2017 පෙබරවාරි 11 වන සෙනසුරාදා

දරුවකුගේ ඇඟිල්ල ආවේශයෙන් කපා දැමූ මාර කට්ටඩියා

 2017 පෙබරවාරි 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 71

 

හිඟුරක්ගොඩ, බටුකොටුව, යෝධ ඇළෙන් එහා පිහිටි උල්පත් ඇළ ගමේ දේවාලය දෙසින් පසුගිය සෙනසුරාදා (04) මහදවල් ඇසුණු කුඩා දරුවකුගේ විලාපය ගම්වැසියන් බොහෝ දෙනකුගේ අවධානය යොමුකරවන්නක් විය. දේවාලය පවත්වාගෙන යන කට්ටඩියා පරලවී අවුරුදු පහක් වයසැති පිරිමි දරුවකුගේ අසනීපයක් සුවකරන්නට ගොස් අතක ඇඟිල්ලක් කපා දැමීම එම විලාපයට හේතුව බවට ආරංචිය පැතිර යන්නටද වැඩි වේලාවක් ගතවූයේ නැත.

හිඟුරක්ගොඩ, යෝධ ඇළ, බටුකොටුව, කෙසෙල් කොටුව ගම්මානයේ වෙසෙන දරුවන් තිදෙනකුගේ මාපිය යුවළක් වන ගාමිණී බණ්ඩාර (41) මහතාගේ සහ ප්‍රියංගනී ගම්ලත් මහත්මියගේ පුත් බුත්සඳ ලෝමෙත් බණ්ඩාර (05) මෙම අමිහිරි අත්දැකීමට මුහුණදුන් දරුවාය.

මෙම දරුවා රාත්‍රී කාලයේ හීනෙන් බියවී හඬන හෙයින් එයට ප්‍රතිකාරයක් තම ගම්මානයට නුදුරින් පිහිටි උල්පත් ඇළ ගමේ දේවාලයෙන් කරවාගත හැකි බවට ලැබුණු තොරතුරකට අනුව පසුගිය සෙනසුරාදා (04) දරුවා එම දේවාලය කරා රැගෙන ගොස් තිබේ. දරුවාගේ රෝගී තත්ත්වය පිළිබඳව විමසා ඇති දේවාලය පවත්වාගෙන යන පුද්ගලයා එය සනීප කරදෙන්නට හැකි බව ප්‍රකාශ කොට ඇත. ඒ අනුව දෙවියන් උදෙසා පළතුරු පූජාවක් පැවැත්වීමට වුවමනා කරන බඩු බාහිරාදියද එම පුද්ගලයා මෙම මාපිය දෙපළ ලවා ගෙන්වාගෙන ඇති බවද කියති.

රාත්‍රී කාලයේ නින්දෙන් ඇහැරී බියට පත්ව කෑගසන තම පුතු සුවපත් කරගැනීමට දේවාලය වෙත රැගෙන ගිය අවස්ථාවේ මුහුණදුන් අත්දැකීම් දරුවාගේ පියා වන ගාමිණී බණ්ඩාර (41) මහතා අප හමුවේ විස්තර කළේ මෙසේය.

මට දරුවො තුන්දෙනෙක් ඉන්නවා. (වැඩිමහල් දුවලා දෙන්නා) බාල පුතාට තමයි මේ අසනීප තත්තවය තිබුණේ. එයා රාත්‍රී කාලයේ නින්දෙන් ඇහැරිලා හීනෙන් බයවෙලා වගේ කෑගහනවා. දැනට මාස දෙකක විතර ඉඳල ඒ තත්ත්වය තරමක් වැඩියි. මට කීපදෙනෙක්ම කිව්වා අපේ ගමට කිට්ටුව මේ යෝධ ඇළෙන් එහා තියෙන උල්පත් ඇළ ගමේ දේවාලයක් තියෙනවා. එතැනට පුතා අරන් ගියානම් මේ අසනීප තත්ත්වය සුවකරගන්න පුළුවන් කියලා. ඉතින් ඒ නිසා මම පසුගිය සෙනසුරාදා (04) උදේ දරුවා එක්කරගෙන යන්නේ නැතිව තනියම ගියා දේවාලයට. එතැන සිටි දේවාලය පවත්වාගෙන යන කපු මහතා මුණගැසිලා දරුවාගේ රෝගී තත්ත්වය ගැන ඔහුට කිව්වා. ඉන්පසු ඔහු කිව්වා දරුවා සනීප කරලා දෙන්නම් කියලා. දෙවියන්ට පළතුරු පූජාවක් දෙන්න අවශ්‍ය පළතුරු වර්ගත්, අවශ්‍ය වුණොත් දෙහි කැපීමක් කරන්න දෙහි ගෙඩි අටක්, යන්ත්‍රයක් දාන්න තඹ කොළයක්, සුරයක්, සුවඳ දුම්, තෙල්, මල්, හඳුන්කූරු මේ ආදී දේවල් අරගෙන එදාම දවල් 12.00ට කළින් එන්න කියලා කිව්වා. ඊට පස්සේ මම ගෙදර ගිහිල්ලා මගේ බිරිඳත් දුවලා දෙන්නාත් පුතාත් එක්කගෙන දේවාලයට නැවත ගියා. 

