2022 නොවැම්බර් 20 වන ඉරිදා

දිව ඉරාගෙන Fashion

 2022 නොවැම්බර් 20 වන ඉරිදා, පෙ.ව. 06:00 184


මචෝ පුංචි කාලේ අපි අහලා තිබුණ විදිහට අපායෙ ගියාම තමයි දිවවල් පලන්නෙ. ඒත් ඔන්න දැන් ලංකාවේ අය මිහිපිටදීම දිවවල් පලන එක Fashion එකක් කරගෙන. පහුගිය දවස්වල Social Media වල Photos වගයක් Viral වුණා. සමහරක් විට සුදාලත් දැකලා ඇති. ලංකාවේ කෙල්ලො කොල්ලො කිහිපදෙනෙක් දිවවල් පලාගෙන කරපු Fashion තමා ඒ Photos වල තිබ්බේ.

අපේ කට්ටිය එච්චර දන්නෙ නැතිවුණාට මේක ලෝකෙ දැන් පට්ට Trend  එකක්. ඒ නිසාම ෆොන්තොල එක්ක මේ ගැන පොඩි චැටක් දන්න අපිත් හිතුවා. මේකට කියන්නේ ''Tongue Splitting'' කියලා. මේක ටිකක් භයානක වැඩක්. දිව දෙකට මැද්දෙන් පලල කටුස්සෙක් වගේ දිවවල් දෙකක් හදාගන්න එක තමයි මෙතනදී සිද්ධ වෙන්නේ. ඊට ඔය අමතරව දිවට කරාබු එහෙම දාගෙන ඉන්න අයත් සුදාලා දැකලා ඇතිනෙ.

මෙතැන දිව බෙදන වැඩේට ක්‍රම දෙකක් තියනවා. පළවෙනි එක තමා මචෝ සැත්කමක් කරන විදියට සැත්කම් උපකරණවලින් දිව පහළ ඉඳන් ඉහළට පැලීම. දෙවැනි එක තමා පටක පුළුස්සමින් ලේසර් භාවිතයෙන් දිව පැලීම. සුදාලාට කියනකොටත් ඇගේ හිරිගඩු පිපුණද?

ඇත්තටම මේ වැඩේ කරන්න පුළුවන් මුඛ ශල්‍ය වෛද්‍යවරුන්ට සහ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරුන්ට. ඒත් මචෝ මේ වෙද්දී ''Tongue Splitting'' ලෝකෙ කොච්චර Trend වෙලා තියෙනවද කියලා කියන්නේ, ඔය කන් නහය විදින, Tattoo ගහන ඩයල් දැන් දිවවල් බෙදීමත් කරනවා. ඒ අස්සෙ සමහරු තනියම මේ වැඩේ කරගන්න ගියපු අවස්ථා වාර්තා වෙලා තියෙනවා.

මේ වැඩෙන් විවිධ සංකූලතා අැතිවෙනවාය කියන එක සුදාලට අමුතුවෙන් කියන්න ඕනේ නෑ. ලේ ගැලීම්, ස්නායු සහ ධමනිවලට වන හානි නිසා ඇතිවෙන ආසාදන ප්‍රධානයි. ඒ විතරක් නෙවෙයි පැංචෝ, වැඩේ වැරදිලා ගියොත් කථන හැකියාවටත් බලපෑමක් වෙන්න පුළුවන්. හුස්ම ගැනීමේදී සහ ආහාර ගිලීමේ අපහසුතා පවා මේ නිසා ඇතිවෙන්න පුළුවන් බව වෛද්‍යවරු අනතුරු අඟවනවා.

මේ විස්තරය කිව්වම අපේ සුදාලාට හිතෙන්න පුළුවන් මෙච්චර පිස්සු වැඩක් ඇයි මේ මිනිස්සු කරන්නේ කියලා. ඇත්තටම මචෝ සමීක්ෂණවලින් හෙළිවෙලා තියෙන විදියට දිව බෙදීම වගේ ශරීර වෙනස්කම් සිදුකර ගන්න අය, තමන්ගේ ශක්තිය දරාගැනීමේ හැකියාව ගැන ලෝකෙට පෙන්වීමේ අවශ්‍යතාවයකින් පෙලෙනවාලු.

තවත් සමහරු මේකෙන් නිදහස, ලස්සන වගේ දේවල් ප්‍රකට වෙනවා කියලත් හිතාගෙන ඉන්නවා. තවත් අයට තියෙනවා අදහසක්, බෙදපු දිව නිසා සිපගැනීමේදී සංවේදී බව වැඩිවෙනවා කියලා. තවත් සමහරු කියන්නේ චාරිත්‍ර වාරිත්‍ර ආධ්‍යාත්මික මේකෙ තියනවා කියලා. ඇත්තටම සුදෝ ඒ කතා ඇහුවම අපේ ඔළුව කුරුවල් වෙනවා නේද?

අපි හොයාගත්ත විදියට නූතන ඉතිහාසයේ ඔය කියන සංකල්පවලට අනුව පළමු දිව බෙදීම සිද්ධවෙලා තියෙන්නේ 1994දී. ඉතාලිය මුඛ ශල්‍ය වෛද්‍යවරයෙක් වෙත ගියපු පුද්ගලයෙක් සැත්කම් උපකරණ භාවිතයෙන් තමන්ගේ දිව බෙදාගත්තා කියලා ඉතිහාසයේ කියවෙන්නෙ. කොහොම නමුත් 90 දශකයේ අග වෙනකොට මේ වැඩේ පොඩ්ඩක් දියුණු විදිහට සිද්ධවුණු බව පෙන්න තියෙනවා මචෝ.

