2021 ඔක්තෝබර් 09 වන සෙනසුරාදා

ඒ නීරෝයි මේ නීරෝයි නැඟලම යන Game එකේ...

 2021 ඔක්තෝබර් 09 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 64

ජයවේවා..! මචංලා මචීලා. ඔන්න අරගෙන ආවා සුපිරියක්. Gaming Y Trend අපි කිහිපයක්ම අරගෙන ආවා මතක ඇති නේද? Gaming industry එක ගැන Gaming streaming ගැන ලෝක ප්‍රසිද්ධ Games ගැන අපි කාලයක් තිස්සේ චැට දැම්මා ෆොන්තෝලා එක්ක. ලෝකෙ වටේම gaming ගැන කතා කරපු අපිට මේ ට්‍රෙන්ඩ් එක මගහැරලා යන්න බෑ හරිය. මේක වඳින්නම ඕන දේවාලයක් යාළු.

පහුගිය සති දෙකේ ලංකාව ඇතුළේ Trending ගියේ ලංකාවෙම හදපු ගේම් එකක්. ඔයාලට කියන්න යාළු, Facebook එකේ වගේම YouTube එකේ ඉන්න Stream කරන ලංකාවේ බොයිස්ලා ගර්ල්ස්ලා මේකට පිස්සුවක් වුණා. එහෙනම් නොදන්න අයට දැනගන්න, දන්න අයට තව චුට්ටක් වැඩිපුර දැනගන්න, ඔන්න අද අපි අරගෙන එනවා ලංකාවේ හදපු Nero game එක ගැන කතාව. විසිල් පාරක් ඕනේ හරිය. ඕයේ...

මේ ගේම් එක හැදුවේ ලංකාවේ IT පැත්තෙ වැඩ්ඩො සෙට් එකක්. Software ලෝකය ජයගන්න උත්සාහ කරන මේ සමාගමේ නම Arimac Lanka. වැඩේ කොච්චර සුපිරිද කියලා කියන්නේ ඉස්සර වෙලා මේ සමාගම ගැන වචනයක් කියන්න ඕනෑ සුදෝ. අඩේ මේක ඇඩ් එකක් නම් නෙවෙයි හොඳේ. මේ සමාගම අවුරුදු දහයක් විතර පරණ සමාගමක් හරිය. ලංකාවේ සෙටාර් එකක් තමයි ඉන්නේ. එයාලා එකෙන්ම වැඩ්ඩෝ. Gaming කියන්නේ මේ ගොල්ලන්ගේ එක පාත් එකක් විතරයි මචෝ.
ඔන්න පොඩ්ඩක් කල්පනා කරන්නකෝ. මීට කාලෙකට කලින් 2016 දී ලංකාවේ ලොකු 3D Game එකක් හදන්න පුළුවන්? එහෙම හදලා මිනිස්සු අතරට යවන්න පුළුවන්කමක් තිබ්බද? නෑ මචෝ නෑ. ඒත් කාලේ තමා මෙයාලා පළවෙනි Game එක හදන්නේ. ඒකේ නම &කංඡායුධ කංඡායුධ - The Legency of Giants* ඒක නන්දිමිත්‍ර යෝධයාගේ චරිතය මුල් කරගෙන නිර්මාණය කරලා තිබුණේ. ඒ ගේම් එක සම්පූර්ණයෙන් නොමිලේ දුන්නේ මචෝ.
ඉතින් ඒ වුණාට ඒ කාලෙදි Gaming live streaming කියන එක popular වෙලා තිබුණේ නෑ ලංකාවේ. ඒ වගේම අපේ රටේ ගේමින් කල්චර් එකත් මෙච්චර develop වෙලා තිබුණෙත් නෑ. ඒ හැමදේම සිද්ධ වුණේ පහුගිය අවුරුදු දෙක තුන ඇතුළේ. ඒක අපි කාලෙකට කලින් පැහැදිලි කලානේ සුදෝ. කොහොම හරි පහුගිය සැප්තැම්බර් 26 වැනිදා Nero game එක මෙයාල Release කරනකොට මුළු රටම gamin පැත්තෙන් සෑහෙන්න ඉස්සරහට ඇවිල්ලා තිබුණේ. අන්න ඒ නිසාම තමයි පහුගිය සති දෙක ඇතුළේ මේක පට්ට පිස්සුවක් වුණේ. හරිද? පැහැදිලිද? කෝ එහෙනම් අත උස්සන්න.

