ඉන්දියාවේ නිදහස් දිනය සමරනු ලැබූ පසුගිය ජනවාරි 26 වැනිදා කච්චතිවු දූපතේ ඉන්දියානු ධජය එසවීමට ඉන්දියානු පුරවැසියන් පිරිසක් සැලසුම් කරමින් සිටි බවට වාර්තා පළ විය. කෙසේවෙතත්, එම එළඹුම සාර්ථක වූයේ නැත. පෙබරවාරි මාසයද වෙනත් වැදගත්කමකින් යුක්ත බව සඳහන් කළ යුතුය. ශ‍්‍රී ලාංකිකයන් මෙන්ම තමිල්නාඩුවේ වෙසෙන ඉන්දියානු පුරවැසියන් ද එකතු වී ශාන්ත අන්තෝනි මුනිතුමන්ගේ උත්සවය, කච්චතිවු දූපතේදී සමරනු ලබන්නේ මේ කාලයේදීය.
උත්සව සමය තුළ මිත‍්‍රශීලී වාතාවරණයක් පවතිනු ඇති නමුත්, ඉන්දියාව සහ ශ‍්‍රී ලංකාව අතර පවතින ධීවර ගැටලුව සාමකාමීව විසඳාගන්නා තුරැම රාමේෂ්වරම් සහ ඩෙල්ෆ්ට් දූපත අතර පිහිටි මේ කුඩා දිවයින දෙරට අතර මතභේදයට තුඩු දෙන කරුණක් වනු ඇත. එය පාත්ෆයින්ඩර් පදනම පසුගිය කාලය තුළ කරන ලද පර්යේෂණවලදී අවධානයට ගත් කරැණකි.
කච්චතිවු දූපත නැවත පවරාදෙන ලෙස, තමිල්නාඩුවේ යම් යම් කණ්ඩායම් විසින් වරින්වර දැඩි ඉල්ලීම් කරනු ලැබේ. ඔවුන්ගේ අදහස දෙරට අතර ඓතිහාසික සාගර ප‍්‍රදේශ සහ අදාළ කරුණු (Boundary in Historic Waters between the Two Countries and Related Matters) සම්බන්ධව 1974 ජුනි මාසයේ දී ඉන්දියාව සහ ශ‍්‍රී ලංකාව අතර අත්සන් තැබූ ගිවිසුම අනුව ඉන්දීය ආණ්ඩුව, මෙම දූපත ශ‍්‍රී ලංකාවට පවරා දුන් බවය. එය ඇත්තක් නොවේ. මෙවැනි අභියෝග නිතර නිතර සිදුවන අතර පෝක් බොක්ක ප‍්‍රදේශයේ, මන්නාරම් බොක්කේ එසේත් නැතිනම් බෙංගාල බොක්කේ පිහිටි ශ‍්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළ කලාපයේ නීති විරෝධී ධීවර කර්මාන්තයේ යෙදෙන තමිල්නාඩු ධීවරයන් ශ‍්‍රී ලාංකික අධිකාරීන්ගේ අත්අඩංගුවට පත්වූ අවස්ථාවලදී මෙම අදහස් බහුලවන බව පෙනේ. කච්චතිවු දූපතෙහි පරමාධිපත්‍යය යටත් විජිත සමය දක්වා අතීතයේ පවා ශ‍්‍රී ලංකාව සතුව පැවති බව සැකයක් රහිතව ඔප්පු කිරීමෙන් අනතුරුව එම ගැටලුව වසර 40කට පෙර සාකච්ඡා කර සාමකාමීව විසඳාගනු ලැබූවකි. එහෙයින්, මෑතක වාර්තා වූ ඉන්දීය ජාතික කොඩිය එසවීමේ ප‍්‍රයත්නය දෙරට අතර පවතින මිතුරු සම්බන්ධතාවය පළුදු කිරීමේ අරමුණින් දරන ලද උත්සාහයක් විය හැක. 1924 දී පවා, ඉන්දියානු රජයේ මිනුම් නිලධාරීන් සමඟ කරන ලද ලිපි ගනුදෙනුවල කච්චතිවු දූපත එකල Ceylon වශයෙන් හැඳින්වුණු ශ‍්‍රී ලංකාවට අයත් භූමියක් ලෙස ලැයිස්තු ගතකර ඇතිබව මෙහිදී සඳහන් කළ යුතුය. එම දූපත, පෘතුගීසි, ලන්දේසි සහ අනතුරැව බ්‍රිතාන්‍ය පාලන කාලවලදීද ශ‍්‍රී ලංකාවේ පරමාධිපත්‍ය යටතේ පැවති බවට ඓතිහාසික සාක්ෂි මැනවින් සහතික කරයි.
