2021 මැයි 08 වන සෙනසුරාදා

මාලේ ගිය කට්ටියටම නවා දෙහිකපයි

 2021 මැයි 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 470

මේ වනවිට ඉන්දියාව කොරෝනා වෛරසය පැතිරීම හේතුවෙන් ඉතාම දුෂ්කර කාල පරිච්ඡේදයක් පසුකරමිනුයි ඉන්නේ. දවස ගානේ බොහෝ දෙනකුට තම ආදරණීයයන් අහිමිවන අතර එසේ නොවන අයද තම ආදරණීයන් තමන්ට අහිමි වේ යැයි බියෙන් ජීවත් වෙනවා. ඒ වගේම රටේ බොහෝ ප‍්‍රදේශ මේ වනවිටත් ලොක්ඩවුන් කරලා තියෙන අතර මේ වනවිට සිනමාපට සහ රෑපවාහිනී වැඩසටහන් රූගත කිරීම සම්පූර්ණයෙන්ම නතර කරලයි තියෙන්නේ. ඒ නිසාම ඉන්දියාවේ ජනප‍්‍රිය තරු රාශියක්ම තමන්ගේ නිවාඩුව ගතකරන්න මාලදිවයිනට ඇවිල්ලා ඉන්නවා. ඒත් බොලිවුඩයේ දක්ෂ ජනප‍්‍රිය නළුවෙක් වන නවසුද්දීන් සිද්දීකි නිවාඩු ගත කරමින් ඉන්න කැමති කෙනෙක් නෙවෙයි. නිවාඩු ගතකරන්න රටින් පිටවෙලා ඉන්න ජනප‍්‍රිය අය ලැජ්ජා වෙන්න  ඕන කියලයි නවසුද්දීන් සිද්දීකි නම් කියන්නේ. ඒ වගේම නළු නිළියන් මේ නටන නාඩගම මේ වෙලාවේවත් නවත්තන්න ඕන කියලා තමයි එයා නම් කියන්නේ.

නවාසුද්දීන් සිද්දීකි මාධ්‍ය සාකච්ඡාවක් අතරතුර ඉතාම කෝපයෙන් මාලදිවයිනට නිවාඩු ගතකරන්න ගිහිල්ලා තියෙන නළු නිළියන් ගැන කතාකළ අතර තම රටේ බොහෝ දෙනෙක්ට තමන්ගෙ ආදරණීයයන්  අහිමි වෙලා විතරක් නොව ඔවුන්ගේ ජීවනෝපායද අහිමී වී තිබෙන බව කියා තියෙනවා. ඒත් නළු නිළියන් පිරිසක් තම නිවාඩු ගත කරමින් සමාජ මාධ්‍යවලට ඒවා එකතු කරමින් රඟන රුඟිල්ල වහාම නතර කරන්න ඕන කියලයි ඔහු කියන්නේ.
&අපේ රටේ ගොඩාක් මිනිස්සුන්ට කන්න බොන්නවත් නෑ. ඒත් ඔයගොල්ලෝ සල්ලි නාස්ති කරනවා* කියලා නවසුද්දීන් සිද්දීකි කේන්තියෙන් කියයි. &මම මේ කියන නළු නිළියන්, අපේ රටේ විතරක් නෙවෙයි මුළු ලෝකයේම ගොඩාක් දෙනෙක් ලොකු කරදරයකට මුහුණ දීලා ඉන්න වෙලාවක මුදල් නාස්ති කරනවා. ඒ ගැන ටිකක් හරි ඔවුන් ලැජ්ජාවට පත්වෙන්න ඕන. ඒ වගේම ටිකක් හරි මානුෂීය වෙන්න කියලා කියනවා.*

&මම මේ කියන කට්ටිය මාලදිවයිනේ එක එක සෙල්ලම් දානවා. මාලදිවයිනේ සංචාරක කර්මාන්තයත් එක්ක අපේ රංගන ශිල්පීන්ට තියෙන සම්බන්ධතාවය ගැන මම දන්නේ නැහැ. ඒත් මනුස්සයින් විදියට ඔයාලා සතුටුවෙන එක ඔයාලගෙ හිතේ තියා ගන්න. ඒවා සමාජ මාධ්‍යවල දාලා පීඩාවට පත්වෙලා ඉන්න මිනිස්සුන්ගේ හිත් තවත් කලකිරීමකට පත් කරන්න එපා. මොකද අපේ රටේ කොරෝනා වෛරසය ගොඩාක් වේගයෙන් පැතිරෙන බව කවුරුවත් නොදැන ඉන්න විදියක් නැහැ. ඒ නිසා එහෙම ගිහිල්ලා සමාජ මාධ්‍යවලට තමන් සතුටු වෙන ඡායාරෑප දාලා තියෙන අය ටිකක් හරි මානුෂීය වෙන්න. කරුණාකරලා මේ රටේ විඳවන මිනිස්සුන්ට තවත් කලකිරීමට පත් කරන්න එපා.*

&මගේ නම් මාලදිවයින මගේ ගමයි. ඔබත් කවද හරි මාලදිවයිනට යන්න අදහසක් තියෙනවද* කියලා මාධ්‍යවේදියෙක් විමසූ විට,
කවදාවත් නැහැ. මම මගේ පවුලේ අයත් එක්ක බුධානා කියන මගේ ගමේ ඉන්නේ. මගේ ගම තමයි මට මාලදිවයින වෙන්නේ.
මේ දවස්වල මාලදිවයිනේ නිවාඩු ගත කරන්න ඇවිල්ල ඉන්න බොලිවුඩ් නළු නිළියන් කවුද කියලා ඔබත් දැනගන්න කැමති ඇතිනේ. දැන් ඒ කවුද කියලත් කියන්නම්. රන්බීර් කපූර්, ආලියා භාත්, ටයිගර් ෂෙරොෆ්, දීෂා පට්නි, සාරා අලි ඛාන්, ඇතුළු සිනමා තරු රාශියක් මාලදිවයිනේ තම නිවාඩුව ගත කරනවා.  

ඔවුන් ගැන නිරන්තරයෙන් ඔවුන්ට ආදරය කරන ඉන්දියානුවන් සමාජ මාධ්‍යවලින් හොයන අතර නවාසුද්දීන් මීට පෙරාතුව ශෘති හසන්, අනූ කපූර් සහ ශෝභා ඩේ ගැනත් ඉතාම කේන්තියෙන් කතා කළේ ඔවුන්ද රටේ මිනිස්සු මෙච්චර දුෂ්කරතාවයකට පත්ව සිටින මොහොතක ඔවුන්ද නිවාඩු ගතකරන්න මාලදිවයිනට ගිහින් ඒවා සමාජ මාධ්‍යවල පළකළ නිසයි.

නවසුදීන් සිද්දීකිගේ මාධ්‍ය සාකච්ඡාවෙන් අනතුරුව රට ගතකරන මේ දුෂ්කර කාලවකවානුව තුළ ඉන්දියානු රජය විසින් රටේ සියලුම පුරවැසියන්ට නිවාඩු ගත කිරීමට මාලදිවයිනට යන එක තහනම් කොට තියෙනවා.