
ත්රීවිලරය අද මහජනයාට නැතුවම බැරි වාහනයක් වී හමාරය. ලෙඩට දුකට බෙහෙත් ගේන්න ඉස්පිරිතාලයට යෑමටද, තම දරුවා පාසලට ගෙන යාමටද, ප්‍රමාද වී රැකියාවට යනවානම් එම ප්‍රමාදය මඟහරවා ගනිමින් කාර්යාලය වෙත යාමටද මෙකී නොකී සියලු දේට අද වනවිට ත්රීවිලරය නැතුවම බැරිය.
සේවය එසේ වුවද කුමන ආණ්ඩුවක් බලයට පැමිණියද තමන් ගැන සොයා බලන්නට කිසිවකුත් නැතැයි ඔවුහු බොහෝ විට හඬ නගති. සැමදා තමන් මහපාරේ බවද ඔවුහු කියති.
මේ දිනවල ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රධාන මාතෘකාව වී ඇත්තේ මෙම යහපාලන ආණ්ඩුව පෙරළීම ගැනය. යම්කිසි ආණ්ඩුවක් පෙරළීමට මැති ඇමැතිවරුන්ගේ පමණක් නොව ජනතා සහයෝගයද ලබාගත යුතුය. මැතිවරණ කාලවලදී විවිධ පොරොන්දු දෙමින් බලයට පත්වූවන් බලයට පැමිණි විට මැතිවරණ පොරොන්දු ඉටුකරන්නේ ඉතාමත්ම අල්ප ලෙසය. එවැන්නන්ට ඊළඟ මැතිවරණයේදී කළ යුතු දේ පිළිබඳව තීරණය ඇත්තේ ජනතාව අතේය. බලයට පැමිණි කුමන ආණ්ඩුවක්වත් තමන්ට නිසි ලෙස සැලකූවේ නැති බවට ත්රීවිලර් හිමියෝ මැසිවිලි නගති. එයට එරෙහිව වෙඩි මුරයක් නිකුත් කරමින් සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියැදුරන්ගේ සංගමයේ සභාපති සුදිල් ජයරුක් මහතා පසුගියදා පැවසුවේ ත්‍රීරෝද රථ රියැදුරන් සතුවද තිස්අට ලක්ෂයක ඡන්ද සංඛ්‍යාවක් පවතින බවය. ඕනෑම රජයක් පෙරළීමේ බලය ඒ අනුව තමන්ට පවතින බවද ඔහු කියා තිබිණි.
මැතිවරණ කාලවලට පමණක් ඇතැම් දේශපාලකයන්ගේ අතකොලු බවට වැඩිපුරම පත්වන්නේ ත්‍රීරෝද රථ රියැදුරෝය. ඡන්ද තිස්අට ලක්ෂයක් ඇති බව කියන ත්රීවිලර් රියැදුරන්ගේ ගැටලු පිළිබඳව සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියැදුරන්ගේ සංගමයේ සභාපති සුනිල් ජයරැක් මහතාගෙන් අපි විමසීමක් කළෙමු.
මේ වනවිට ලංකාවේ ත්‍රීරෝද රථ 1175,000ක් විතර ලියාපදිංචි වෙලා තියනවා. එයින් දස ලක්ෂයකට අධික ප්‍රමාණයක් මගී ප්‍රවාහනයට යොදවා තිබුණත් ඉන් දෛනිකව ධාවනය වෙන්නේ ත්‍රීරෝද රථ ලක්ෂ 7 ½ක් 8ක් වගේ ප්‍රමාණයක්. මේක විශාල සේවාවක්. එම රියැදුරන්ගේ පවුල්වල උදවිය ඇතුලු ලක්ෂ 50ක පමණ ප්‍රමාණයක් මෙම රැකියාව මගින් යැපෙනවා. මේ පවුල්වල උදවියගේ දක්ෂතා තියන දරුවන් රාශියක් සිටිනවා. නමුත් ඔවුනට අත දෙන්න කවුරුත් නැහැ. පොලීසිය පවා ත්‍රීරෝද රථ රියැදුරන් කෙරෙහි බලන්නේ වපර ඇහැකින්.
