2021 අගෝස්තු 14 වන සෙනසුරාදා

වැල් පිට වැල් නඩු පැටලෙන තරු

 2021 අගෝස්තු 14 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 458

විශ්මය දනවන බොලිවුඩ් කර්මාන්ත ජීවිතයන් තුළ විනෝදාස්වාදය ඉහළින්ම ලැබෙනවා සේම බොහෝ කරදරයන්ටද මුහුණ දීමට සිදුවෙනවා. බොලිවුඩ් සිනමා කර්මාන්තය තුළ වෘත්තියේ නියැලෙන ඔබ අප ආදරය කරන නළු නිළියන්ගේ නම්වලට කීර්තිය අඩුවක් නැතුව ලැබෙනවා සේම අපකීර්තියක් වූ විට ජනප‍්‍රිය වී සිටි තරමටම ඔවුන්ගේ නමට කැළලක් එයින් ඇතිවෙනවා. එය සුපිරි සිනමා තාරකාවක් වුවත් සමාජයේ පහළ ස්ථරයක දිවි ගෙවන අයෙකුට වුවත් එක හා සමානව අත්විඳීමට සිදුවන දෙයක්. වර්තමානය වන විට බොලිවුඩයේ නමක් දිනා සිටි ශිල්පා ෂෙට්ටි මේ වෙනකොට උදාහරණයක් විදියට පෙන්වන්න පුළුවන්. ශිල්පා ෂෙට්ටිගේ සැමියා කෝටිපති ව්‍යාපාරික රාජ් කුන්ද්‍රා අසැබි සිනමාපට චෝදනාව යටතේ මේ වන විට අත්අඩංගුවේ පසුවෙන බව මේ වන විට නොදන්න කෙනෙක් ඉන්න විදියක් නැහැ. වැරුදි ආකාරයට මුදල් ඉපයීමේ ව්‍යාපාරයක නිරතව සිටියේ තම සැමියා වුවත් එයින් ශිල්පා ෂෙට්ටිටද අපකීර්තියට පත්වීමට සිදුවෙලා. 

බොලිවුඩ් සිනමා ක්ෂේත‍්‍රය තුළ එවැනි සිදුවීම් බොහෝමයක් වාර්තා වී ඇති අතර එමගින් විවිධ තරාතිරම්වල අයට චෝදනා එල්ල වී ඇතත් මේ ලිපියෙන් අපි ඔබට කියන්න හදන්නේ ශිල්පා ෂෙට්ටි වගේ එවැනි සිදුවීම් හේතුවෙන් අපහසුතාවට පත්වුණු නිළියන් පස් දෙනෙකු ගැනයි. ඒ අය අපහසුතාවට පත් වුණේ මෙන්න මේ අය නිසයි

අනියම් - දූෂණ මහ ගොඩක්

56 හැවිරිදි ආදිත්‍ය පංචෝලිද විවාදයට තුඩු දෙන ඒ වගේ මාතෘකා මවන කෙනෙක්. ඔහු බොහෝ සිනමාපටවල චරිතයන්ට පණ පොවන්න එක්ව සිටියද ඔහුගේ වෘත්තියේ ජීවිතයට වඩා ඔහුගේ පෞද්ගලික ජීවිතයේ සමහර සිදුවීම්වලින් ඔහු බෙහෙවින් ජනප‍්‍රියට පත්වූ කෙනෙක්. විටෙක ගහ මරා ගැනීම නිසා අත්අඩංගුවට පත්වූ ආදිත්‍ය පංචෝලි තවත් විටෙක තමන් සමඟ රංගනයේ යෙදෙන නළුවන්ට පහර දීම හේතුවෙන්ද අවධානය ලබාගත් කෙනෙක්. ජනප‍්‍රිය නිළියක් වන කංගනා රනෞත් සමඟ ඇතිකරගෙන සිටි සබඳතාවය පිළිබඳව පුවත්පත්වල සිරස්තලයන් පළ වෙද්දී ජනප‍්‍රිය නිළියක් වන පූජා බෙඩිගේ වයස අවුරුදු 15ක් වන සේවිකාව දූෂණය කිරීම නිසා ඔහු වඩාත් ප‍්‍රසිද්ධියට පත්වුණා. මේ වගේ මතභේදාත්මක අයහපත් දේවල්වල නිරත වීම හේතුවෙන් ආදිත්‍ය පංචෝලිගේ බිරිඳ වන සරීනා වහාබ් බොහෝ ලජ්ජාවට සහ අපහසුතාවයට පත් වුණා.

