2017 ජනවාරි 28 වන සෙනසුරාදා

මැදගම බැංකුවේ ඔපරේෂන් A.T.M

 2017 ජනවාරි 28 වන සෙනසුරාදා, පෙ.ව. 05:00 57

 

ජනවාරි 20 වැනිදා සිකුරාදා දවසකි. සති අන්තය එළැඹෙන්නට මත්තෙන් වූ අවසාන පැය කීපය නිසා ගනුදෙනුකරුවන් රාශියක් බැංකුවට එමින් යමින් සිටියහ. දවසම කාර්ය බහුලත්වයකින් පිරී තිබුණේ එබැවිනි. ගනුදෙනුකාර භවතුන් බැංකු පරිශ්‍රයෙන් පිටවී ගියද එහි කළමනාකාරිණිය ඇතුළු කාර්ය මණ්ඩලය නියමිත සේවය හමාරකොට නික්ම ගියේ වටින් පිටින් අහස කළුවර වෙමින් තිබියදීය. එතැන්න පසුව උදාවන සති අන්තයේ බැංකුව නිවාඩුය. එහෙත් ගනුදෙනුකාර භවතුන්ගේ අවශ්‍යතාවය සඳහා පහසුකම් සැපයීම බැංකුවේ වගකීමය. දින දෙකක් සඳහා අවශ්‍ය වෙතැයි අනුමාන කළ රුපියල් 57,75,800ක මුදලක් ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රය තුළ තැන්පත් කෙරුණේ ඒ අනුවය. සේවක මණ්ඩලය එදින පිටව ගියද ඔවුන් සාකච්ඡා කොටගෙන තිබුණේ 22 වැනි ඉරිදා පෙරවරුවේ බැංකු ශාඛාවට රැස් වී විශේෂ රැස්වීමකට සම්බන්ධ වීමටය.

ඒ අනුව උදා වූ ඉරිදා පෙරවරුවේ බැංකු කළමනාකාරවරිය පොරොන්දු වී ගිය පරිදි බැංකු පරිශ්‍රයට පැමිණියේ රැස්වීමට සහභාගිවීමටය. ඇය එහි පැමිණි මොහොතේම බැංකු ගොඩනැගිල්ලට යාබදව පිහිටි වෙළඳසලේ හිමිකරු කළමනාකාරවරිය ඉදිරියට පැමිණියේ යමක් පවසමිනි.

ආ... මිස් අද නිවාඩු දවසෙත් බැංකුවට ඇවිත්....

ඔව්... පොඩි රැස්වීමක් තියෙනවා... අනිත් අයත් මඟ එනවා ඇති... ඉතින් මොකද මේ පැත්තේ...?

මිස් මම මේ ආවේ පොඩි කාරණයක් කියන්න... මගේ බිල්ඩිමේ මෙහා පැත්තේ සී.සී.ටී.වී. කැමරා එකට බිල්ඩිමේ කොටසක් පේනවා... මිස්ලා සිකුරාදා බැංකුව වහලා ගියාට පස්සෙ මෙතන මිනිස්සු දෙන්නෙක් ගැවසෙනවා පටිගත වෙලා තියෙනවා. දෙන්නාගේ හැසිරීම ගැන සැකයි. ඒ ගැන කියලා යන්නයි ආවේ... කැමතිනම් මිස්ට වීඩියේ එක පෙන්වන්නම්....

හිතවත් ව්‍යාපාරික මහතා ලබාදුන් තොරතුරට ස්තූති කරමින් ඔහු සමඟ ගොස් පටිගත වී තිබූ වීඩියෝ දර්ශනය නරඹන්නට ඇය වැඩිවේලා ගත්තේ නැත.  සැබැවින්ම එහි දර්ශනය වන පුද්ගලයන් දෙදෙනාගේ හැසිරීම සැක සහිතය. පෙනුමින් යම් සොරකමකට සැරසෙන බවට ඉඟි දකින්නට තිබුණි. මේ පුද්ගලයන් කවරෙක්දැයි සිතමින් පිටව ගිය කළමනාකාරවරිය බැංකුවේ දොර විවෘත කරමින් ඇතුළට පිවිසියාය. වෙනසක් පෙනෙන්නට නොවූවද සැකයෙන් පැමිණි කළමනාකාරවරිය බැංකු පරිශ්‍රය සෝදිසි කරන්නට වූවාය.

සිකුරාදා සවස බැංකුවෙන් පිටව යද්දී තිබූ ඇතැම් සී.සී.ටී.වී. කැමරා ඒ මොහොතේ දකින්නට නොවීය. ඇතැම් ඒවා තිබූ තැන්හි වයර් කැබැල්ලක් පමණක් එල්ලෙමින් තිබිණ. තවත් තැනෙක තිබූ කැමරා කීපයක දර්ශන තලය වෙනස් කර තිබුණේ කිසිදු දර්ශනයක් පටිගත නොවන ආකාරයටය. මෙය දුටු කළමනාකාරවරියට බැංකු පරිශ්‍රයේ යමක් සිදුවී තිබෙන බවට පෙනී ගියෙන් ඇය ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රය දෙසට ගමන් කළාය.

