2022 ජුලි 31 වන ඉරිදා

’’අතේ බබා’’ කාලේ ඉඳන්ම එයා නංගිට ආදරෙයි...

 2022 ජුලි 31 වන ඉරිදා, පෙ.ව. 08:00 220

ඕෂධී.... අපිට චූටි දුවගේ නම කියන්න?

චූටි දුවගේ නම ලිසාරා අභිලාශි බුලත්සිංහල. දැන් චූටි දුවට වයස අවුරුදු හතරයි.

දැන් චූටි දුව දඟයිද?

අම්මෝ ඔව්. චූටි දුවට අයියා කෙනෙකුත් ඉන්නවානේ. අපේ පුතාගේ නම සස්නිත තිවේන් බුලත්සිංහල. පුතාට වයස අවුරුදු නවයයි. හැබැයි චූටි දුව එයාගේ අයියට සාපේක්ෂව ගොඩාක් දඟයි. එයා ක්‍රියාශීලී, හුරතල් දරුවෙක්. එක විදිහකට එක තැනකට වෙලා වැඩි වෙලාවක් ඉන්නේම නැහැ.

චූටි පුතයි, දුවයි අතර තියෙන ඒ බැඳීම කොහොමද?

නංගී ''අතේ බබා'' ඉන්න කාලේදී ඉඳන්ම පුතා එයාගේ නංගිට හරිම ආදරෙයි. පුතා එයාගේ නංගිව පුංචි කාලේ මලක් වගේ පරිස්සම් කළේ. ඉපදුණ මුල් කාලයේදී පුතා ඉස්කෝලේ ගිහින් දුවන් ආවේ නංගිව බලන්නයි. තාමත් ඒ ආදරේ කිසිම අඩුවක් නැහැ. හැබැයි සමහර වෙලාවට නංගිගේ දඟවැඩ අයියට දරාගන්න ටිකක් අමාරුයි. අයියගේ පොත් අදිද්දී, සෙල්ලම් මඩු අදිද්දී, අයියගේ චෝක් පෙට්ටිය කඩද්දී එයාගේ අයියාට තරහ යන වෙලාවලුත් තිබෙනවා. පුතා දඟ වැඩකරනවා අඩුයි. ඉතින් දූට දඟ වැඩක් කරලා අපි සැර කළොත් නම් පුතාට හරිම දුකයි. අපි දුවට බනිනවාට පුතා කැමතිම නැහැ. ඒ තරමටම පුතා එයාගේ නංගිට හරි ආදරෙයි. සමහර වෙලාවට නංගි කරන දඟ වැඩ නිසා අයියා පැත්තකට වෙලා තනියම අඬන වෙලාවලුත් තියෙනවා.

චූටි දූ සෙල්ලම් කරද්දී වැඩිපුර කැමති මොනවටද?

චූටි දූ බෝනික්කන්ට හරි ආසයි. එයා රෙදි බෝනික්කන් තියාගෙන නලවනවා. දුවව නාවද්දී එයා බෝනික්කන්ව නාවනවා. ඒ වගේම චූටි දූ මේක්අප් කරන්න ලස්සනට අඳින්න හරි ආසයි. මගේ කණ්ණාඩි මේසයයි, මගේ මේක් අප් කරන දේවල් දැකලා මම නැති වෙලාවට දූ හොරෙන් එයාට මේක් අප් කරගන්න වෙලාවලුත් තිබෙනවා. සමහර දවස්වලට බෝනික්කන් මූණවල් ඔය මේකප් බඩුවලින් පාට කරනවා. ඒ නිසා මගේ මේක් අප් බඩු ටික දැන් මම හංගලයි තියලා තිබෙන්නේ. මේ පාර දුවගේ උපන්දිනයට එයාගේ වයසට ගැලපෙන සෙල්ලම් මේක් අපි සෙට් එකකුයි, සෙල්ලම් කණ්ණාඩි මේසයකුයි තෑගි ලැබුණා. එයා ඒ තෑග්ගට හරි ආසයි. දැන් එයා වැඩිපුරම එයාට වගේම බෝනික්කන්ව පාට කරනවා. ඔය අතරේ දුව කොලු වැඩක් කරනවා. අයියා එක්ක ඉන්න නිසාමද මන්දා එයා බෝල සෙල්ලම් කරන්න, උඩ වල්වල නගින්නත් හරි ආසයි.

