2021 ඔක්තෝබර් 09 වන සෙනසුරාදා

අලි බලන්න ගිහින් අවතාරයක් හින්දා තොවිලෙකුත් නැටුවා

 2021 ඔක්තෝබර් 09 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 59

රුවන්.... මොනවද මේ දවස්වල අලුත් තොරතුරු?

මේ දවස්වල නාඩගම්කාරයෝ, ටීචර් අම්මා නාට්‍ය දෙකේ වැඩ කරන ගමන් අලුත් නාට්‍යයකටත් අතගහලා තියෙනවා. දුංකොළ මහත්තයා කියලා. ඔය දේවල් තමයි මේ දවස්වල අලුත් විස්තර.

රුවන් ඔබ ඇවිදින්න කැමති කෙනෙක්ද?

ඔව්. මම Travel කියන දෙයට කුඩා කාලයේ ඉඳන් කැමති කෙනෙක්. නමුත් පාසල් යන කාලයේදී අපි Travel එකක් කළොත් අපිට සීමාවන් තියෙනවා. හැබැයි දැන්නම් එහෙම එකක් නෑ. මට නිදහසේ ඉන්න වෙලාවක් ලැබුණොත් මම තනියම හරි කොහේ හරි යනවා.

ඔබ විනෝදාංශයක් විදිහටද Travel කරන්නේ?

ඇත්තටම ඔව්. මම විනෝදාංශයක් විදිහටත් ඇවිදින එක කරනවා. ඒ වගේම මම රංගන කටයුතු සඳහා ගියත් මට විවේක කාලයක් ලැබුණත් මම ඒ රූගත කිරීම් කරන ස්ථානය අවට තියෙන සුන්දර තැන් බලන්න යනවා. මේ දවස්වල මම රූගත කිරීමක් සඳහා කොළඹින් පිට ඇවිල්ලා ඉන්නේ. ඒ රූගත කිරීම් කරන්නේ ලොකු කැලෑවක් මැද්දේ වැවක් එක්ක තියෙන ප්‍රදේශයක. ඒ ස්ථානයේ තියෙනවා මැටි ගහපු, පිදුරු අතුරපු කඩයක්. ඒ කඩය ළඟ රෑගත කිරීම් කරන වෙලාවේදී මට හිතුණා එතැන රැයක් ඉන්න ඕනේ කියලා. ඊට පස්සේ මම අදාළ අයගෙන් අවසර අරගෙන එක රැයක් මම එතැන හිටියා. ඒ වගේ අලුත් අත්දැකීම් ලබන්න මම මාරම ආසයි.

රුවන් ඔබ කරපු Travel වලින් ඔබ වඩාත් ආසා කරන ගමනක් තියෙනවාද?

එහෙම එක තැනක් කියලා මට කියන්න අමාරුයි. මම ගියපු තැන් එකකට එකක් වෙනස් ඒ නිසා මම හැම Travel එකකටම ආසයි.

Travel එකක් කරන කොට ඔබ වැඩිපුරම කැමැති කාත් සමඟ ඇවිදින්න යන්නද?

මෙහෙමයි. අපි Travel එකක් කරනවා නම් ඒ දෙයට කැමැති කට්ටිය ඉන්නම ඕනේ. හැබැයි එහෙම කියලා මම ආසා නෑ ගොඩාක් කට්ටිය එක්ක Travel කරන්න. උපරිම හතර පස්දෙනෙක් එක්ක වගේ තමයි. එහෙමත් නැත්නම් තනියම හරි මම Travel කරනවා.

ඔබ ලංකාවේ ගොඩක් තැන්වල ඇවිදපු කෙනෙක්. ඒ ඇවිදපු තැන්වලදී ඔබට සිදුවුණු අමතක නොවන සිදුවීම් එහෙම ඇති නේද?

