2022 නොවැම්බර් 20 වන ඉරිදා

ලංකාවේ තරු හතක් වියට්නාමයේදී හොඳම නළුවා සම්මානයට...

 2022 නොවැම්බර් 20 වන ඉරිදා, පෙ.ව. 06:00 99

රටවල් පනහක් - චිත්‍රපට 123ක් තරගයට
මහේන්ද්‍ර සමහර දවසට කෑවේ රෝස් පාන් විතරයි
රෑට පොඩි 'ෂොට්' එකක් දාලා සින්දු කීවා
දවස් ගණන් එකදිගට මහ මුහුදේ පැද්දී පැද්දී හිටියේ
අයියා මට චිත්‍රපටය බලන්න බැරිද මම ඒක බලන්න ආසාවෙන් ඉන්නවා කීව දර්ශන් අද අපි අතරේ නෑ

වියට්නාමයේ හැනෝයි හි පැවති හැනෝයි අන්තර්ජාතික සිනමා උළෙලේදී (Hanoi International film festival) අරුණ ජයවර්ධන අධ්‍යක්ෂණය කරන ලද 'මාරියා' චිත්‍රපටය වෙනුවෙන් 'හොඳම නළුවා' සම්මානය හිමි විය. මෙහිදී විශේෂිතම කරුණ වන්නේ මෙම සම්මානයට එම චිත්‍රපටයේ රංගනයෙන් දායක වුණු නළුවන් හත්දෙනෙකු හිමිකම් කීමය. මේ අනුව මෙම 'හොඳම නළුවා' සම්මානය මහේන්ද්‍ර පෙරේරා, ප්‍රියන්ත සිරිකුමාර, හේමාල් රණසිංහ, අශාන් ඩයස්, දර්ශන් ධර්මරාජ්, දසුන් පතිරණ සහ සුරන් දසනායක හිමිකර ගත්හ. රටවල් පනහක් නියෝජනය කළ මෙම තරගාවලියට චිත්‍රපට 123ක් ඉදිරිපත් විය.

''මෙම චිත්‍රපටය සම්පූර්ණයෙන්ම රූගත කිරීම් කළේ මහ මුහුදෙයි. ලංකාවේ ප්‍රවීණම කලාකරුවන් හත්දෙනෙක් මෙම චිත්‍රපටය සඳහා දායක වුණා. ඇත්තටම මේක අපි හැමෝටම ලොකු අභියෝගයක් වුණා. මෙහි රංගනයේ යෙදීම පමණක් නොව හැමදේම ලොකු අභියෝගයක් වුණා. මීට පෙර අපි කවුරුවත්ම මහ මුහුදේ මේ විදිහට වැඩ කරලා තිබුණේ නැහැ. කොයි තරම් ක්ෂේත්‍රයේ පරිණත වුණත් අපි හැමෝටම මේක අභියෝගයක් වුණා. ඇත්තටම මේක කණ්ඩායම් හැඟීමෙන් කරපු නිර්මාණයක්. කැමරාව පිටුපස හිටපු අය වගේම කැමරාව ඉස්සරහ හිටපු රංගන ශිල්පීන්ටත් සෑහෙන කැපකිරීමක් මෙම චිත්‍රපටය වෙනුවෙන් කරන්න සිදු වුණා.'' 'මාරියා' චිත්‍රපටයේ අධ්‍යක්ෂක අරුණ ජයවර්ධන හදසරට පැවසීය.

'මරියා' සිනමාපටයෙහි රූගත කිරීම් මහ මුහුදේ දින 22ක් පුරාවට සිදුවිය. ඒ අතරතුර එහි රඟපෑ රංගන ශිල්පීන්ට වරින් වර මුහුදට පැනීමට සිදුවිය. සටන් ජවනිකා කිහිපයක් ද මේ අතර විය. එහෙත් මේ සඳහා සාමාන්‍ය රංගන තලයක තිබිය යුතු පහසුකම් කිසිවක් මෙම ශිල්පීන්ට නොවීය. නමුත් ඒ සියල්ල මැද වුවද තම රංගනය වෙනුවෙන්, තම කාර්යය වෙනුවෙන් ඔවුහු සියල්ලෝම එක සේ කැප වූහ. මුහුද රළු වුණු දිනවල ඔවුහු බෝට්ටුවට වී කල් ගෙවූහ. රූගත කිරීම් ආරම්භ වීමට පෙර රංගන ශිල්පීහු තම කැමැත්තෙන්ම දින කිහිපයකට පෙර නැව් නැග ඒ වෙනුවෙන් පුරුදු පුහුණු වූහ. මෙලෙස සාමාන්‍ය චිත්‍රපටයකට එහා ගිය කැපකිරීමක් මෙම රංගන ශිල්පීන් ඇතුළු කාර්මික ශිල්පීහු මේ වෙනුවෙන් සිදු කළහ. එයට ලැබුණු විශාල ඇගයීමක් ලෙසින් මෙම සම්මානය හැඳින්විය හැකිය.