අක්කර 285ක විශාලත්වයක් ඇති මෙම දූපත, ඩෙල්ෆ්ට් දූපතට නාවික සැතපුම් 12.4ක් වයඹ දිගින් සහ රාමේෂ්වරමට නාවික සැතපුම් 13.3ක් ඊසාන දිගින් පිහිටා තිබේ. කච්චතිවු දූපත ශ‍්‍රී ලංකාවට අයත් බව දෙරටේ ඉහළම මට්ටමින්, නිල වශයෙන් සහ නීතිමය වශයෙන් පිළිගෙන ඇත. ඒ සම්බන්ධ ගිවිසුම 1974 ජූනි මාසයේ දී අගමැති සිරිමා බණ්ඩාරනායක සහ අගමැති ඉන්දිරා ගාන්ධි විසින් අත්සන් කිරීමෙන් අනතුරුව දෙරටේම පාර්ලිමේන්තු විසින් අනුමත කරන ලදී. එකී ගිවිසුමෙන්, දෙරටේ අයිතීන් කෙතරම් පැහැදිලිව සහ ස්ථිරව වෙන්කර දී ඇතිද කිවහොත් කච්චතිවු දූපතේ අයිතිය පිළිබඳව මෑතක දී නගන ලද ප‍්‍රශ්නයකට පිළිතුරැ දෙමින්, මධ්‍යම රජය නියෝජනය කළ ඉන්දියාවේ එවකට සිටි නීතිපති මුකුල් රොහට්ගි, ඉන්දියාවේ අගවිනිසුරැ ආර්.එම්. ලෝඩ්හාගේ නායකත්වයෙන් යුතු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලකට, කච්චතිවු දූපත නැවත අවශ්‍යනම්, යුද්ධයකට ගොස් එය ලබාගත යුතු බව පවසා ඇතැයි වාර්තා වේ.
ශතවර්ෂ ගණනාවක් තිස්සේ සිදුවූ පරිදි දූපත සම්බන්ධ නිරීක්ෂණ කටයුතු සිදුකිරීම ඉදිරියටද ගෙනයමින්, ශ‍්‍රී ලංකා ආණ්ඩුවේ නිලධාරීන්, විද්‍යාඥයන්, පරිපාලකයන්, මිනුම් නිලධාරීන් මෙන්ම හමුදා නිලධාරීහු නිතර නිතර කච්චතිවු දූපතට ගමන් කරති. එහි සිදුවන ඉතාමත්ම වැදගත් උත්සවය වනුයේ පෙබරවාරි/ මාර්තු කාලයේ දී පැවැත්වෙන ආගමික උත්සවය වන අතර ඒ සඳහා ශ‍්‍රී ලාංකික මෙන්ම ඉන්දියානු පිරිස් සෑහෙන පිරිසක් සහභාගි වෙති. 1905 දී ඉදිකරන ලද කතෝලික දේවස්ථානයේ අබලන් බව දුටු ශ‍්‍රී ලංකා නාවික හමුදාව නව දේවස්ථානයක් ඉදිකරන ලද අතර, 2016 දෙසැම්බර් මාසයේ දී එය පාරිශුද්ධත්වයට පත්කරන ලද්දේ යාපනයේ රදගුරුතුමන් විසින් බව මෙහිදී දැක්වීම වැදගත්ය.