ඒ යනවිට කපු මහතා මට අරන් එන්න කියලා කියාපු සියලුම දේවල් අරගෙනයි ගියේ. අපි දේවාලයට යන විට ඩබල් කැබ් රථයකින් හාමුදුරුවෝ නමක් ආවා. ඒ හාමුදුරුවෝ කැබ් රථයේ තිබිලා දිග කඩුවක් අරගත්තා. ඒකත් දේවාලය ඇතුළට අරගෙන ගිහිල්ලා හාමුදුරුවෝ මන්තර වගයක් කියන්න පටන් ගත්තා. මම මේ අතරතුර පළතුරු ටික සෝදලා පළතුරු වට්ටිය සූදානම් කළා. ටික වේලාවකින් මන්තර ජප කරමින් හිටපු හාමුදුරුවෝ දේවාලයෙන් එළියට ආවා. ඊටපස්සේ කපු මහත්තයා දේවාලය ඇතුළට ගියා. දේවාලය ඇතුළට ගිය කපුවා ටික වේලාවකින් පරලවෙලා (ආවේසවෙලා) හයියෙන් කෑගහලා කිව්වා පළතුරු පූජාව තියන්න පොඩි එකාත් අරගෙන වරෙල්ලා කියලා. ඊටපස්සේ මමයි මගේ බිරියයි දෙන්නා දරුවාවත් අරගෙන දේවාලය ඇතුළට ගියා. මේ වෙනකොට වෙලාව දවල් 12.00ට විතර ඇති. මම කිව්වා පුතාගේ අසනීප තත්ත්වය ගැන දැනගන්න ඕන කියලා. මොනවද තියෙන අසනීප කියලා මම ඇහුවාම කපුවා කීවා දැනට කියන්න තරම් විශේෂ අසනීප තත්ත්වයක් ඇත්තේ නෑ. රෑට හීනෙන් බයවෙලා ඇහැරෙනවා නේද? අපි ඒකට දෙහි ගෙඩි ටිකක් කපමු කියලා දෙහි කපන්න පටන් ගත්තා. දරුවාගේ ඉදිරිපසින් දෙහි ගෙඩි කීපයක් කපලා ඊළඟට දරුවාගේ පිට පැත්ත හරවන්න කියලා මට කිව්වා. මම දරුවා වඩාගෙන එයාගේ මූණ මගේ පැත්තට හේත්තු කරගත්තා. කපුවා ඒ පැත්තට දෙහි කපන ගමන් බිමට පහත් වුණා. ඒ සමඟම කිව්වා දරුවාගේ ඇඟිල්ලක් කැපුණා කියලා. ඒත් එක්කම පුතා මහ හයියෙන් විලාප දීලා අඬන්න පටන් ගත්තා.

මම බලනකොට දරුවාගේ දකුණු අතේ මහපට ඇඟිල්ල යම්තම් හම් කෑල්ලකින් එල්ලෙමින් තිබුණා. තුවාලයෙන් ලේ විඳින්න පටන් ගත්තා. මම වහාම අපි ආපු වාහනයෙන්ම පුතාව මැදිරිගිරියේ ඉස්පිරිතාලයට අරගෙන ගියා. එහිදී දොස්තර මහත්තුරු දරුවාගේ ඇඟිල්ල පරීක්ෂා කරලා බලලා බෙහෙත් දමලා වහාම ගිලන් රථයකින් පොළොන්නරුව මහ රෝහලට මාරුකරලා යැවුවා. එහිදී දරුවාට ඉක්මනින්ම සැත්කමක් කළා. දවස් තුනක් පොළොන්නරුව රෝහලේ ප්‍රතිකාර ලැබුවා.