රංගනයේ නිරත වුණු රංගන ශිල්පීන් හත්දෙනාම ප්‍රවීණ මෙන්ම ඉතා විනෝදකාමී රංගන ශිල්පීහු වූහ. ඒ නිසාම මේ දින විසි දෙක පුරාවම ඉමක් කොණක් නොපෙනෙන මහ මුහුද මැද ඔවුහු තම උපරිම රංගනයේ නිරත වූවා මෙන්ම ඇති පදමට ප්‍රීති වූහ. විවේක මොහොතක් ලද සැණින් ඔවුහු මහ මුහුද මැද සිට ගීත ගායනා කළහ. මහ මුහුදට හුරුවීම සඳහාම අරුණ ඇතුළු නිෂ්පාදන අංශය බෝට්ටුවට අමතරව තවත් යාත්‍රාවක් (Yatch) ද මහ මුහුද මැදට ගෙන ගොස් තිබුණි. ඒ අනුව දින අටක් පුරාවට මෙම රංගන ශිල්පීන් ඇතුළු කාර්මික ශිල්පීහු ගොඩබිමට නොපැමිණි අතර දිගටම එම යාත්‍රාවේම කල් ගෙවූහ. එම දින අට ඉතා විනෝදකාමී දින අටකි. එය ඔවුන්ට ලැබුණු අපූරු නවාතැන්පොළකි. ගී ගයමින්, කමින් බොමින් ඔවුහු විනෝද වූහ. 

මහ මුහුදට හුරු නොවුණු විට වමනය ඇතුළු විවිධ සුළු සුළු අසනීප තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවීම සාමාන්‍ය දෙයකි. 'මාරියා' කණ්ඩායමෙහි ඇතැම් සාමාජිකයන්ට ද එම තත්ත්වයට මුහුණ දීමට සිදුවිය. මුල් දින දෙක තුන තුළ ඇතැමුන්ට මුහුද මැද වමනය ගොස් තිබුණි. ඔවුහු ඒ සඳහා අවශ්‍ය ප්‍රතිකාර ලබා ගත්හ. නොබෝ දිනකින් ඔවුහු ක්‍රම ක්‍රමයෙන් ඒ තත්ත්වයට හුරු වූහ. එලෙස ගත කළ එම කණ්ඩායමට මහ මුහුද හුරුපුරුදු තැනක් බවට පත් විය. ඒ අතරතුර ඔවුහු අපූරු අත්දැකීමකට ද මුහුණ දුන්හ. ඔවුන්ගේ බෝට්ටුවේ ඔවුන්ගේ සහායට සිටි ධීවරයන් කිහිප දෙනෙකු මහ මුහුදෙන් ඇල්ලූ මාළු ඔවුන්ට ලබා දුන් අතර ඒ අනුව මාරියා කණ්ඩායමට නැවුම් මාළුවල රස බැලීමේ අවස්ථාව ද හිමි විය.

ලංකාවේ ප්‍රවීණ රංගවේදීන් හත්දෙනෙකුගේ විශිෂ්ට රංගනය වෙනුවෙන් හිමිවූ වූ සම්මානය ලබාගැනීමට ඉන් එක් අයෙකු අද ජීවතුන් අතර නොමැත. ඒ අති දක්ෂ රංගවේදී දර්ශන් ධර්මරාජ් ය. එහෙත් ඔහුගේ රංගනය පිළිබඳව ද අපූරු මතකයක් මහ මුහුදේ අදටත් ඉතිරිව පවතී.

''මේ සම්මානය ලබාගනිද්දී අපිට තියෙන ලොකුම වේදනාව අපේ දර්ශන් අපිත් එක්ක නොසිටීමයි. දර්ශන් මේ චිත්‍රපටය වෙනුවෙන් සෑහෙන උනන්දු වුණා. කැපකිරීම් කළා. හරිම ආසාවෙන් ඔහු 'මාරියා' එක්ක වැඩ කළා. මට තාම මතකයි දර්ශන් සමහර දාට මහන්සියට බෝට්ටුව මැද බිම නිදාගත්තා. කිසිම සුව පහසුවක් බැලුවේ නැහැ. රූගත කිරීම් අවසන් වෙලත් ''අයියා මට චිත්‍රපටය බලන්න බැරිද.. මම ඒක බලන්න ආසාවෙන් ඉන්නවා'' කියලත් කිව්වා. අද ඒ චිත්‍රපටය බලන්න දර්ශනට බැරි වුණා. දර්ශන් අපි කාටවත් අමතක වෙන්නෙ නැති රංගන ශිල්පියෙක්.'' අරුණ ජයවර්ධන එම අපූරු රංගවේදියා පිළිබඳව ද මතකය අවදි කළේය.

