2021 ඔක්තෝබර් 09 වන සෙනසුරාදා

වෙන කෙනෙක් එයාට ඉන්නවා කියද්දී මට හරියට දුක හිතුණා

 2021 ඔක්තෝබර් 09 වන සෙනසුරාදා, පෙ.ව. 10:01 111

 

නිළියක් වීම නිලූෂි පුංචි කාලේ දැකපු හීනයක්ද?
නැහැ. මම පොඩි කාලේ කවදාවත් නිළියක් වෙන්න හිතපු කෙනෙක් නෙමේ. මට හිතෙන විදියට මම නිළියක් වීම අහම්බෙන් සිදුවුණු දෙයක්. මම පුංචි කාලේ ඉඳන් ක්‍රීඩාවට දක්ෂ කෙනෙක්. පාසැලේදී වුණත් මම ඉතා දක්ෂ ක්‍රීඩිකාවක්. පාසැලේදී මමයි පොඩි අයියයි හැම වසරේදීම දක්ෂ ක්‍රීඩකයෝ වුණා. අපි සමස්ත ලංකා තරගවලින් බොහෝ ජයග්‍රහණ ලබපු දෙන්නෙක්. උස පැනීමේ ක්‍රීඩාවට මම හරි දක්ෂයි. මම ගමේ පාසැලට ගියේ. ඒ කාලේ වෙනත් පාසැල්වලින් පවා මේ ක්‍රීඩාවට දක්ෂකම නිසාම මට ඒ පාසැල්වලින් ආරාධනා ලැබුණා. නමුත් මම මගේ පාසැල දාලා ගියේ නැහැ. මම ඉගෙන ගත්තේ ලිහිනිගිරි කනිෂ්ඨ විද්‍යාලයේ. මගේ ගම හලාවතයි.

පාසැලේදී ක්‍රීඩාවට දක්ෂ වුණු නිලූෂි අධ්‍යාපන කටයුතු සමබරව කරගෙන ගියාද? 
ඇත්තම කිව්වොත් පාසැලේදී මුල් කාලේදී මම වැඩිපුරම යොමුවුණේ ක්‍රීඩාවටයි. ඒ නිසාම අධ්‍යාපනය යම් මට්ටමකින් මගෙන් අතහැරුණා. පොඩි කාලේ මම ඉගෙන ගන්න ලොකුවට ආසා කළේ නැහැ. මට තාම මතකයි ඒ කාලේ හය වසර හත වසර වගේ පන්තිවල ඉගෙන ගනිද්දී පන්තියේ ළමුන් තිහක් හිටියා නම් මම වාර විභාගවලින් පන්තියේ විසි හත, විසි අට වැනියා පවා වුණා. ක්‍රීඩාවත් එක්ක හිත ගියපු නිසා ඉගෙනගන්න, පාඩම් කරන්න කැමැත්තක් මට තිබුණේ නැහැ. මමයි පොඩි අයියයි හැමදාම උදේ පාන්දර ඉස්කෝලෙට ගිහින් පුහුණුවීම් කළා. පාසැල් අවසන් කරලා හවසටත් පුහුණුවීම් කළා. ඒ කාලේ හැමදාම ගෙදර රූ වෙලා තමයි ගියේ.

එහෙම ක්‍රීඩාවටම පාසැල් ජීවිතය නිලූෂි කැපකළත් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන්නටත් පුළුවන් වුණා. අධ්‍යාපනයේ මේ හැරවුම වුණේ කොතැනින්ද?
පාසැලේදී ක්‍රීඩාවටම හිත යොමුවෙච්චි මට ඉගෙන ගන්න ඕනේ කියලා හිතුණේ නවය වසරේ ඉඳිද්දියි. ඊටපස්සේ මම ක්‍රීඩාවට වගේම අධ්‍යාපනයටත් හිත යොමුකළා. පන්තියේ විසි අට වගේ වෙච්චි මට වසරින් වසර දහඅට, දොළහ, දහය වගේ වාර විභාගවලින් හොඳ ලකුණු ලබාගත්තා. අපේ පන්තියේ සාමාන්‍ය පෙළ විභාගයෙන් පස්දෙනයි සමත් වුණේ. ඒ පස්දෙනා අතර මාත් හිටියා.

