2022 මැයි 08 වන ඉරිදා

හැමෝම හොඳ කියද්දී බණින කෙනෙකුත් හිටියා - ටීෂා පෙරේරා

 2022 මැයි 08 වන ඉරිදා, පෙ.ව. 10:00 280

අවුරුදු දාහතරකට පස්සේ ටීෂා ලංකාවට ආවා?

ඔව්... මීට අවුරුදු හතරකට පෙර මම ලංකාවට ඇවිත් ගියා. හැබැයි ඒක කවුරුත් වැඩිය දැනගත්තේ නැහැ. ඒ නිසා අවුරුදු දාහතරකට පස්සේ තමයි මාසයක් ලංකාවේ ජීවත්වෙන්න මම ඇමෙරිකාවේ ඉඳන් ලංකාවට ආවේ.

මේ පාර ටීෂා ලංකාවට එන්න විශේෂ හේතුවක් තිබුණාද?

අවුරුදු දාහතරක්ම ඇමෙරිකාවේ හිටපු මට ලංකාවේ ඉන්න ආසා හිතුණා. මගේ අයියා ඉන්නේ ලංකාවේ එයාව බලන්නත් ඕන වුණා... ලංකාවට එන්න හැමදේම සූදානම් කරමින් ඉන්න අතරතුරේදී තමයි ලංකාවේ තත්ත්වය වෙනස් වුණේ. ඒත් මට ලංකාවට එන්න ඕනෑ වුණා... ටීෂා කියන නම හැදුනේ ලංකාවේ. ටීෂා කියන කෙනාව ගොඩනැගුණේ මේ මගේ රටේ ඉන්න ආදරණීය මිනිසුන් නිසයි. ඒ නිසාම ඔවුන් අසරණ වෙලා ඉඳිද්දී මට ඇමෙරිකාවට වෙල් ඉන්න බැරිවුණා. ඒ නිසා තමයි ශාන් සහ මම තීරණය කළේ මේ කාලේදී අපිත් ටික කාලයකට හෝ ලංකාවට ගිහින් එමු කියලා. ඔය අතරේ අපේ ව්‍යාපාර තිබෙන්නෙත් ලංකාවේ. ඒ හැමදේම බලන්න තමයි ලංකාවට ආවේ.

ටීෂා රහසින්  එන්නම් කියලා කිව්වට දැන් හැමෝම ටිෂා ආපු බව දන්නවා...?

ඔව්නේ... රහසින් එන්නම් කියන්නේ ලංකාවට ඇවිත් මම කරපු අලුත් ගීතයයි. ලංකාවට ඇවිත් මාසයක් හිටපු එකේ අලුත් සින්දුවක් කරන්නත් මට හිතුණා. ආයෙ ලංකාවට කවදා කොයි කාලේදී එන්න පුළුවන් වෙයිද කියලා මම දන්නේ නැහැ. ඒ නිසා මේ අලුත් ගීතය විශේෂයි. මම මීට පෙර ලංකාවේදී කරපු ගීත වෙනස. මේක සම්පූර්ණයෙන්ම වෙනස් ගීතයක්. මේ ගීතය ශෙහාන් ගලහිටියාවගේ පද රචනයක්. සංගීතවත් කළේ චතුරංග ද සිල්වා. මේ ගීතය ගායනා කරන්න මාත් එක්ක බාචි සුසෑන් එකතු වුණා... මේක ලොකු වෙනසක් වෙයි කියලා මට හිතෙනවා.

 රහසින් එන්නම් ගීතයට අපූරු රෑප රචනයකුත් එකතු කරලා තියෙනවා...?

ඔව්. රෑප රචනය කරද්දී මම ගොඩක් සැලකිලිමත් වුණා. මේක වෙනස්ම රූප රචනයක්. මේක ලොකු අවදානමක් අරගෙන රෑගත කිරීම් කෙරුණු එකක්. අමෙරිකාව වැනි රටක රූප රචනයක් කරන්න අපූරු ලස්සන තැන් තිබුණට මට මේක ලංකාවේම රෑගත කිරීම් කරන්න ඕන වුණා. සමහර කොටස් රූගත කරද්දී ඒක ලොකුම ලොකු අවදානමක් වුණා... හැබැයි මම ඒ අවදානම අරගෙන ඒ හැම දේටම මූණ දුන්නා. මේක වෙනස්ම රූගත කිරීමක්. මේ වීඩියෝ එක කරන්න අපි සෑහෙන දුකක් වින්දා. මේක ලොකු කණ්ඩායම් හැඟීමක් එක්ක කරපු වීඩියෝවක්. මේ සින්දුවේ රැප් කොටස කළේ ශිරාස්. නමුත් නොහිතපු මොහොතක අවාසනාවන්ත ලෙසින් ශිරාස් අපි හැර ගියා. ඒක මට ලොකු කම්පනයක්. රහසින් එන්නම් ගීතය තමයි ශිරාස්ගේ අවසන් ගීතය වුණේ.

