුල් නැකතින් හමුවන පැතුමක්
පතමුව සසරින් නික්මෙන දා
සංසිඳුවා සිතු පහන් කරන්නම්
මේ පෙම කුළුඳුල් පෙමය සිතා
එන්නෙමි පසුපස සංසාරේ
කැපවෙමි ඔබ සිතු ගැනම සිතා...

මේ අනන්ත සංසාරයේ තවත් පිය සටහන් කීයක් යා යුතු ගමනේ ඉතුරු වී තියෙනවද කියන්න මම දන්නෙ නෑ... ඒ දුර පියවර කොච්චර වුණත් මට දෙන්න ඒ ගමන පුරා ඔබත් එක්ක සැරිසරන්න...

ඔබත් එක්කම ඇවිද යන්න 
දන්නෙ ඉතින් මෙච්චරයි මම...
මම මටත් වඩා ඔයාට ආදරෙයි ඒ හින්දා...

සැරයටියෙන් අපි යනෙන තුරා 
සංසාරේ අපි එකට යමු
සංසාරේ අපි සමුගන්නා දා
ඒ ගමනත් අපි එකට යමු

I සංජු