කච්චතිවු දූපත අසල මුහුදේ ධීවර කර්මාන්තයේ යෙදීමට ඉහත සඳහන් ගිවිසුමෙන් ඉන්දියානු ධීවරයන්ට ඉඩ ප‍්‍රස්ථා සලසා දී ඇති බවද එම අයිතිය භාවිත කිරීමට තහංචි පනවා ඇතැයි ද තමිල්නාඩුවේ සමහර පිරිස් වරින්වර අදහස් පළකර ඇති බව පෙනේ. 1974 ගිවිසුමෙහි 5 වැනි වගන්තිය සඳහන් කරන්නේ, ඉන්දියානු ධීවරයන්ට මෙතුවක් කල් සිදුකළ ආකාරයටම කච්චතිවු දූපතට ප‍්‍රවේශ විය හැකි බව සහ ඒ සඳහා ශ‍්‍රී ලාංකික අධිකාරීන්ගෙන් ගමන් බලපත් හෝ වීසා අවශ්‍ය නොවන බවය. මෙහි මෙතෙක් කල් සිදුකළ ආකාරයටම වශයෙන් දක්වා ඇත්තේ, සිය දැල් ආම්පන්න වියළා ගැනීමට සහ ආගමික කටයුතු සඳහා දූපතට ප‍්‍රවේශ විය හැකි බවයි. ධීවර හෝ වෙනත් කටයුතු මෙයින් අදහස් නොවේ. ගිවිසුමේ 4 වැනි වගන්තියෙන් එවැනි සියලු කටයුතු ශ‍්‍රී ලංකාවේ පරමාධිපත්‍යයට සහ පරම අධිකරණ බලයට යටත් කොට තිබේ. 1976 වර්ෂයේ දී දෙරට අතර හුවමාරැ වූ ලිපිවල පළමු පරිච්ඡේදයේ දක්වා ඇති පරිදි, ඉන්දියාවට අයත් මුහුදේ ශ‍්‍රී ලාංකික ධීවරයන්ට හෝ ශ‍්‍රී ලංකාවට අයත් මුහුදේ ඉන්දීය ධීවරයනට හෝ ධීවර කර්මාන්තයේ යෙදීම, පැහැදිලිවම තහනම් කොට තිබේ. අදාළ පරිදි ශ‍්‍රී ලංකාවෙන් හෝ ඉන්දියාවෙන් පැහැදිලිවම අවසරයක් නොලබා, ඓතිහාසික වශයෙන් ශ‍්‍රී ලංකාවට අයත් මුහුදු ප‍්‍රදේශයේ, මුහුදු සීමා කලාපයේ හෝ ශ‍්‍රී ලංකාවේ විශේෂිත ආර්ථික කලාපයේ ධීවර කර්මාන්තයේ යෙදීම ඉන්දීය ධීවර යාත‍්‍රා සහ ධීවරයන් විසින් නොකළ යුතුසේම, ඓතිහාසික වශයෙන් ඉන්දියාවට අයත් මුහුදු ප‍්‍රදේශයේ, මුහුදු සීමා කලාපයේ හෝ ඉන්දියාවේ විශේෂිත ආර්ථික කලාපයේ ශ‍්‍රී ලාංකික ධීවර යාත‍්‍රා හෝ ධීවරයන් ධීවර කර්මාන්තයේ නොයෙදිය යුතුය. අනෙක් අතට, ඉන්දියානු ධීවර සමාගම් විසින් වානේ බඳින් නිමකළ යාන්ත‍්‍රික ට්‍රෝලර් යාත‍්‍රා සහ කෘතීම ධීවර දැල් හඳුන්වා දී ඇති අතර කම්කරැපාදක ධීවර යාත‍්‍රා භාවිතය කලකට පෙර අහෝසි වී ගොස් ඇති හෙයින් දැල් වියළාගැනීම සඳහා කච්චතිවු දූපතට යෑමේ අවශ්‍යතාවයක ද දැන් නැත.