ඕෂධීට රූපවාහිනියෙන් දකිද්දී චූටි දුවත් ප්‍රතිචාරය කොහොමද?

එහෙම ලොකු වෙනසක් නැහැ. ''ආ.... අම්මා ඉන්නවා...'' කියලා සතුටු වෙනවා. ඒ හැර ලොකු වෙනසක්, ප්‍රතිචාරයක් දක්වන්නේ නැහැ. චූටි කාලේදී නම් දකිද්දී ''බබාටත් ටී.වී. එකට යන්න ඕනේ'' කියලා නම් කිව්වා. අවුරුදු තුනේ ඉඳන් චූටි දූට වැඩසටහන් කිහිපයකට මාත් එක්ක සහභාගි වුණා. ඒ නිසා දැන්නම් දුවට මම රූපවාහිනියෙන් දකිද්දී ලොකු විශේෂත්වයක් නැහැ.

පුතා පාසල් ගියාට පස්සේ චූටි දුවට එයාගේ අයියා නැතිව පාළු ඇති නේද?

ඔව්.... එයාට ඒ කාලය නම් හරි පාළුයි. අපේ අම්මයි, තාත්තයිත් ඉන්නවනේ. දුව වැඩිපුරම ඉන්නේ එයාගේ සීයා එක්කයි. පුතා ඉස්කෝලේ ගියාට පයින් දුව එයා ආස කරන කාටූන් බලනවා. ඊට අමතරව එයා චිත්‍ර අඳිනවා. චිත්‍ර පොතේ විතරක් නෙමෙයි පොළොවේ පවා චිත්‍ර අඳිනවා. ඔංචිලි පදිනවා. පුතා ඉස්කෝලේ ගියාට පස්සේ දුව ගොඩක් වෙලාවට දවල් වරුවේ එයාගේ සීයා එක්ක තමයි සෙල්ලම් කරන්නේ.

අද රටේ පවතින තත්ත්වයත් එක්ක දරුවන්ගේ අනාගතය ගැන ඕෂධීට මොකද හිතෙන්නේ?

මගේ දරුවන් දෙන්නාගේ විතරක් නෙමෙයි මුළු සමස්ත දරු පැටව්ගේ අනාගතය ගැන ලොකු බයක් සහ දුකක් තිබෙන්නේ. 2019 අවුරුද්දේ අප්‍රේල් පාස්කු බෝම්බ පිපිරීමත් එක්ක අද දක්වා රටේ විවිධ ප්‍රශ්න නිසා දරුවන්ගේ අනාගතය පසුබැස්සා. අපේ පුතා 2019 අවුරුද්දේ දෙක වසරේ ඉගෙන ගත්තේ. එදා සිට පහ වසර දක්වා එයාලට පාසල් කඩින් කඩ තමයි යන්නට සිදුවුණේ. ඒ නිසා පුතාට බොහෝ දේවල් මඟහැරුණා. දෙක වසර වෙනතුරු එයා එයාගේ ළමා කාලයේ නිදහසේ අත්වින්දා. පුංචි කාලේ පාක් ගියා. නිදහසේ දැඟලුවා. හැබැයි දුව ඉපදුනේ 2018 අවුරුද්දේ එයාට තේරෙන වයස වෙද්දී එයාට වැඩිපුරම ඉන්න සිදුවුණේ ගේ ඇතුළේ. පොඩි සීමාවේ විතරයි. අඩුම තරමේ දුවට පාක් එකකටවත් එක්ක යන්න අපිට පුළුවන් වුණේ නැහැ. ඒ නිසා දුවගේ ළමා කාලය එයාගේ දඟ වැඩ නිදහසේ ගත කරන්න එයාට ලැබුණේ නැහැ. ඒ නිසා මේ දරුවන්ගේ අනාගතය ගැන ඇත්තටම දුකයි.

I දිශානි