මම මගේ යහළුවෝ කිහිප දෙනෙක් සමඟ මීට අවුරුදු කිහිපයකට කලින් ගියා මිහින්තලේ. ඒක විශේෂ තැනක්. එදා අපි ඒ ගමන ගියේ අපේ රංගන ක්ෂේත්‍රයේ යහළුවෝ කිහිප දෙනෙක් සමඟ. සංගීත් ප්‍රභූලාගේ ගෙදර තමයි අපි ගියේ. සංගීත්ලාගේ අම්මා අපිට රහට කන්න බොන්නත් හදලා දුන්නා. අපි එහේ ගිහිල්ලා මහ කනදරාව වැවේ නාලා එහෙම ඉවරවෙලා මම කිව්වා මට අලි බලන්න යන්න ඕනේ කියලා. ඊටපස්සේ අපි කට්ටියම ලොකු පොරවල් වගේ රූ 8ට විතර කැලෑවට ගියා. ටික දුරක් යනකොට අපි කට්ටිය දෙන්නා දෙන්නා අත් අල්ලගෙන. සද්දයක් නැතිව හරියට කියනවා නම් හුස්ම ගන්න සද්දෙත් ඇහෙන්නේ නැති තරමට ශාන්තව කැලය ඇතුළට යනවා. මම හිතුවේ මම විතරයි එහෙම කියලා. බලද්දී ඔක්කොම එහෙමයි. අපි කැලය ඇතුළට යනකොට මස් හරි මාළු හරි බැදපු දෙයක් අරගෙන ගියා. එක තැන අපි නතර වෙලා ගිනි ගොඩක් ගැහුවා. මොකද අලි එනවානේ. අලින්ගෙන් ආරක්ෂා වෙන්නත් එපැයි. කොහොම හරි ගිනි ගොඩ ගැහුවා. හුළං වැඩි නිසා වටේටම ඇවිලෙන්න ගත්තා. ඒ ගින්න තව වෙලා තිබුණා නම් මිහින්තලයම ගිනි ගන්නවා. ඊට පස්සේ ඒ ගින්න නිවලා අපි ඒ ළඟ තිබුණා ගලක් කොකාගල කියලා. අපි එතැනට ගිහින් කාලා බීලා විනෝද වෙලා පාන්දර 2ට විතර අපේ නඩෙන් දෙන්නෙකුට කිසියම් දෙයක් සිදුවුණා. ඒ කියන්නේ හොල්මන්වලට බය වුණාම වෙන්නේ. අන්න ඒ වගේ ආත්මයක් ආරෑඪ වුණා වගේ දෙයක්. අපිට ගහන්න එනවා. එකපාරට කෑ ගහනවා. මාරම හයියක් ඒ දෙන්නට ඒ වෙලාවේ ආවේ. ඊට පස්සේ අපි කට්ටිය එකතු වෙලා ඒ දෙන්නව අපි ළඟ තිබුණු කමිස වලින් හිර කලා අත් කකුල් බැන්දා. ඒ බැන්දට පස්සෙත් එක එක දේවල් කියවනවා. ආත්ම ගැන වගේ දේවල් අපිට හිතා ගන්නවත් බෑ. මොකද අපිත් එක්ක එකට ගිහිල්ලා ඔය වගේ දෙයක් වුණාම. අපි ළඟ තිබුණ මාළු බැදපුවා හෙම කැලයට විසි කළා. අපි හිතුවේ ඒවා නිසාද කියලා. කොහොම හරි එක දෙක වෙද්දි අපිට ඉන්න බෑ මාරම සීතලයි. අපි ළඟ තිබුණ ඇඳුම්වලින් අර දෙන්නව ගැට ගහලානේ තිබුණේ. අපිත් එක්ක ගියපු කෙනෙක් ඉන්නවා අලි එනවාද කියලා බලාගෙන ටෝච් එකක් ගහගෙන. ඒ ගමනෙදි එයාගේ රාජකාරිය වුණේ අලි එනවාද කියලා බලන එක. එයා දැන් ලංකාවේ ප්‍රසිද්ධ නළුවෙක්. ඊට පස්සේ මම සහ සංගීත් අර ගැටගහපු දෙන්නා ළඟ ඉඳන් අපි දන්න විදිහට කරණීය මෙත්ත සූත්‍රය, සමන් දෙයියන්ට වඳින ගාථාව, ඉතිපිසෝ ගාථාව කිය කියා එළිවෙනකම් බයේ ගල උඩට වෙලා හිටියා. ඊට පස්සේ කොහොම හරි ඒ දෙන්නාට බලි තොවිල් පවා කරලා තමයි සාමාන්‍ය තත්ත්වයට ගත්තේ. කොහොම හරි ගමේ මිනිස්සු අපිට සෑහෙන්න දොස් කිව්වා ඇයි ඔයාලා ඔය වගේ තැන්වලට රෑ වෙලා ගියේ කියලා. අපි ලොකුවට කාටවත් නොකිය හොරෙන්නේ යන්නේ. ඔන්න ඔය සිදුවීම නම් මට කවදාවත් අමතක වෙන්නේ නැති දෙයක් තමයි.