ජීවිතේ පහුකාලයකදී Miss Sri Lanka තරග කරපු නිලූෂි පාසැලේදී වැඩිපුරම හිටියේ ක්‍රීඩාංගනයේ. පාසැල් කාලයේදී මුහුණ, පෙනුම ගැන එතරම් සැලකිල්ලක් දැක්වූයේ නැද්ද?
නැහැ. මම රූපය ගැන ඒ කාලේ සැලකිල්ලක් තිබුණේම නැහැ. මගේ අම්මා, තාත්තා දෙන්නම සුදුයි. ඒ නිසා මගේ හමේ පැහැය ඒ කාලේ ඉඳන් සුදුයි. හැබැයි කවදාවත් අව්වේ ඉඳලා මාව කළුවෙයි, කැත වෙයි කියලා මට හිතුනෙම නැහැ. පිට්ටනියට යන මට අව්වද වැස්සද කියලා ගණනක් තිබුණේම නැහැ. ඒ කාලේ අපි මාර කට්ටක් කෑවේ. අපිට ක්‍රීඩා කළේ සුරංගා මිස්. අදටත් ඒ මිස්ට මම කතා කරනවා. ඒ මිස් තාමත් අපිට හරි ආදරෙයි. මම ඒ කාලේ ක්‍රීඩා කටයුතු කළේ හරිම ආසාවෙන්. පුහුණුවීම් කළේ ඒ හැමදේම කළේ හිතේ කැමැත්තෙන්.

ක්‍රීඩාවට වගේම නර්තනයටත් නිලූෂි දක්ෂයි කියලයි ආරංචිය....?
ඔව්... මම දහය වසරේදී නර්තනය හදාරන්න පටන්ගත්තා. උඩරට නැටුම් තමයි ඉගෙන ගත්තේ. නර්තනය නිසාම මම පහුකාලේදී ක්‍රීඩා කටයුතු අතෑරියා. මම උසස් පෙළට නර්තනය කළා. ඒකට පුංචි කාලේ ඉඳන්ම තිබුණු ආසාවකුත් තිබුණා. මම චූටි කාලේදී ටී.වී. එකේ සිංදුවක් යද්දීත් මම නටනවා කියලා අම්මා කියනවා. මට තාම මතකයි සාලේ ටී.වී. එකේ සිංදුවක් යද්දි කාමරේට ගිහින් මම කාටත් හොරෙන් ඒකට නැටුවා. හැබැයි ක්‍රීඩාවත් එක්ක ඒ නර්තනය මගෙන් අතෑරුණා. ඒ නිසා උසස් පෙළට මම නර්තනය හැදෑරුවා. ඒ වගේම ක්‍රීඩා නතර කරන්න තවත් හේතුවක් තිබුණා. මගේ හොඳම යාළුවා මගෙත් එක්ක තරහවෙලා ප්‍රශ්නයක් වුණා. මුලින් අපි දෙන්නා උසස් පෙළට එකම ඉස්කෝලෙකට යන්නයි කතා වුණේ. මට තාම මතකයි අපි යන්න හිටපු ඒ ඉස්කෝලේ ක්‍රීඩා ගුරුතුමා ඒ පාසලට උසස් පෙළට එන්න කියලා මට කියලත් තිබුණේ. ක්‍රීඩාව නිසා මට ඒ ඉස්කෝලෙට යන්න පුළුවන්කමක් තිබුණා. නමුත් මම ඒ පාසැලට නොගිහින් මාදම්පේ සේනානායක විදුහලට ඇතුළත් වී උසස් පෙළ හැදෑරුවා. උසස් පෙළ සමත් වී මම සෞන්දර්ය විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණා.