ගැහුවා කියලා පොලීසියේ

ඉන්දියාවේ රෑපවාහිනී ක්ෂේත‍්‍රයේ නියැලෙන කරන් මෙහරා සහ නිෂා රාවල් වසර ගණනක් ප්‍රේම සම්බන්ධතාවයක් පැවැත්වීමෙන් අනතුරුව 2012 දී විවාහ වුණා. ඔවුන් දෙදෙනාගේ ජීවිතයේ එකම සතුට වූයේ සතුටෙන් සිටීම වුවත් තම සැමියා කරන් තමන්ට පහර දුන්නා යැයි චෝදනා කරමින් නිශා පොලිසියට පැමිණිලි කරන අතර පොලිසිය විසින් කරන්ව අත්අඩංගුවට ගන්නවා. කෙසේ වෙතත් පැය කිහිපයක් ඇතුළත පොලිසිය කරන්ව මුදා හැර තියෙනවා. 

රස්සා පොරොන්දුවට දූෂණයක් 

කැසට් රජු ලෙසින් විරුදාවලිය ලබා සිටින ටී සීරීස් නිර්මාතෘ ගුල්ෂාන් කුමාර්ගේ පුත් භූෂන් කුමාර්ට එරෙහිව ස්ත‍්‍රී දූෂණ නඩුවක් අධිකරණයෙහි ගොනු වූයේ මීට දින කිහිපයකට පෙරයි. ඔහුට චෝදනා එල්ල වී ඇත්තේ 30 හැවිරිදි කාන්තාවකට රුකියාවක් ලබාදෙන බව පවසා ඇයව බලහත්කාරයෙන් දූෂණය කිරීම සම්බන්ධයෙන්. කෙසේ වෙතත් මෙම නඩුවේදී මෙතෙක් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නැහැ.

තව ඩිංගෙන් කසාදෙත් ඉවරයි

බොලිවුඩ් සිනමාවේ ප‍්‍රවීණ නළු මිතුන් චක‍්‍රබෝර්තිගේ පුත‍්‍රයා වන මහාක්ෂය චක‍්‍රවර්තී  විවාහ පොරොන්දුවක් ලබා දී ගැහැනු ළමයෙක් සමඟ ශාරිරීක සම්බන්ධතාවයන් පවත්වා තියෙනවා. මහාක්ෂය මදල්ෂා ශර්මා විවාහ වූ පසු මේ කාරණය කරළියට පැමිණි අතර විවාහයට දින 5කට පෙර ඔහුට විරුද්ධව දූෂණ චෝදනා එල්ල කොට බලහත්කාරයෙන් ගබ්සාවක් සිදු කළ බවට චෝදනා කොට තිබෙනවා. මහාක්ෂයට එරෙහිව බරපතළ චෝදනා රාශියක් තිබුණු බැවින් සෑම දෙනෙක්ම අනුමාන කළේ ඔහුගේ විවාහය දැන් සිදු නොවනු ඇති බවයි. එහෙත් දින කිහිපයකට පසු මදල්සා හින්දු චාරිත‍්‍ර අනුව මහාක්ෂය සමඟ විවාහ වුණා.

පවුල් කැඩූ කංගනා

රංගන ශිල්පිනී කංගනා රනෞත් සහ රිතික් රෝෂන් අතර ඇති සම්බන්ධතාවය පිළිබඳ නොදන්න කෙනෙක් නැහැ. රිතික් සහ තමන් අතර ඇති සම්බන්ධතාවය ගැන කංගනා මාධ්‍ය ඉදිරියේද බොහොම විවෘතව කතා බස් කරන අතර ඒ නිසාම රිතික් සහ ඔහුගේ බිරිඳ සුසෑන් අතර විරසකයක් ඇතිවුණා. ඒ නිසාම සුසෑන් රිතික්ගෙන් දික්කසාද වූ අතර ඔවුන් දෙදෙනා අදටත් මිතුරු සබඳතාවයක් නොවෙනස්ව පවත්වාගෙන යනවා.