ඇමෙරිකාවේ ඉඳන් ටීෂා සංගීත කටයුතුවල නියැලුනේ නැද්ද? ඇමෙරිකාවේ ඔබ මොනවාද කරන්නේ

මගේ සැමියා ව්‍යාපාරිකයෙක්. ඔහුගේ තම ශාන් හලඹ. අපිට අවුරුදු දෙකහමාරක පුංචි පුතෙක් ඉන්නවා. එයාගේ නම ඩියෝන් හලඹ. අපේ ව්‍යාපාරයට මාත් උදව් කරනවා. ඊට පෙර ඇමෙරිකානු රෙකෝඩින් ලේබලයක් යටතේ මම ගීත ඇල්බම් දෙකක් කළා. මගේ ගීත එහේ ප්‍රචාරය වෙනවා. නමුත් පුතා ලැබුණට පස්සේ මම ඒ හැම දෙයක්ම ටික කාලයකට නතර කළා. දැන් මගේ මූලික තැන ලබල දීලා තියෙන්නේ මගේ පුතාටයි. මගේ පවුල් ජීවිතේ අංක එක. ඒ නිසා චූටි පුතා එක්ක තමයි මගේ කාලය වැඩිපුරම ගෙවෙන්නේ. ඒක හරි සුන්දර කාලයක්. චූටි පුතාට අවුරුදු පහක් හයක් විතර ගියාට පස්සේ ආයෙත් මම ඇමරිකාවේ ගීත ගයාවි. තාම ඒක තීරණය කරලා නැහැ. ආයෙත් එහේ සංගීත කටයුතු පටන් ගත්තට පස්සේ හැම වෙලේම ප්‍රාන්තවලින් ප්‍රාන්තවලට යන්න සිදුවෙනවා. ළඟ තියෙන ප්‍රාන්තයකට ගියත් දවසක් දෙකක් විතර ගත වෙනවා. ඒ නිසා මේ කාලය නම් වැඩිපුර මම චූටි පුතාට තමයි ලබලා දෙන්නේ.

අවුරුදු දාහතරකට කලින් ටීෂා ලංකාවෙන් යද්දී ප්‍රසංග වේදිකාවේ නැතිවම බැරි ගායිකාවක්. අවුරුදු දාහතරකට පසුව ලංකාවට ආවට පස්සේ ඇත්තටම මොකද හිතුණෙ?

ඔව්... ඒක ඇත්ත. මම ලංකාවෙන් යන කාලේ ප්‍රසංග වේදිකාවේ බොහෝ ආරාධනා මට ලැබුණා. නමුත් අවුරුදු දාහතරකට පස්සේ ලංකාවට ආවත් මිනිස්සු මාව හඳුනාගත්තා. ඒක මට ලොකු සතුටක් වුණා. මම ආවට පස්සේ මුලින්ම ගියපු රෑපවාහිනී වැඩසටහනකට මම එන බව මුහුණ පොතේ මිල කරලා තිබුණා. ඒකට බොහෝ දෙනා මට සුබ පතලා තිබුණා. මම ගැන අහලා තිබුණා නමුත් ඒක පුද්ගලයෙක් පමණක් මට බැනලා වගේ අදහසක් පලකරලා තිබුණා. ඒ අදහසට විරුද්ධව බොහෝදෙනා ඔවුන්ගේ අදහස පලකරලා තිබුණා. මාව ආරක්ෂා කරගන්න බොහෝ අදහස ඒකේ පලකරලා තිබුණ. ඇත්තටම ඒකත් මටම පුදුමයක්. ඒ තරම් මේ රටේ මගේ ආදරණීය මිනිසුන් මට ආදරෙයි. තාමත් ඔවුන්ට මාව අමතක නැහැ. පාරේදී මම මාස්ක් එක දාලා තිබුණත් හඳුනාගෙන ඔයා ටීෂා නේද? කියලා ළඟට ඇවිත් කතා කරපු පිරිස වැඩියි. ඒක ලොකු සතුටක්. අවුරුදු දාහතරක් නොපෙනී ඉඳලත් ආයේ ආවහමත් මිනිස්සුන්ට මාව මතකේ පොඩ්ඩක් හරි තියෙනවා කියලා කියන්නේත් ඒක මගේ මොකක්දෝ වාසනාවක් වෙන්න ඇති.