''මාරියා චිත්‍රපටයේ රූගත කිරීම් කරද්දී ලබපු අත්දැකීම් ගොඩයි. ඒක හරියට ලොකු ත්‍රාසජනක අත්දැකීම්වල එකතුවක් වගෙයි. මුහුද මැද දවස් ගණනක් කරපු රූගත කිරීම් ගැන හිතද්දි ''අපි එහෙම රූගත කිරීම් කළාද?'' කියලත් දැන් හිතෙනවා. හැමෝම එකා වගේ වැඩ කළා. මහන්සියත් කර්කෂ බවත් තිබුණා. හැබැයි රඟපාන අපිත් කාර්මික ශිල්පීන් හැමෝම සහෝදරයන් වගේ වැඩ කරපු නිසා ඒ මහන්සිය අපිට ලොකුවට දැනුණෙ නැහැ. අරුණ ජයවර්ධන, කැමරා අධ්‍යක්ෂ චන්න දේශප්‍රිය, නිෂ්පාදක ඇතුළු හැමෝම මේ වෙනුවෙන් විශාල සහයෝගයක් ලබා දුන්නා. ඉඳහිට ගොඩබිමට ආවට ඒ කාලෙදි අපි වැඩිපුරම මහ මුහුදෙ හිටියෙ. මහ මුහුදේ සිග්නල් නැහැ. ඒ නිසා අපේ දුරකථන ඔක්කොම අපි පැත්තකට දැම්මා. ඒක තමයි වටිනාම දේ වුණේ. අපිට නවතින්න වෙනම Yatch එකක් දීලයි තිබුණෙ. රූගත කිරීම් නොකරන වෙලාවෙදි අපි ඒකට වෙලා හිටියා. විශාල කණ්ඩායමක් ඒක ඇතුළෙ එකට හිටියා.'' රංගනවේදී මහේන්ද්‍ර පෙරේරා පැවසීය.

'මාරියා' චිත්‍රපටයේ මාලන්ගේ චරිතයට පණ පෙවූ දසුන් පතිරණ මෙසේ හඬ අවදි කළේය.

''අපි මේ චිත්‍රපටයේ රඟපෑවේ අපේ ජීවිතයත් අවදානමට අරගෙනයි. ඒ අවදානමත් අරගෙන මහන්සිවෙලා කරපු නිර්මාණයට ඇගයීමක් ලැබුණු එක ගැන පට්ට සතුටුයි. ඒකත් වෙනත් ජාත්‍යන්තර සම්මාන උළෙලකදි ලැබීමත් සුවිශේෂීයි. ඒ වගේම මහේන්ද්‍ර අයියා එක්ක මේ සම්මානය ලැබීමත් මට සුවිශේෂීයි. අපි හත්දෙනා විතරක් නෙවෙයි මාරියා කියන්නේ සහෝදර කණ්ඩායමක්. මට මුහුද හුරුයි. මහ මුහුදට මම හරි ආසයි. ඒ නිසා මට වමනය ගියේ නැහැ. හැබැයි අපේ කොල්ලො කිහිප දෙනෙක්ම එහෙම තත්ත්වයකට මුහුණ දුන්නා. ටික දවසකින් ඒක හරි ගියා. කොහොමත් හැමදාම වගේ ඇඟේ අමාරුවට අපි පොඩි ෂොට් එකක් දැම්මා. රූට සින්දු කිව්වා. විනෝද වුණා. ඒ දවස් ටික ආතල් එකේ හිටියා. තාමත් ඒ යාළුකම තියෙනවා. අපිට දවස් ගාණක් ගොඩබිමට එන්නෙ නැතිව නැවතිලා ඉන්න Yatch එකක් ලැබුණා. ඉතින් දවස් ගාණක් පැද්දි පැද්දි හිටියා. රූගත කිරීම් අවසන් කරලත් ටික දවසක් යනකම් අපි පැද්දුණා.'' 

මාරියා චිත්‍රපටයේ රඟපෑ සුරන් දිසානායක ද තම අත්දැකීම් මෙසේ විස්තර කළේය.

''හොඳම නළුවා සම්මානය අපි හත්දෙනාටම ලැබීම ගැන මගේ හිතේ තියෙන්නෙ කියාගන්න බැරි සතුටක්. මේ චිත්‍රපටයේ රංගන ශිල්පීන් වගේම වැඩ කරපු හැමෝම හරිම මහන්සියෙන් මේ වැඩේ කළා. මේක අපි හැමෝටම අලුත් අත්දැකීමක් වුණා. මගේ ගම මීගමුව. ඒ නිසා මට මහ මුහුද ටිකක් හුරුයි. රූගත කිරීම් කළේ නැති වෙලාවට අපි Yatch එකේ හිටියේ. ඒ කාලය හරි අපූරුයි. ලංකාවේ ඉන්න විශිෂ්ට, ප්‍රවීණ රංගන ශිල්පීන් හය දෙනෙක් එක්ක රඟපාන්න ලැබීමත් මම ලබපු වාසනාවක් විදිහටයි මම හිතන්නෙ. ඔවුන් හරි අපූරු මිනිස්සු. අපි සින්දු කිව්වා. අශාන් හරි රසට කෑම හැදුවා. දර්ශන් අයියා මට බොහෝ දේවල් කියලා දුන්නා. ඒ දවස්වල අපි කෑම කෑවේ හරි අඩුවෙන්. මහේන්ද්‍ර අයියා රෝස් පාන් තමයි වැඩිපුරම කෑවේ. එයා රෝස් පාන් විතරක් කාපු දවස් තිබුණා. ඒ කාලය හරි අපූරු කාලයක්.''

I දිශානි