සොරි වේවා! පූර්විකාව දික් ඇදුනද කොහෙද. දැන් අපි නීරෝ ගේම් එක ගැන කතා කරමු මචං. නීරෝ කිව්ව ගමන්ම ඔයාලගේ ඔළුවට එන චරිතයක් ඉන්නවා. ඔව්.. ඔව්.. එයා තමා. ලංකාවේ බිහිවුණු විශිෂ්ටතම ස්නයිපර් වෙඩික්කරුවා නීරෝ. මේ Game එක නිර්මාණය වන්නේ SL Army එකේ හිටපු ලෝකය පිළිගත්ත ඒ අති විශිෂ්ට ස්නයිපර්වරයාගේ චරිතය පාදක කරගෙන තමා. හෝව්.. හෝව්.. පටලගන්න එපා මේ සැබෑ නීරෝගේ ජීවිත කතාව නම් නෙවෙයි සුන්දරා. මේක ඒ චරිතය පාදක කරගෙන ගොඩනඟපු වෙනම ස්ටෝරි ලයින් එකක් තියන Game එකක්.

සම්පූර්ණ කතාව නම් කියන එක හරි නෑ. ඒත් සරලව කිව්වොත් මෙහෙමයි සුදෝ. Game එකේ ස්ටෝරි ලයින් එක ගොඩනැගෙන්නේ යුද්ධය අතරතුරදී තමන්ගේ සහෝදර සොල්දාදුවාගේ මරණයේ පලිය ගන්න උත්සාහ කරන සොල්දාදුවෙක්ගේ ජීවිත කතාවක් වටා. 90 දශකයේ ඉඳලා යුද්ධයේ අවසන් භාගය දක්වා කාලය මේ කතාවට ගලාගෙන යනවා. Story line එක නම් පට්ට. සිංහල, දමිළ, ඉංග්‍රීසි භාෂා තුනම මේකේදී භාවිත වෙනවා. හඬකැවීම්වලට බිමල් ජයකොඩි, කුමාර තිරිමාදුර වගේ ලංකාවේ ප්‍රකට කලා ශිල්පීනුත් එකතුවෙලා තියෙනවා හරිය. Quality ෆොන්තෝ එකෙන්ම මේක කොලිටියක්. සම්පූර්ණ game එක ගොඩනඟන්න අවුරුදු හතරක් විතර ගත වුණා කියලා තමයි මෙයාලා කියන්නේ.

Gaming භාෂාවෙන් මේක හැඳින්නුවොත් මෙහෙමයි කියන්න වෙන්නේ හරිය. Nero Game එක Single-player stealth action game එකක්. ඒ වගේම මේක Unreal Engine මත නිර්මාණය වූවක්. ග්‍රීක් වගේද? සොරි වෙන්න ඕනෑ හරිය. තාක්ෂණික කාරණා මොනවා වුණත් වැදගත්ම දේ තමා මේ ගේම් එක 100෴ක් ශ්‍රී ලාංකික නිර්මාණකරුවන් අතින් නිර්මාණය වීම. සාමාන්‍ය ගේම් එකක් ගහනකොට අපි බලන දේවල් ටිකක් තියෙනවානේ. ඔය ග්‍රුෆික්ස්, ඇනිමේෂන්ස්, Story line වගේ දේවල්. ඒව එකෙන්ම අවුලක් නෑ. ලංකාවෙ හැදුවට ජාත්‍යන්තර ප්‍රමිතීන් තියෙනවා. අඩුපාඩු නැතිව නෙවෙයි. ඉස්සරහට එන අප්ඩේට්වලදී ඒවා හැදෙයි. අමතක කරන්න එපා නීරෝ කියන්නේ ලොකු ගමනක පළවෙනි පියවර.

මේක Trend වෙච්ච විදිය ගැන කතා කරනවා නම් ඒකත් වෙනම කතාවක්. ලංකාවේ මේ වෙද්දි හැදිලා තියෙන Gaming live streaming culture එක පිළිබඳ අපි මීට කලින් කතා කළා දවසක. සුදාලට කියන්න දවසින් දවස ලංකාවේ streamers ලා අතර පුදුමාකාර තරගයක් නිර්මාණය වෙනවා. අලුතින්ම එන ගේම් එක මුලින්ම ගහන්න. තමන් ගහන ගේම් එක හොඳටම ගහන්න. එතකොට අර ඒක බාර් තරු ගන්න. වීවස්ලා වැඩි කරගන්න. ඒක වෙනම සීන් එකක්. ඉතින් මේ තත්ත්වෙ නිසාම Nero Game එක එන්න කලින් ඉඳලම ලංකාවේ Streamers ලා ගොඩදෙනෙක් Game එක ගැන ලොකු උනන්දුවකින් හිටියේ. ඉතින් ගේම් එක ආවා විතරයි ලංකාවේ streamers ලගෙන් බාගයක් විතර මේක ගැහුවා. තරගෙට ගැහුවේ. සමහරු එක දිගට පැය තුන හතර ගැහුවා. ඔය සමහර Pro කියලා හිතන්නා හිතන් ඉන්න අය නම් අනම් මනම් කියලා තිබුණා ගේම් එකට. ඒ වුණාට ගොඩක් දෙනෙක් සිරාවට මේක ගැහුවේ මාර Love එකකින්. මාර භක්තියකින් මචෝ. ඒ නිසාම එයාලා මේ මේ වැඩ අගය කළා. සමහර Game Play බලන්න ගේම් එකේ නිර්මාපකයන් පවා ඇවිල්ල හිටියා.

