2017 ජනවාරි 28 වන සෙනසුරාදා

දියවැඩියාවට හොඳ - නරක කෑම බීම

 2017 ජනවාරි 28 වන සෙනසුරාදා, පෙ.ව. 05:00 20778

 

මීට වසර කිහිපයකට ඉහතදී අප දන්නා හඳුනන කුඩා දැරියක් හදිසියේම රෝගාතුර වූයේ කිසිවකුත් බලාපොරොත්තු නොවූ පරිද්දෙනි. මෙම රෝගී තත්ත්වය නිසා ඇය පමණක්ම නොව ඇගේ පවුලේ සාමාජිකයන්ද වඩාත් අසීරුතාවයට පත්වූ අතර ඇයට වැළඳී තිබුණේ දියවැඩියාව රෝගයයි. කුඩා අවධියේ පටන්ම කඩකෑම, පැණිරස කෑම ආදියට හුරුවී සිටි ඇයට ජානමය බලපෑමත් සමඟම එම ආහාර පුරුද්ද රෝගය සඳහා හේතු වූ බවට වෛද්‍යවරුන්ගේ මතය වූ අතර එවක අවුරුදු 3ක් පමණ වයස වූ ඇය අද දක්වාම ජීවත්වන්නේද දියවැඩියාව සඳහා ඖෂධ ලබාගනිමිනි. එමතුද නොව ඇය ඉදිරියේදී ජීවත්විය යුත්තේද ඖෂධවල පිහිටෙනි.

බෝනොවන රෝග අතරින් ඉදිරියෙන්ම සිටින දියවැඩියාව අද වනවිට බරපතළ සෞඛ්‍ය ගැටලුවක් බවට පත්ව ඇත. ලංකාවේ වෙසෙන ජනගහනයෙන් බහුතරයක් දියවැඩියාව රෝගයෙන් පෙළෙති. එම සංඛ්‍යාව දිනෙන් දිනම ඉහළ යන්නේ නිවැරදි ජීවන පුරුදුවලින් ජනයා බොහෝදුරට ඈත්වෙමින් පවතින පසුබිමක් තුළය. ඉදිරියේදී තවත් පිරිසක් මෙවැනි රෝගයන්ට ගොදුරුවීම වැළැක්වීමේ අභිලාෂයෙන් අද අපේ වෙදකමෙන් දියවැඩියාවට ඉඩහසර වෙන් කරමු. 
මේ සම්බන්ධයෙන් බොරැල්ල ආයුර්වේද ශික්ෂණ රෝහලේ පංචකර්ම අංශයේ වෛද්‍ය දීපා ගුණතිලක මහත්මිය මෙසේ අදහස් දැක්වූවාය.

සාමාන්‍යයෙන් ජනවහරේ එන ආකාරයට දියවැඩියාව එහෙමත් නැතිනම් ආයුර්වේද වෛද්‍ය ක්‍රමය යටතේ මධුමේහය කියන්නේ අද සමාජයේ වැඩිපුරම දකින්නට ලැබෙන රෝගී තත්ත්වයක්. ඇත්තටම අපි මෙම රෝගය විස්තර කරන්නේ ප්‍රමේහ රෝග යටතේයි. ප්‍රමේහය කියන්නේ මුත්‍රා ජනන පද්ධතිය ආශ්‍රිත රෝගී අවස්ථාවක්. 

සාමාන්‍යයෙන් මෙය රෝගයක් කිව්වට රෝග පද්ධතියක්. ප්‍රමේහය අවස්ථාවකදී පිටකරන මුත්‍රාවල ප්‍රමාණය වැඩිවෙනවා. අනිත් එක තමයි සාමාන්‍ය පුද්ගලයෙක් මුත්‍රා පිටකිරීමකදී පිටවන අපද්‍රව්‍ය ප්‍රමාණයක් තියෙනවනෙ, නමුත් ප්‍රමේහ අවස්ථාවේ එම තත්ත්වය මීට වඩා වෙනස් වෙනවා. එනම් ප්‍රමේහයේදී මුත්‍රා සමඟ පිටනොවිය යුතු දේවල්ද පිටවෙනවා. උදාහරණයක් විදිහට නිරෝගී පුද්ගලයකුගේ මුත්‍රා සමඟ සීනි පිටවීමක් සිදුවෙන්නේ නැහැනෙ. සීනි පිටවෙන්න ගත්තොත් අපි කියන්නේ ඒක රෝගී තත්ත්වයක් කියලයි. ප්‍රමේයේදී සමහර වෙලාවට රුධිරය පිටවෙනවා. තවත් සමහරවිට පිෂ්ඨය පිටවෙනවා. ශුක්‍ර පිටවන අවස්ථාවනුත් තියෙනවා. ඒ අනුව ප්‍රමේහය ප්‍රමේහ රෝග 20ක් යටතේ වර්ග කරලා තියෙනවා. ඒකෙනුත් මුත්‍රා සමඟ මධුර පදාර්ථ ඒ කියන්නේ සීනි පදාර්ථ (ශර්කරා) පිටවීම තමයි මධුමේහය නැත්නම් දියවැඩියාව කියලා  හඳුන්වන්නේ. ආයුර්වේදයේ සඳහන් වන ආකාරයට මධුමේහයේදී පිටකරන මුත්‍රාවල පැහැය, රස, ගන්ධය ආදී සියල්ලක්ම මීපැණිවලට සමානයැයිද සැලකෙනවා.