රාත්‍රී කාලයේ නින්දෙන් ඇහැරී හඬන බුත්සඳ ලෝමෙත් බණ්ඩාර තම පුංචි පුතු කපුවා විසින් කපා දමන ලද ඇඟිල්ලේ ඇතිවී තිබෙන තුවාලයේ වේදනාව ඉවසා ගත නොහැකිව දහවල් කාලයේද හඬන බව ඔහුගේ මව වන ප්‍රියංගනී ගම්ලත් මහත්මිය අප සමඟ කීවාය.

එම සිඟිති පුතුගෙන් ඔහු මුහුණදුන් බියකරු සිද්ධිය පිළිබඳව අප විමසූ විට ඔහු පැවැසුවේ දේවාලේ මාමා ගිරෙන් මගේ ඇඟිල්ල කැපුවා යැයි කියායි. එම කුඩා දරුවා අප සමඟ එසේ කියා සිටියේ රිදුම් දෙන තුවාලයද සහිත වෙළුම් පටි යොදා තිබෙන දකුණු අත අපට පෙන්වමිනි.

දරුණු කැපුම් තුවාලයකට ලක්ව තිබූ එම දරුවාගේ දකුණු අතේ මහපට ඇඟිල්ල සැත්කමකට භාජනය කොට නැවතත් බද්ධ කළ බැව් ඔහුට ප්‍රතිකාර කළ පොළොන්නරුව මහ රෝහලේ වෛද්‍යවරු ප්‍රකාශ කළහ. දරුවාගේ අතේ මහපටැඟිල්ල කපා දැමූ දේවාලයේ කපුවා මැදිරිගිරිය පොලීසිය මගින් පසුව අත්අඩංගුවට ගෙන තිබිණි.

පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලක්සිරි විජේසේන, සහකාර පොලිස් අධිකාරී පණ්ඩුල වීරසිංහ යන මහත්වරුන්ගේ උපදෙස් මත මැදිරිගිරිය පොලීසියේ ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක එන්.පී.එස්. ජයලත් මහතාගේ මෙහෙයැවීමෙන් විමර්ශන කටයුතු සිදුකළ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් දේවාලය පවත්වාගෙන ගිය එම සැකකරු යුද හමුදාවේ සේවය කරන සෙබළකු බවද හෙළිදරව් කරගෙන ඇත.

අප ජීවත්වන වත්මන් සමාජයේ බොහෝදෙනා ලෙඩ රෝග සුවකරගන්නට යම් යම් අදෘශ්‍යමාන බලවේගයන්හි පිහිට පතන බැව් පෙනෙන්නට තිබේ. නොපෙනෙන දෙවිවරුන්ගේ පිහිට පතා ගොස් කිසිදු යහපත් ප්‍රතිඵලයක් නොලැබ අවසානයේ මංමුලාවන අවස්ථා එමටය. ඇතැම්විට තම මිල මුදල්, වටිනා කාලය පමණක් නොව ජීවිත අහිමිකරගන්නා පිරිස්ද වෙති. ඒ සියල්ලම අවිද්‍යාව නැමැති අන්ධකාරයේ අතපත ගෑමට යාම නිසා ඇතිවන අහිටු ප්‍රතිවිපාක බවද තේරුම්ගත යුතු වෙමු.

හිඟුරක්ගොඩ, බටුකොටුව, කෙසෙල් කොටුව ගම්මානයේ බුත්සඳ ලෝමෙත් බණ්ඩාර කුඩා දරුවාගේ අතේ මහපට ඇඟිල්ල සදහටම අහිමිවන්නට ගිය සිදුවීමද ප්‍රයෝගකාරී කපුවන්ගේ, කම්ටඬියන්ගේ, මායාකරයන්ගේ පරපුරේ අනුවණ ක්‍රියාකාරකම්වල ප්‍රතිඵලයක් බව අමුතුවෙන් පෙන්වාදිය යුතු නැත.

සටහන සහ සේයාරූ - කරුණාරත්න ගමගේ

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 03 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 10 වන සෙනසුරාදා, ප.ව. 02:00