2021 අගෝස්තු 14 වන සෙනසුරාදා

නහය කෙළින් නැත්තම් කසාදය හබක්

 2021 අගෝස්තු 14 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 300

බියුටි කියන්නේ අමුතුවෙන් ගලපන්න ඕනෑ Trend එකක් නෙවෙයි මචෝ. ලෝකෙ මිනිස්සු කවදත් තමන්ගේ ශරීර අලංකරණය ගැන ටිකක් වැඩිය හිතුවානේ සුන්දරා. ඔයාලා අපි ඔක්කොම එහෙමයි ඉතින්. තොල් සායම් රෝස මුහුණ ලෝකයට අලුත් දෙයකුත් නෙවෙයි. ඒ වුණත් අපි සුදාලට දෙන්න යන්නේ Beauty ගැන Trend එකක්. ඒ වගේ මේක Plastic surgery ගැන කතාවක්. ඇත්තටම සීන් එක ලංකාවේ කතාවට වඩා කොරියාව ජපානය චීනය වගේ රටවල් ප්‍රමුඛ කර ගත්තු කතාවක්. Beauty ඛේදවාචකය වගේ නමක් වුණත් මේකට දාන්න පුළුවන් මංචෝ.

කාන්තාවෝ තමන්ගේ රූපය ගැන වදවීම, රූපය හැඩ කර ගැනීමට උත්සාහ කිරීම වගේ දේවල් හරිම සාමාන්‍ය දේවල්. ඇත්තටම ඒවා අල්ලගෙන නටන්න ඕනැ නෑ. ඒත් මේ සීන් එක ඊට වඩා අමුතුයි. අමුතුයි කියන්නේ මචෝ උමතුයි. නිකම් හිතන්න රටක කාන්තාවන් බහුතරයක් තමන්ගේ නහය කැතයි. ලස්සන වෙන්න ඕනෑ නම් නහය වෙනස් කර ගන්න ඕනෑ කියලා හිතන්න පටන් ගත්තොත් කොහොමද? කොරියාවේ තරුණියෝ එහෙම කරනවා. අපි දන්නවානේ මචෝ කොරියන් අයගේ මුහුණු රවුම්. නහය බෙරිවෙලා වගේ තියෙන්නේ කියලා. ඉතින් ඒ ගැන දැන් එයාලා මාර විදිහට වද වෙන්න පටන් අරන්. කසාදයක් කරගන්න ගියත් නහය කොහොමද කියලා බලන සීන් එකක් කොරියාවේ වංශවත් පවුල්වල වගේම මධ්‍යම පාන්තික පවුල් අතරත් තියෙනවාලු. 

මේ සීන් එක එක්කම නහය වෙනස් කර ගැනීමේ ප්ලාස්ටික් සර්ජරි කොරියාවේ මහා පරිමාණයෙන් කෙරෙනවා. නහය විතරක් නෙවෙයි මුහුණේ ඇද කුද ඇරලා වෙනස් වෙන්න ප්ලාස්ටික් සැත්කම් කර ගැනීම චීනය ජපානය කොරියාව වගේ රටවල පට්ට Trend එකක් මේ වෙද්දී. සමහර තරුණියෝ දුක් මහන්සියෙන් රස්සා කරන ගමන් සල්ලි ඉතුරු කරලා ඔය ප්ලාස්ටික් සැත්කම් කර ගන්නවා. ඇත්තටම මෙහෙම වෙලා තියෙන්නේ පොදුවේ සමාජයක් විදියට මේ රටවල්වල අලුතින් බිහිවෙන ධනවතුන් වගේම මධ්‍යම පන්තිය Beauty එක ගැන ඕනෑවට වඩා සිතන්න යෑම නිසා. අනික් හේතුව බටහිරකරණය. ඇත්තටම මෙයා රටවල් බටහිරකරණය වෙලා තියෙන්නේ ඒ බටහිර තියෙන චූටි චූටි දේවල් එයාලගේ රටවල්වල මහා ලොකු දේවල් කර ගන්න ගමන්. අපිත් ටිකක් එහෙමයි. ආ ඒ කතාව පස්සට.

ඔය රටවල ඉන්නේ මොන්ගෝලියානු කියන මානව වර්ගයට අයත් මිනිස්සුනේ මචෝ. ඒ නිසාම ඔය කොරියාවේ ගොඩක් දෙනෙක්ට ඇහේ උඩ ඇහි පිල්ලම් නෑ. ඒක බොහොම සාමාන්‍ය දෙයක්. වැඩේ අපි දන්නවානේ මචෝ එයාලගේ ඇස් ගොඩක් පොඩියි. කොහොම වුණත් මේ Beauty උමතුව නිසා කොරියාවේ තරුණියන්ට මේක ලොකු ප්‍රශ්නයක් වෙලා සුන්දරා. ඒ නිසා ඇහි පිල්ලම් වැඩි කර ගැනීම වෙනුවෙන් කරන සැත්කමත් මාර ප්‍රසිද්ධයි. එහෙම ආතල්ම කෑල්ල තමයි ලොකු ලොකු පවුල්වල අයට තමන්ගේ දරුවන්ගේ 16 වැනි උපන්දිනයට ඇහි පිල්ලම් වැඩි කර ගැනීමේ සැත්කම තෑග්ගක් විදිහට කරවන එක. මේම පට්ට Trend එකක් වෙලා තියෙන්නේ මචෝ. 

