21 වැනි සියවසට පා තබන ලෝකයට අද ඇතුවත් බැරි නැතුවත් බැරි තාක්ෂණය දුරකථනය ලෙස නම් කළාට වරදක් නැත. අද වනවිට ලෝක ජනගහනයෙන් අඩකට වැඩි පිරිසකට ජංගම දුරකතන ඇති අතර ජංගම දුරකතනය දුම්රිය ආසන වෙන්කර ගැනීම, වෛදවරුන්ගේ සේවාව ලබා ගැනීම, බස් රථ ආසන වෙන්කර ගැනීමේ මහජනයාට අතාවශ සේවා ඉටුකර දෙන මෙවලමක් බවට පත්ව තිබේ. එසේම කප්පම් ගැනීම්, ගණිකා ව්‍යාපාර, මත්කුඩු ආදී සෑම දෙයටම මෙය ඉතා සූක්ෂම අන්දමින් යොදා ගැනෙයි.
මහජන මිත්‍රශීලී සේවයක් සපයන එමෙන්ම මහජනයාගේ ආරක්ෂාව වෙනුවෙන් පැය 24ම ඇප කැප වී වැඩකරන ඌරුබොක්ක පොලීසියට මීට මාස 04, 05ක සිටම දුරකථන ඇමතුමක් ලබාගැනීමට නොහැකි වූයේ එහි තිබෙනා ස්ථාවර දුරකථන අංකය නිරතුරුවම කාර්යබහුල නිසාවෙනි. නැගෙනහිරින් හිරු නැගෙනා යාමයේ පටන් බටහිර අහසේ හිරැ සැඟව ගොස් හොරාවක් දෙකක් යනතුරැම ඌරුබොක්ක පොලීසියේ ස්ථාවර දුරකථනය කාර්ය බහුල වීම එම ප්‍රදේශයේ මහජනතාවට මහත් ගැටලුවක් විය. දුරකථනයෙන් තමන්ගේ දුක් ගැනවිලි කියාපෑමට නොහැකි වූ ජනතාව ඉන් අනතුරුව ඌරුබොක්ක පොලීසියට පැමිණ සිය ගැටලු ඉදිරිපත් කළහ. පොලීසියේ ඇති ස්ථාවර දුරකථනය නිරතුරුවම කාර්යබහුල බවටද ඔවුන්ගේ පැමිණිල්ලක් විය.
මෙලෙස පසුගිය මාස 04ට 05ට ඌරුබොක්ක පොලීසියට ලැබීමට නියමිත වූ ඇමතුම් 150ක් 200ක් පමණ දිනකට මඟහැරී තිබිණි. මේ හේතුවෙන් පොලිසියේ සේවය කරන නිලධාරීන්ද සිටියේ මහත් පීඩාවකට පත්වය. විශේෂයෙන්ම ස්ථානාධිපතිවරයාගේ ස්ථාවර දුරකථනයේ මඟහැරුණු ඇමැතුම් ලබාගැනීමේ හැකියාවක් තිබුණද පොලීසියේ ප්‍රධාන ස්ථාවර දුරකථනයේ එම පහසුකම් නොමැතිවීමෙන් පොලිස් නිලධාරීන් පත්වූයේ මහත් අපහසුතාවයකටය.
ආයුබෝවන් ශ්‍රී ලංකා පොලීසිය - ඌරැබොක්ක, මහත්මයාණනි යනුවෙන් ඔවුන් අනිත් පස දුරකථනයේ රැඳී සිටින්නා ආමන්ත්‍රණය කරද්දී අනෙක් පසින් දුරකථනය විසන්ධි විය. එසේ නොමැති නම් අසවල් නිලධාරියා අද සේවයේ සිටිනවාද විමසා ඔහුට දුරකථනය ලබා දෙනවාත් සමඟ දුරකථනයේ රැඳී සිටි තැනැත්තා හෝ තැනැත්තිය පෙර පරිදිම අතුරැදන් විය. දහසක් වැඩ මැද රාජකාරියේ යෙදී සිටින නිලධාරීන් අපහසුතාවයට පත්කරන මෙම මඟහැරැණු ඇමතීම් සම්බන්ධයෙන් ඔවුන් සිටියේද මහත් කලකිරීමකින් යුතුවය.