සාගර පරිසරයටද, විශේෂයෙන්ම මත්ස්‍ය සම්පතටද, ශ‍්‍රී ලංකාවේ තහනම් කරන ලද දැල් වර්ග යොදාගනිමින් හා පතුල් ට්‍රෝලනය කරමින්, තමිල්නාඩු ධීවරයන් විසින් පසුගිය දශක කිහිපය තුළ සිදුකරන ලද හානිය සලකා බලන විට, ඇතිවී ඇති තත්ත්වය පිළිබඳව නිවැරැදි අධ්‍යයනයක් සිදුකර, සිදුවී ඇති හානිය නැවත නිවැරදි කළ නොහැකි තත්ත්වයකට පත්වීමට පෙර ශ‍්‍රී ලංකාව ඒ සඳහා විසඳුම් සොයාගත යුතු බව පාත්ෆයින්ඩර් ආයතනයේ නිර්දේශයයි.
මේ සඳහා අනුගමනය කළ හැකි එක් ක‍්‍රියාමාර්ගයක් නම්, සුවිශේෂී වර්ගවල සාගර පැළෑටි සහ ජීවීන් ඇතැයි පැවසෙන කච්චතිවු දූපතේ සාගර විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානයක් ස්ථාපනය කිරීමයි. ඉන්දියානු ධීවරයන්ගේ නීති විරෝධී මසුන් ඇල්ලීම් කොල්ලකෑම්වලට කච්චතිවු දූපත අසල මුහුද බොහෝසෙයින් ලක්වන හෙයින්, මෙම යෝජනාව විශේෂයෙන් වැදගත්වනු ඇති බව පාත්ෆයින්ඩර් ආයතනයේ අදහසයි. මේ සඳහා කඩිනමින් ක‍්‍රියාමාර්ග යොදන ලෙස, රජය, ජාතික ජලජ සම්පත් පර් යේෂණ ආයතනයට සහ ධීවර දෙපාර්තමේන්තුවට දැනුම් දිය යුතුය. මෙවැනි පර් යේෂණ ආයතනයක් ක‍්‍රියාත්මක කිරීම පිණිස එහි සේවය කරන පිරිස් සඳහා නවාතැන් පහසුකම්, සන්නිවේදන පහසුකම් මෙන්ම පර්යේෂණ උපකරණ ද අවශ්‍ය වනු ඇත. සේවය කරන පිරිස් නිතර නිතර මාරුකිරීම සහ ප‍්‍රවාහන පහසුකම් මෙන්ම හදිසි සේවාවන් ද සංවිධානය කළ යුතු වේ. කෙටි කාලයකින් මෙකී යෝජනාව සඳහා අවශ්‍ය සම්පත් සොයාගැනීම රජයට අපහසු වේනම්, පෞද්ගලික අංශයේ සහායෙන් ව්‍යාපෘතිය ඉක්මණින් ක‍්‍රියාත්මක කළ හැක. මේ අතර, ධීවර ගැටලුව විසඳා ගැනීම පිණිස සහයෝගීතාවයෙන් ක‍්‍රියා කිරීමට දෙරටම ඉදිරිපත් විය යුතු අතර, සාගර සම්පත් සංරක්ෂණය සහ ජාත්‍යන්තර සාගර සීමාවේ තමන්ට හිමි කලාපය තුළ පාරිසරික සමතුල්‍යතාවය රුකෙන පරිදි සාගර සම්පත් උපයෝජනය කිරීමට පියවර ගැනීම ද අත්‍යවශ්‍යතාවයක් බව සඳහන් කරන්නට අවශ්‍යය.
මුල් ලිපිය www.pathfinder.org වෙබ් අඩවියෙන් කියැවිය හැකිය. පාත්ෆයින්ඩර් පදනම නිකුත් කරන ලද විශේෂ ලිපියක් ඇසුරෙන් පරිවර්තනය කළේ
සුනේත‍්‍රා සිරිවර්ධන