නිලූෂිගේ පවුලේ විස්තරත් කියමු...?
මගේ පවුලේ ඉන්නේ අම්මයි, තාත්තයි, අයියලා දෙන්නයි, අක්කයි, මමයි. අපි ඉන්නේ හලාවත. ගෙදරදී මම එහෙම දඟ ළමයෙක් නෙමේ. පාසැලේදී වුණත් ක්‍රීඩා කළත් මං ඔය දඟවැඩ කළේ නැහැ. චූටි අයියා මට පොඩි කාලේ බයයි. ඒ කාලේ මම එයාව බයකරගෙන තියාගත්තා. හැබැයි දැන්නම් මම අයියට බයයි. මම දහය වසරේ ඉඳිද්දී මගේ අම්මා විදෙස්ගත වෙලයි හිටියේ. ඒ කාලේ මම වැඩිපුරම හිටියෙ අපේ ගෙවල් ළඟ හිටපු සුලීපා කියන අක්කගේ ගෙදරයි. එයාට චූටි බබෙක් හිටියා. දැන්නම් එයා සාමාන්‍ය පෙළ කරනවා. ඒ කාලේ ඒ බබාට කවන්නෙත් මමයි, එයා මට ගොඩක් ආදරෙයි.

විශ්වවිද්‍යාල ජීවිතේ කොහොමද?
හරි හොඳයි. උසස්පෙළ කරද්දී පාසැලේ ක්‍රීඩා භාර ගුරුතුමා දැක්කත් මම හැංගුණා. මාව දැකපු ගමන් මට ක්‍රීඩාවලට කතා කළා. ඒ නිසා මං ක්‍රීඩාවලට ඒ පාසැලේදී සහභාගි වුණේ නැහැ. මට තාම මතකයි එක වතාවක් අපේ අම්මගේ දුරකථන අංකය පවා ඒ ගුරුතුමා ඉල්ලුවා. හැබැයි මම ඒ වෙලාවෙත් කිව්වේ මට නර්තනය කරන්න ඕනේ* කියලා මම ක්‍රීඩා කිරීම නතර කරනවා කියලා තීරණය කරගෙනයි හිටියේ. නර්තනයේදී මට හොඳ ගුරුතුමියක් මුණගැහුණා. හැබැයි අද වෙද්දී ඔලිම්පික් තරග එහෙම දකිද්දී &අපරාදේ.... ක්‍රීඩාව අතරමඟ නතර කළේ* කියලා හිතෙන වෙලාවලුත් තියෙනවා. මම ඉගෙන ගත්තේ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ. රටේ විවිධ පළාත්වල යාළුවෝ මුණගැහුණා. අදටත් ඒ යාළුවෝ මට කතා කරනවා. ඒ කාලේ හරි සුන්දරයි. නිරෑපණ ක්ෂේත්‍රය තෝරාගත්ත නිසා සමහර දවස්වලදී දේශනා මට මඟහැරුණු දවස් තිබුණා. ඒ වෙද්දී මගේ යාළුවෝ මට ගොඩක් උදව් කළා. ඒ අයත් එක්ක තිබුණ ඒ බැඳීම තාමත් එහෙමමයි.

සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ඉගෙනගත්තු නිලූෂි නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වුණේ කොහොමද?
2015 අවුරුද්දේ දෙරණ &Miss Sri Lanka* තරගයට මම ඉදිරිපත් වුණා. ඒ තරගයේදී මම අවසන් දොළොස් දෙනා අතරට තේරුණා. ඒ වගේම &සුහදම නිරෑපිකාවට* හිමි සම්මානය ලැබුණා. 2016 අවුරුද්දේ Siyatha Miss Worls තරගයට ඉදිරිපත් වෙලා අවසන් එකොලොස් දෙනා අතරට වගේම හොඳම සිනහව හිමි නිරූපිකාවට හිමි සම්මානය දිනාගත්තා. 2016 අවුරුද්දේ මම කොරියාවේ තිබුණු Super Talant තරගයට ඉදිරිපත් වී රටවල් පහළොස් දෙනා අතරට තේරුණා. ඒ ගමනට මම බොහෝ දුෂ්කරතා මැද තමයි සහභාගි වුණේ. 2018 අවුරුද්දේ මම Siyatha Miss Worls තරගයෙන් තුන්වැනියා වුණා

නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වීමේදී ගෙදරින් ලැබුණ ප්‍රතිචාර මොනවාද?
ඇත්තටම මගේ ලොකු අයියා නම් කැමැති වුණේම නැහැ. මම නිරූපණයට ගොඩක් ආසයි. 2010 අවුරුද්දේ ස්වාධීන රූපවාහිනියේ අවුරුදු කුමරිය තරගයෙන් මම තුන්වැනි ස්ථානය දිනාගත්තා. ඒ තරගයට මාව එක්කගෙන ගියේ මගේ ලොකු අයියයි. නමුත් පසුකාලයේදී මා නිරෑපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙනවාට ලොකු කැමැත්තක් තිබුණේ නැහැ. නමුත් දැන්නම් එහෙම ගැටලුවක් නැහැ.

රංගනය හදාරලා තියෙනවාද?
මුලින්ම මම රඟපෑවේ ඉලන්දාරි ටෙලිනාට්‍යයෙයි. ඒකේ රඟපාද්දී මම රංගනයට සම්බන්ධ කිසිම දෙයක් දැනගෙන හිටියේ නැහැ. මුලින්ම කැමරාවට මුහුණ දේදී බයක් තිබුණා. ඊටපස්සේ මම පසුකාලීනව අනෝජා වීරසිංහ මහත්මියගේ &අභින* රංගන පාසැලට ගොස් බොහෝ දේවල් ඉගෙන ගත්තා. තව මට රංගනය ගැන බොහෝ දේවල් ඉගෙනගන්න තියෙනවා. තාමත් මම ඉගෙන ගෙන තියෙන්නේ බොහෝම පුංචි දේවල් ටිකක් විතරයි. තාමත් මම මේ ක්ෂේත්‍රයට ආධුනිකයි.

ප්‍රථම ප්‍රේමය ගැනත් කතා කරමු...?
මට පාසැල් ප්‍රේමයක් තිබුණේ නැහැ. හැබැයි උසස් පෙළ අවසන් කාලයේදී කෙනෙක් මගෙන් ඇහුවත් මට එයාට කැමැත්තක් තිබුණේ නැහැ. ටික කාලයක් ගියාට පස්සේ ඒ කෙනාට වෙන ගැහැනු ළමයෙක් ඉන්නවා කියලා මට දැනගන්න ලැබුණා. ඒ ආරංචියෙන් මගේ හිතට ලොකු දුකක් ඇතිවුණා. ඒකේදී තමයි මට හිතුණේ මම එයා ගැන හිතලා තියෙනවා නේද කියලා. මුලින්ම ආදරේ කියලා මට හිතුණේ ඒ හැඟීම වෙන්න ඇති. ඉස්සර මම හරි අහිංසක චරිතයක්. ළඟින් කවුරු හරි ගියත් මම මූණ බලන්නේ නැහැ. හරි නිහඬ, පැත්තකට වෙලා පාඩුවේ හිටපු චරිතයක්. පහුකාලයේදී මම ආදරේ කරල තියෙනවා. නමුත් අද මම පෙම්වතියක් නෙවේ. මේ ආදරේ කරන්න කාලයක් නෙමෙයි කියලයි මට හිතෙන්නේ. ඒ නිසා මම මගේ පාඩුවේ වැඩ ටික කරගෙන කාලයාට ඉඩදීලා බලාගෙන ඉන්නවා.

නුදුරේදී නර්තන ගුරුවරියක් වෙන්න හීන දකිනව නේද?
ඔව්... නර්තන ගුරුවරියක් වෙන්න ආසයි. කොහොමත් විශ්වවිද්‍යාලයට ඒමට පෙර වසර දෙකක්ම මීගමුව ජාත්‍යන්තර පාසලක නර්තන ගුරුවරියක් ලෙස සේවය කළා. ඒ පාසැලෙන් ඉවත් වෙද්දීත් පාසලෙන් මිස් ගියාට කමක් නැහැ. ආපහු මේ පාසලටම එන්න කියලා කිව්වා. ගුරු වෘත්තිය කියන්නේ මම ආසම ආසා වෘත්තියක්.

 

                    සේයාරූ I සුමුදු හේවාපතිරණ