මෙලෙස තම පොලිස් ස්ථානයට කරදරකාරී ලෙස දුරකථන ඇමතුම් ලබාදුන් තැනැත්තා පිළිබඳව ඌරුබොක්ක පොලීසියේ වැඩබලන ස්ථානාධිපති සනත් කුමාර මහතාගේ උපදෙස් පරිදි විමර්ශන කටයුතු ආරම්භ වූයේ ඉන් අනතුරුවය. දින දෙකක තුනක නිහැඬියාවෙන් අනතුරුව නැවතත් සුපුරැදු ලෙස පොලිසියේ ස්ථාවර දුරකථනය නාද වන්නට විය. එදිනද පෙර සිද්ධියම විය. කෙසේ හෝ අවසානයේ පොලිසියේ නිලධාරීන්ට මේ ආකාරයට දුරකථන ඇමතුම් ලබාදෙමින් සම්බන්ධතා පැවැත්වීමට විවිධාකාර උත්සාහ දැරීම පිළිබඳව ඌරුබොක්ක මැකිරියතැන්න ප්‍රදේශයේ කාන්තාවක් අත්අඩංගුවට ගැනීමට හැකිවූයේ ස්ථානාධිපතිවරයාගේ එකී පරීක්ෂණවල ප්‍රතිඵලයක් ලෙසය.
පසුගිය ජනවාරි මාසයේ 28 වැනිදා පොලීසියට නිරතුරුව දුරකථන ඇමතුම් ලබාදෙන මෙම තරුණිය සිය මව සමඟ පොලීසියට කැඳවනු ලැබුවාය. පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේ ඇය ලබාදෙන දුරකථන ඇමතුම්වලින් පොලිස් නිලධාරීන් අපහසුතාවයට පත්වන බවය. ඔවුන්ගේ රාජකාරියට බාධා සිදුවන බවය. වෙනත් පුද්ගලයන්ට පොලීසියට සිය පැමිණිලි ඉදිරිපත් කිරීමට ඇති අවස්ථා ඇයගේ දුරකථන ඇමතුම් මගින් ඇහිරී යන බවයි.
ඌරුබොක්ක, මැකිරියතැන්න ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි මෙම සැකකාරිය විවාහක පුරැෂයාගේ නිවසේ පදිංචිව නොසිට සිය මවගේ නිවසට පැමිණ සිටින කාන්තාවකි.
සැකකාරිය පොලිසියට කැඳවා තදින් අවවාද කර පිටත්කර හැරියද ඉන්පසු සිදුවී ඇත්තේ අපූරු සිදුවීමකි. ඇය හදිසි ඇමතුම් (119) මධ්‍යස්ථානයට කතා කරමින් ඌරුබොක්ක පොලිසිය මගින් තමන්ට බලපෑම් සිදුකරන බවට පැමිණිලි කළාය. හදිසි ඇමැතුම් මධ්‍යස්ථානයටද දිනකට එවැනි ඇමතුම් 16ක් පමණ ඇයගෙන් ලැබී තිබිණි. ඌරැබොක්ක පොලීසියෙන් හදිසි ඇමතුම් මධ්‍යස්ථානයටද, හදිසි ඇමතුම් මධ්‍යස්ථානයෙන් නැවත ඌරුබොක්ක පොලීසියද නැවත නැවතත් වෙනත් ජංගම දුරකථනයක් මගින් අසත්‍ය තොරතුරු සැපයූ මෙම සැකකාරිය මෙවර අත්අඩංගුවට පත්වූයේ රජයේ නිලධාරීන්ට සාපරාධි බලහත්කාරය පෑම යන චෝදනාව යටතේය.
මාස ගණනක් මුළුල්ලේ පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා වෙන අයුරින් දුරකථන ඇමතුම් ලබාදෙමින් සිටි මෙම සැකකාරිය අත්අඩංගුවට පත්වූ දිනයේම මොරවක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 14 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවාය.
හසිත් අංජන