ටීෂා... ගායිකාවක් වීම පුංචි කාලේ ඉඳන් තිබුණ හීනයක්ද?

පුංචි කාලේ ඉඳන් මම සින්දු කියන්න ආසයි. හැබැයි මට ගායිකාවක් වෙන හීනය ආවේ මට අවුරුදු පහළොවක් වගේ කාලයේදී තමයි. ඉස්සර කණ්ණාඩිය ළඟට ගිහින් තනියම මයික් එක වගේ බොරුවට අත තියාගෙන සින්දු කියපු කාලයක් තිබුණා. මම නුවර. තාත්තා මම ගායිකාවක් වෙනවට කැමති වුණේම නැහැ. හැබැයි පාසැල් අධ්‍යාපනය අවසන් කරලා තනියම තීරණයක් ගන්න පුළුවන් කියල හිතෙන කාලේදී තමයි මම සින්දු කියන්න පටන් ගත්තේ. හැබැයි ඒකටත් තාත්තා කැමති වුණේ නැහැ. මම කෙල්ලෙක් හදලා තියෙන්නේ ස්ටේජ්වල නටන්න නෙමෙයි කියලයි තාත්තා කිව්වේ. තාත්තාට හොරෙන් සින්දු කියන්න ආපු ගමනක් තමයි මේ.

අවුරුදු දාහතරකට කලින් ටීෂා ප්‍රසංග වේදිකාවේ වෙනසක් ඇති කරපු ගායිකාවක්. කොටට කොණ්ඩේ කපපු, ගීත ගායනා කරනා ගමන් නර්තනය කරන වෙනස් හැඩයක් තිබුණ ගායිකාවක්. ඒ කාලය ගැන ටිකක් මතක් කළොත්?

ඇත්ත. ඒ මතකය හරි සුන්දරයි. මම ඒ කාලේ ඇමෙරිකන් ගීත, ඒ ගීත රූප රචනා හරියට බලපු කෙනෙක්. ඒ නිසා ගායිකාවකට සින්දු කියන ගමන් නටන්න බැරි ඇයි කියලා මට හිතුණා... ඒ නිසා මට බැණුම් අහන්න හරි වෙනසක් කරන්න ඕනෑ වුණා. ඒ නිසා මම ගීත ගායනා කරද්දී තව ගැහැනු ළමයි දෙන්නෙක් එක්ක නටමින් මම සින්දු කිව්වා. ඒක වෙනසක් වුණා. රන්වන් මල් මාල පළඳා ගීතය ඉතා ජනප්‍රිය වුණා. වෙනමම සුන්දර කාලයක්. අදටත් මම ඒ කාලයට හරි ආදරෙයි.

 අද ගෙවන ජීවිතයත් එක්ක ඊළඟ බලාපොරොත්තුව මොකක්ද?

මම අවුරුදු දාහතරකට කලින් මේ රටේ යම්කිසි විදිහකින් කලාකාරියක් විදිහට නමක් හදාගත්තු කෙනෙක්. මට ඒ නම තව ටිකක් ඉදිරියට ගෙනියන්න ආසයි. ටීෂා කියන කෙනා ගායිකාවක් වුණේ කාගේවත් උදව්වෙන් නෙමෙයි. මම කවදාවත් කාගේවත් කකුලෙන් ඇදලා තව කෙනෙක් කපලා දාලා මේ තැනට ආවේ නැහැ. අද වගේ ඒ කාලේ රියැලිටි තරග නාලිකාවල තිබුණේ නැහැ. ඉස්සර නුවර ඉඳන් කොළඹ තනියම ඇවිත් නාලිකාවලට ගිහින් සී.ඩී. දීලා මහන්සිවෙලා ආපු ගමනක්. සමහර වෙලාවට සින්දුව රෙකෝඩ් කරන්න විතරක් අතේ සල්ලි තිබුණ කාලයක් තිබුණා. නුවර ඉඳන් කොළඹ එද්දී කෑවොත් වාහනයට පෙට්‍රල් ගහන්න සල්ලි මදිවෙන නිසා මම සමහර දවස්වල බඩගින්නේ කොළඹ හිටියා. මට ඒ කිසිම දෙයක් අමතක නැහැ. අද මට මම ගැන තිබෙන්නේ ආත්ම අභිමානයක්. අද ඇමෙරිකාවේ මොනතරම් සුඛෝපභෝගී ජීවිතයක් ගත කළත් මම ලංකාවේ ගතකරපු ඒ කාලය හොඳට මතකයි. මම ඒ කාලයට වගේම මගේ රටට මගේ රටේ මිනිස්සුන්ට හරි ආදරෙයි.

 දිශානි ජයමාලි

සේයාරූ - සුමුදු හේවාපතිරණ