ඔබ Travel කියන දේ මොන විදිහටද දකින්නේ?

Travel කියන්නේ මනුස්සයෙකුට ජීවිතේ ලැබෙන හොඳ අත්දැකීමක්. මම එහෙම කියන්නේ අපි මනුස්සයෙක් වෙලා ඉපදුනාම අපි දන්නේ නෑනේ ලබන ආත්මයෙත් අපි මනුස්සයෙක් වෙලා ඉපදෙයිද කියලා. පරිසරයත් එක්ක ජීවත් වෙන්න පුළුවන්නම් ඒ මනුස්සයාව ස්වභාදහම විසින්ම ආරක්ෂා කරනවා. හැබැයි ඒ ආදරය අවංක වෙන්න ඕනේ. Travel කරන කෙනෙක් නම් අනිවාර්යයෙන් හරි විදිහට ඒ පුද්ගලයා ස්වභාදහමට ආදරය කරන කෙනෙක් වෙනවාමයි කියලා මට පෙනෙන්නේ.

රුවන් ඔබ කවදාවත් නොගියපු නමුත් යන්න ආසාවෙන් ඉන්න තැනක් තියෙනවාද?

මම කවදාවත් නොගියපු තැනක් කියනවාට වඩා මම කැමතියි මෙහෙම කියන්න. මම හරි ආසයි කුඹුක් ගහක් උඩ තියෙන අට්ටාලයක රුයක් ගත කරන ගමන් අලි බලන්න. මට ඒ අවස්ථාව ළඟදීම විඳගන්න ලැබෙනවා. ඒ අවස්ථාව ලැබෙනකම් බලාගෙන ඉන්නවා.

ඔබ වගේ Travel කරන අයට වගේම කරන්න ඉන්න අයට මොන වගේ පණිවුඩයක්ද ඔබ දෙන්නේ?

Travel කරන අයට වගේම ආසාවෙන් ඉන්න අයට මට කියන්න තියෙන්නේ අපි අරගෙන යන ටොපි කොළයක්වත් පරිසරයට දාන්න එපා. අපේ ජීවිතයට ආදරය කරනවා නම් සත්තුන්ව ගහකොළ, ජලය විනාශ කරන්න එපා. අපිට හොඳ පාඩමකුත් කියලා දුන්නා මේ රටේ පවතින කොවිඩ් රෝගයෙන්. කොවිඩ් රෝගයත් එක්ක අපිට හොඳට දැනුණා ඔක්සිජන්වල තියෙන වටිනාකම. ඒ නිසා මම කියන්නේ ගසක අත්තක්වත් කඩන්න එපා. පරිසරයට ආදරය කරන ගමන් Travel කරන්න කියලයි මම සියලු දෙනාගෙන් ඉල්ලන්නේ.