මැතිවරණ කාලයේදී විවිධ දේශපාලන පක්ෂවල උදවිය අහස උසට මැතිවරණ පොරොන්දු දෙනවා. නමුත් ඡන්දය ඉවරවුණාම ඒවත් බොරැ බොල් දේශපාලන පොරොන්දු බවට පත්වෙලා ඉවරයි. ඉතින් කුමන ආණ්ඩුවක් බලයට ආවත් අපි ගැන බලන්න කවුරුත්ම නැහැ.
වත්මන් රජය පහුගිය ජනවාරි මස 09 වැනි දින නිකුත් කර ඇති මෝටර් රථ වාහන පනතේ වාසි රැසක්ම තියෙන්නේ අපරාධකරුවන්ට. ඒ වගේම ගැසට් එකේ 11 වගන්තියේත් ගංජා, කසිප්පු අදින ජාවාරම්කරුවන්ට විශාල අවස්ථාවක් හදලා තියනවා. මේ හැමදේටම ත්‍රීරෝද රථ යොදාගන්නවා. නමුත් මේ මගින් සිදුවෙන්නේ වෘත්තිමය ත්‍රීරෝද රථ හිමියන්ටද විශාල අපහසුතාවයකට ලක්වීමක්.
ඒ වගේම එම ගැසට් පත්‍රයේ තියෙනවා යම් මගියකුට පාර්සලයක් හෝ යම් භාණ්ඩයක් ත්‍රීරෝද රථයේ අමතකවෙලා ගියහොත් ළඟම තිබෙන පොලිස් ස්ථානයට බාරදෙන්න කියලා. එම පාර්සලය අපි දකින ස්ථානයේ පොලීසියක්, පොලිස් මුරපොළක් නැතිවුණොත් අපි මොකද කරන්නේ? ඒ පාර්සලය අපි පොලීසියට අරන් ගියාම අපිට පොලීසියෙන් හයර් එකක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම මෙම ගැසට් එකෙන් විශාල අර්බුද රාශියක් මතුවෙලා තියනවා මෙම ත්‍රීරෝද රථ සේවාවට.
ලක්ෂ 38කට වැඩි ඡන්ද සංඛ්‍යාවක් අපි සතුව තියනවා. ඕනෑම මැතිවරණ වෙනසක් කරන්න ඒ ඡන්ද සංඛ්‍යාවට හැකියාවක් තියනවා කියලා මම හිතනවා. නමුත් සමහර දේශපාලකයෝ බයයි අපි සංවිධානය වෙනවට. මෙතෙක් බලයට පැමිණි සෑම රජයකින්ම අපි විසඳුම් ඉල්ලුවා. ඒ කිසි දෙයක් අපිට ලැබුණේ නැහැ. මේ ත්‍රීරෝද රථ ව්‍යාපාරයේ බුද්ධිමත් තරුණයන් රාශියක් ඉන්නවා. අපි හිතන් ඉන්නේ ඔවුනට ප්‍රාදේශීය මැතිවරණවලට හරි ඉදිරිපත් වෙන්න අවස්ථාවක් ලබාදෙන්න. අපි ඉදිරියේදී අපේ මේ ඉල්ලීම් වෙනුවෙන් සංවිධානය වෙනවා.
මෙපමණ ඡන්ද සංඛ්‍යාවක් ඇති බව පවසන ත්‍රීරෝද රථ රියැදුරන්ගේ ඉල්ලීම්වලට බලධාරීන් මෙතෙක් සවන් දී නැත. මොවුන් පවසන ආකාරයට සංවිධානය වී මැතිවරණයට පැමිණීමට තිබෙන ඉඩකඩ ගැනත් පවතින දේශපාලන පක්ෂවලට සිතා බැලිය යුතු කාරණා බොහෝමයක් ඇත.
හසිත් අංජන