Beauty උමතුවත් එක්ක යන ප්ලාස්ටික් සැත්කම් රුල්ල ගැන තව තොරතුරු තියෙනවා ගෝඩාරියක්. ඔක්කොම කියන්න බෑ මචෝ. ටිකක් කියන්න නම් සුදාලා කල්පනා කරලා බලන්නකෝ සීන් එකේ බරපතළකම. ලෝකයේ ප්ලාස්ටික් සැත්කම වැඩිපුරම කෙරෙන්නේ කොරියාවේ සෝල්වල. අමෙරිකානු බටහිර මාධ්‍ය සමහර වෙලාවට සෝල් හඳුන්වනකොට කියනවා ප්ලාස්ටික් සැත්කම්වල අගනුවර කියලා. කොහොමද ඒක සුදා. සෝල්වල හැමතැනම බස් එකේ ගියත් කෝච්චියේ ගියත් පයින් ගියත් ප්ලාස්ටික් සැත්කම් ගැන දැන්වීම් ගහලා තියෙනවා. එතකොට මචෝ ඔය අපේ උදේට ටී.වී. එකේ යන රෑපලාවණ්‍ය වැඩසටහන් වගේ දකුණු කොරියාවේ වැඩිපුරම තියෙන්නේ ප්ලාස්ටික් සැත්කම් ගැන Programs තමා. දකුණු කොරියාවේ මේ සීන් එක ගැන වැඩිපුර කතා වෙන්නේ බටහිර මාධ්‍යය. එයාලා මේ ගැන සෑහෙන්න කතා වෙනවා සුන්දරා. පොඩ්ඩක් හොයලා බලන්නකෝ.

ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරුන්ගේ අන්තර්ජාතික සංගමය කියලා තියෙන මරු කතාවක් අපි දැක්කා. එයාලා කියන විදිහට මචෝ දකුණු කොරියාවේ කාන්තාවන්ගෙන් සීයට 20ක් කවර හෝ ප්ලාස්ටික් සැත්කමක් කරගෙන. ඒ කියන්නේ ආච්චිලා අම්මලා තරුණියෝ දියණියෝ මේ ඔක්කෝගෙන්ම හොඳේ. තවත් සරලව කිව්වොත්  කාන්තාවන් පහක් ගත්තොත් එක්කෙනෙක් ප්ලාස්ටික් සැත්කමක් කරගෙන. දැන් එහේ High School එකක් Campus එකක් ගත්තොත් නිවාඩුවකට පස්සේ ගොඩක් තරුණියෝ එන්නේ මුහුණු වෙනස් කරගෙන. ඒක බොහොම සාමාන්‍ය තත්ත්වයක් වෙලා. ඒ වෙනුවෙන් වියදම් කරන්න යමක් කමක් තියන දෙමාපියෝ සැදී පැහැදී ඉන්නවා.

බාහිර ස්වරෑපය අලංකාර කර ගන්න එක වරදක් නෙවෙයි මචෝ. අපි මුලින්ම කිව්වානේ. ඒත් මේ සීන් එකේ ඛේදවාචකයක් තියෙනවා. එකක් නෙවෙයි ඛේදවාචක ගණනාවක් තියෙනවා. මේ සීන් එක නිසා අපි කිව්ව විදිහට ලොකුවට රෑපයෙන් මිනිස්සු මනින්න මේ රටවල් පුරුදුවෙලා. අපිට දියුණුයි වගේ පෙනෙන කොරියාවේ සමාජ ඛේදවාචකයත් මේක. විවාහය, රුකියාව, පාසල් මිතුරු සමාජ කියන හැමතැනකම රෑපයට ලොකු වටිනාකමක් ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා සමහරු මානසිකව කඩා වැටෙනවා. රෑපය සම්බන්ධව වදවීම ඇතුළේ මානසික රෝගවලට ගොදුරු වුණු අය ඕනෑ තරම් ඉන්නවා කියලා වාර්තා තියෙනවා. සමහර සියදිවි නසා ගැනීම් පිටුපසත් මේ තත්ත්වය හේතුවක් විදිහට තියෙනවා. එතකොට ඔය ප්ලාස්ටික් සැත්කම් කර ගත්ත කට්ටිය ඔක්කොම සතුටින් ඇති කියලා සුදාලා හිතයි. ඒත් ඒක එහෙම නෙවෙයි. සමහර වෙලාවට ප්ලාස්ටික් සැත්කමක් කර ගැනීම මේ අයට ප්‍රශ්නයක් වෙනවා. සෞඛ්‍ය විතරක් නෙවෙයි සමාජයීය ප්‍රශ්නයක් වෙනවා.

අපි කොරියාව ගැන කතා කළාට ලෝකය පුරා මේක දැන් රැල්ලක් විදිහට යනවා මචෝ. ලංකාවේ තාම තියෙන්නේ ලස්සන වෙන්න ඉන්ජක්සන් Trend එක විතරයි. ප්ලාස්ටික් සැත්කම් එහෙම වෙනවා. ඒවා තාම Trending ඇවිල්ලා නෑ. හැබැයි සුදු පුතේ හූනා කිව්වා වගේ ඔන්න අද අපි කියනවා ලංකාවෙත් මේ සීන් එක ළඟදීම Trend වෙයි. මීට වඩා විස්තර  ඕනෑ නම් Google දෙයියන්ගෙන් අහලා බලන්න. ලෑස්ති වෙලා ඉන්න. ඕං එහෙනම් අපි ගියා සුන්දරා. ජය වේවා!