ඉතින් කොහොම හරි දැනට දැනගන්න තියෙන විදියට. මේ වෙද්දී PC game එකක් විදියට විතරක් තියෙන නීරෝ ඉස්සරහට Mobile game එකක් විදියටත් එනවා. ඒ වගේම ඊළඟ අවුරුදු තුන ඇතුළත දිගටම නීරෝ අප්ඩේට් කරන්න නිෂ්පාදන සමාගම බලාපොරොත්තු වෙනවලු. ඒ විතරක් නෙවෙයි ආරංචි විදිහට Multiplayer, කොන්සෝල් වගේ දේවලුත් නීරෝ එකට එකතු වෙයි. එතකොට Nero comic book එහෙමත් එන්න තියෙනවා කියලා කියනවා. ඒ මේ යන විදිහට කියන්නේ නීරෝ ලංකාවේ Gaming industry එකේ දැවැන්තම පරිවර්තනය වෙයි. ඔන්න ඒක අපේ අනාවැකියක් මචෝ. තව චූටි සීන් එකක් තියෙනවා දැනට gameplay එක ඉවර වෙන තැන දිහා පොඩ්ඩක් බැලුවොත් සුදාලාට තේරෙයි මෙහෙම දෙයක්. Nero II පිළිබදවත් බලාපොරොත්තු අපිට තියන්න පුළුවන් කියලා හරිය.

ආ අමතක වුණා කියන්න. නිෂ්පාදන සමාගම කියලා තිබුණා මේ Game එකෙන් ලබන ආදායමෙන් යම් කොටසක් රණවිරු පවුල්වල සුබසාධනය වෙනුවෙන් යොදවනවා කියලා. ඒවා නම් හොඳ වැඩ රෙස්පට් ආ... යුද්ධය කියන්නේ නරක දෙයක් බව ඇත්ත. ඒ සුන්දරා යුද සාහිත්‍යය කියන්නේ බොහොම රසවත් දෙයක්. යුද්ධය පිළිබඳ සිනමාව යුද්ධය පිළිබඳ නිර්මාණය වන මේ වගේ Game නරක දෙයක් කියලා අපිට කියන්න බෑ. විවේචන තියෙන්න පුළුවන් එකෙන්ම. කවුරුත් යුද්දෙට කැමති නෑ. ඒත් ලෝකෙ හැමදාමත් යුද්ධ තිබුණා. අනාගතයටත් තියේවි. ඒ නිසා යුද්ධයත් එක්ක නිර්මාණය වන කලාව සාහිත්‍යය රසාස්වාදය කරන්න තහනමක් කාටවත් පනවන්න බෑ. ඒක Gaming industry එකටත් අදාළයි මචෝ.

අවසානෙදි කියන්න තියෙන්නෙ මෙච්චරයි. ලෝකෙ වේගයෙන් දියුණු වෙනවා. අපිටත් මේ තර‍ගෙට එකතු වෙන්නම වෙනවා. Gaming කියන්නේ ලෝකෙ ඩොලර් බිලියන ගණනින් උපයන දැවැන්ත ව්‍යාපාරයක්. ඒක මහ වනාන්තරයක් වගේ. Nero කියන්නේ ඒ මහා වනන්තරේ අපි රෝපණය කරපු පුංචි පැලයකට. අපි බලන් ඉමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. සමහරවිට රටට ඩොලර් ගේන අලුත්ම කර්මාන්තය මේක වෙන්නත් බැරි නෑ. මොකද දැන් අපි හොඳටම දන්නවා අපි ළඟ වැඩ්ඩො ඉන්නවා. එහෙනම් මේ ආදරය එයාලට.