දෑස් අදහාගත නොහැකි වූ ඇයගේ හුස්මද මඳකට නතරවූවා වැනිය. බැංකුව සතු ඒ.ටී.එම්. යන්ත්‍රය මුළුමනින්ම ගලවා දමා තිබූ අතර එහි තිබූ ලක්ෂ 58කට ආසන්න මුදලේ සතයක් හෝ දකින්නට නොවීය.

මෙය දුටු වහා කලබලයට පත් ඇය ඒ පිළිබඳව සිය හිතවත් ව්‍යාපාරික මහතාටද පවසා වහාම සිදුවීම සම්බන්ධයෙන් මැදගම පොලිස්ස්ථානයට දුරකථනයෙන් දැනුම් දුන්නාය.

ඉන්ස්පෙක්ටර්.... මම .......... බැංකුවේ මැනේජර්.... අපේ බැංකුව මංකොල්ල කාලා.... ඒ.ටී.එම්. එක ගලවලා. සල්ලි සේරම අරගෙන ගිහින්... ලක්ෂ 58ක් විතර තිබුණා. සී.සී.ටී.වී. කැමරා එහෙමත් කඩලා දාලා...

මෙසේ පැමිණිල්ල යොමුකළ සැණින් මැදගම පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සාගර දයාරත්න මහතා ක්‍රියාත්මක වී වහාම එම ස්ථානයට පොලිස් කණ්ඩායමක් පිටත් කළේය. නිලධාරීහු පැමිණි වහා සිද්ධිය පිළිබඳව විමර්ශන කටයුතු අරඹා අවට සෝදිසි කළහ. බැංකුව පරිශ්‍රයේ හදිසි තත්ත්වයකදී ක්‍රියාත්මක වන ස්වයංක්‍රීය නළා පද්ධතියක් නොවීය. එය බැංකු ශාඛාවේ තිබූ බරපතළ අඩුපාඩුවකි. ස්ථාන කීපයක පිහිටුවා තිබූ සී.සී.ටී.වී. කැමරා ගලවා තිබුණි. ඇතැම් ඒවා ගලවා එහි දත්ත ගබඩා කොටස රැගෙන ගොසිනි. තවත් ඒවායේ සම්බන්ධතාව අවහිර වන පරිදි වයර් ගලවා දමා ඇත. ඇතැම් කැමරා දර්ශන පථය වෙනස් කර තිබුණේ කිසිවක් පටිගත නොවන පරිදිය.

මේ අනුව පොලීසිය සැක කරන්නේ සී.සී.ටී.වී. කැමරා පිළිබඳව යම් අවබෝධයක් ඇති  අයකු විසින් මේ ක්‍රියාව සිදුකරන්නට ඇති බවය. ඒ.ටී.එම්. යන්ත්‍රය පිළිබඳව අවධානය යොමු කිරීමේදී පෙනී ගොස් තිබුණේ වෙල්ඩින් ප්ලාන්ට් උපකරණයක් භාවිතයෙන් කපා ඇති බවය. ඊට ඇවැසි සාධක රාශියක් පෙනෙන්නට වූයෙන් එහි පැමිණි පුද්ගලයාගෙන් පුද්ගලයන් බැංකුවට ඇතුළු වූයේ කෙසේදැයි විමර්ශනය කරන්නට විය.

එහිදී පෙනී ගොස් තිබුණේ බැංකුව සතු ජෙනරේටරයක දුම් පිටවීම සඳහා සවිකළ බටය පිටවන ස්ථානයේ ආරක්ෂාවට සවිකර තිබූ යකඩ ග්‍රිල් ආවරණය ගලවා එතුළින් යම් කිසිවකු ඇතුළු වී තිබෙන බවය. මෙසේ ඇතුළු වූ පුද්ගලයන් වහාම සී.සී.ටී.වී. අක්‍රිය කරමින් දර්ශන පථ වෙනස් කර තිබූ නිසා සාක්ෂි රාශියක් ගිලිහී ගොස් තිබුණි. බැංකුව සතු ඒ.ටී.එම්. යන්ත්‍රය පිහිටුවා තිබූ ආසන්නයේ පිහිටි වන ලැහැබ කොල්ලකරුවන්ට යම් රුකුලක් වී තිබෙන බවද පැහැදිලිය.

මේ අනුව පොලීසිය පවසන්නේ මංකොල්ලය 21 වැනි සෙනසුරාදා රාත්‍රී 10.45ට පමණ සිදුකර ඇති බවය. මෙම බැංකුවට අනුයුක්තව ආරක්ෂක නිලධාරියකු සේවය කළද ඔහුගේ සේවය ලැබෙන්නේ සතියේ දිනවල දිවා කාලයේ පමණය. එබැවින් රාත්‍රියේදී හෝ නිවාඩු දිනවල ඊට ආරක්ෂාවක් ලැබෙන්නේ නැත. මංකොල්ලය සිදුවූ ස්ථානයේ සිට මැදගම පොලීසියට ඇත්තේද මීටර් 200ක පමණ දුරක් පමණි. කොල්ලකරුවන් ඒ පිළිබඳව කිසිදු තැකීමක් කර තිබුණේ නැත. සිද්ධිය සම්බන්ධයෙන් මැදගම පොලීසිය වැඩිදුර විමර්ශන මෙහෙයවති.

♦ සමන්ත ප්‍රදීප් විල්තෙර