මේ සීන් කෝන් එක ගැන හොයාගෙන ඈත ඉතිහාසයට ගියොත්, එක එක මිත්‍යා කතාවල දිව දෙකක් තිබෙන මේ වගේ චරිත අපිට හම්බවෙනවා. සමහර ආගමික කණ්ඩායම්වලට අනුව යක්ෂයාටත් මේ වගේ බෙදුණු දිවක් තමයි තියෙන්නේ. එතකොට මචෝ තවත් තැනක අපි දැක්කා භාවනාමය අරමුණු වෙනුවෙන් විවිධ යෝගීන් දිව බෙදපු අවස්ථා පිළිබඳ කතා කතාන්දර. එහෙම බැලුවම මචෝ මේක ඓතිහාසික සීන් කෝන් එකක්.

මේ වෙනකොට මේ ''Tongue Splitting'' වැඩිපුරම වාර්තා වෙන්නේ දකුණු ඇමරිකානු ප්‍රදේශවලින්. සුදාලා දන්නවාද බ්‍රසීලය, මෙක්සිකෝව, ආජන්ටිනාව වගේ රටවල ටිකක් අමුතු සංස්කෘතීන් තිබෙනවා. මත්ද්‍රව්‍ය, ආගමික විශ්වාස එක්ක පටලැවිච්ච අපිට තේරුම් ගන්න බැරි අමුතු අමුතු සීන්. ලෝකෙ මේ ප්‍රදේශයෙ අය අතර ''Tongue Splitting'' වලට විශාල උනන්දුවක් තිබුණු බවට ගූගල් ප්‍රවණතා දර්ශකයෙ පවා තියෙනවා.

ඊට අමතරව මචෝ පශ්චාත් සෝවියට් රටවල්, ඒ කිව්වෙ රුසියාවට ඉස්සර රුසියාවට අයිතිවෙලා තිබුණු රටවල්වල තරුණ අය අතරත් මේ සීන්කෝන් සම්බන්ධ ලොකු ප්‍රවණතාවයක් තියෙනවා කියලා වාර්තාවෙනවා. මේක දැන් ලෝකෙ කොච්චර විශාල ට්‍රෙන්ඩ් එකක් වෙලාද කියනවා නම් මචෝ, බාලවයස්කාර ඇච්චෝ පැච්චෝ මේ සීන් එකට පිස්සුව වැටිලා. මේ වගේ දේවල් මත්ද්‍රව්‍ය ඇතුළු විෂමාචාරවලටත් සම්බන්ධ නිසා දැන් දෙමව්පියන්ට මේක ප්‍රශ්නයක්.

ඒ නිසාම මේ සීන් එකට සමහර රටවල් වගේම ප්‍රාන්ත ආණ්ඩු විරුද්ධයි. සමහරු ''Tongue Splitting'' තහනම් කරලා තියෙනවා. ඇමරිකාවේ Military පැත්තට සම්බන්ධ කාටවත් මේ සීන් එක කරන්න බැහැ. බාලවයස්කාරයන්ට දෙමාපියන්ගේ අවසරය ඕනෑමයි. මොකද සෞඛ්‍යය මේ හේතු මතත් මීට සමාන දේවල් සිද්ධ කළ යුතු නිසා. කොහොම වුණත් ගොඩක් ප්‍රාන්තවල බලපත්‍ර සඳහා නීති රෙගුලාසි දැඩිව ක්‍රියාත්මක වෙනවා.

ඕස්ට්‍රේලියාවේ  වික්ටෝරියා ප්‍රාන්තයත් මේ සම්බන්ධ දැඩි නීතිරීති ගෙනාවා ළඟකදී. 2018දී බ්‍රිතාන්‍යයේ නඩු තීන්දුවක් පවා තියෙනවා දිව බෙදීම නීති විරෝධියි කියලා. චේතනාන්විතව බරපතළ ශරීර හානි සිදුකර ගැනීම කියන නීතිය යටතේ බ්‍රිතාන්‍යය මේ සම්බන්ධව දැඩිය ක්‍රියා කරනවා. ඒ කොහොම වුණත් තවත් රටවල් මෙවාට ඉතිහාසයේ තිබුණු සීමා වර්ණ දැන් ඉවත් කරමිනුත් ඉන්නවා මචෝ.

දැන් අපේ රටේත් කිහිපදෙනෙක් මේ සීන්කෝන් සීන් එකට එන්ටර් වෙලා ඉන්නෙ කියන එක පැහැදිලියි. මේ අයව වැරදිකාරයෝ කරලා නඩුදාන්න කියලා අපි නම් කියන්නේ නෑ. සෞඛ්‍ය සහ පුද්ගල ආරක්ෂාව සම්බන්ධව බලධාරීන් වගකීම් සහගතව වැඩ කළොත් හොඳයි ඉස්සරහට.

මොකද ''Tongue Splitting'' සීන් එක Next Level Y Trend එකක් වෙමින් තියෙන්නෙ ලෝකය තුළ. කොහොමටවත්ම අපිට මේකෙන් ගැලවීමක් නැහැ. ඉතින් සුදාලා කවුරුත් මේ ගැන පොඩ්ඩක් අවධානයෙන් හිටියොත් හොඳයි.

I නිසල්