මධුමේහය හටගන්නේ

කිසිදු ව්‍යායාමයකින් තොරව නිරතුරුවම සුවපහසු ජීවන රටාවන්ට අනුකූලව ජීවත්වන පුද්ගලයන් හට මෙම රෝගය හටගැනීමේ ප්‍රවණතාවය වැඩිය. එසේම කිරි ආහාර වැඩිපුරම ගැනීමද, මස් වර්ග වැඩිපුර ආහාරයට එක්කරගැනීමද රෝගයට අතවැනීමකි. අලුත් ධාන්‍ය වර්ග ආහාරයට ගැනීමෙන්ද, අලුත් වැසි ජලය පානය කිරීමෙන්ද දියවැඩියාව හටගත හැක. ඊට අමතරව හකුරු මිශ්‍රකර සකස් කරගන්නා සියලුම ආහාර වැඩිපුර ගන්නා හා පිෂ්ඨ ආහාර වැඩියෙන් ලබාගන්නා පිරිස් දියවැඩියා රෝගයට වැඩිපුර ගොඳුරුවීමේ නැඹුරුතාවයක් ඇත.

මධුමේහයේ පූර්ව රූප

අනෙකුත් බොහෝ රෝග මෙන්ම මධුමේහය රෝගයේත් මූලික රෝග ලක්ෂණ පෙන්නුම් කෙරෙන අවස්ථා ඇත. වැඩිපුර දහඩිය දැමීම, ඇස්වලින් වැඩිපුර ශ්‍රාව පිටවීම, උදෑසන අවදිවන විට දිව මැලියම් වැනි ද්‍රව්‍යයකින් බැඳී තිබීම මෙලෙස පෙන්වන දියවැඩියාවේ පූර්ව ලක්ෂණයන් කිහිපයක් විය හැක. එසේම වැඩිපුර නියපොතු වැවීමද දියවැඩියාව රෝගය පෙන්නුම් කෙරෙන එක් ලක්ෂණයක් විය හැකිය. යම් පුද්ගලයකු හට අතපය දැවිල්ලක් ඇත්නම් එයද දියවැඩියාවයැයි සැක කළ හැකි එක් ලක්ෂණයකි. මෙම සියලු රෝග ලක්ෂණයන්ට අමතරව සම සිනිඳු වීම, පිපාසය වැඩිපුර දැනීම, කටට මිහිරි රස දැනීම, දැඩි කුසගින්නක් දැනීම ආදියද දියවැඩියාවේ පූර්ව ලක්ෂණයන්ය.

දියවැඩියාව හඳුනාගන්නේ

දියවැඩියාව රෝගය හඳුනා ගැනීම සිදුකෙරෙන්නේ ඒ සඳහා කරන පරීක්ෂණය මගිනි. මෙය රුධිර පරීක්ෂාවක් වන අතර පැය 10ක් නිරාහාරව සිට රුධිරයේ සීනි ප්‍රමාණය පරීක්ෂා කිරීමේදී එහි අගය ඩෙසිලීටරයට මිලිග්‍රෑම් 126 (126mg/dl)ට වඩා වැඩිනම් එම පුද්ගලයා මධුමේහයෙන් පෙළෙන පුද්ගලයකු ලෙස හඳුනාගත හැකිය. එසේම නිරෝගී පුද්ගලයකුගේ HbAIC අගය සියයට 6ට වඩා අඩුවිය යුතුයි. මෙමගින් පරීක්ෂාවට ලක්කෙරෙන්නේ හිමොග්ලොබින් සමඟ බැඳී ඇති සීනි ප්‍රමාණයයි. මෙම පරීක්ෂාව යම් දිනයක සිදුකරනවානම් එදින ලැබෙන සංඛ්‍යාවට අනුව පෙන්වන්නේ මීට මාස තුනකට ඉහතදී හිමොග්ලොබින් සමඟ බැඳී තිබූ සීනි ප්‍රමාණයයි.

දියවැඩියා සඳහා ප්‍රතිකාර කිරීමේදී

ආයුර්වේදයේ සඳහන්ව ඇති ආකාරයට ඕනෑම රෝගයකට ප්‍රතිකාර කිරීමට පෙර විශේෂයෙන්ම ප්‍රමේහ රෝගවලදී රෝගය හටගැනීම සඳහා බලපෑ හේතු එනම් රෝග නිධානය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකරයි. මෙහිදී රෝගයට ප්‍රතිකාර කෙරෙන අතරම රෝගයට හටගැනීමට හේතු වූ සාධකයද රෝගියා කෙරෙන් ඉවත් කරනු ලැබේ. ආහාර, ඖෂධ, ව්‍යායාම හා ආධ්‍යාත්මික ස්වභාවය යන මේ කරුණු හතරම දියවැඩියා රෝගියකු සඳහා ප්‍රතිකාර කිරීමේදී වඩා වැදගත් කොට සැලකේ.

සුදුසු ආහාර

ඕනෑම රෝගියකු හට සුදුසු ආහාර සේම නුසුදුසු ආහාර ද ඇත. ආයුර්වේදයේදී ආහාරවල ගුණ ස්වභාවය මධුර, අම්ල, ලවණ, කටු, තිත්ත, කෂාය ලෙස කොටස් පහකට වර්ග කෙරේ. ඒ අතරින් කටු, තිත්ත, කෂාය කියන රස ත්‍රිත්වය මධුමේහ චිකිත්සාවේදී බහුලව යොදා ගනී. බැදපු යව (බාර්ලි), යවවලින් සාදන ලද ආහාර, අමුනම් ධාන්‍යය, කඩල, කොල්ලු, උඳු, මුං ඇට, පැරැණි සහල් වර්ග (හැමදා සහල්) මධුමේහ රෝගීන් සඳහා සුදුසුය. ත්‍රිපලා (අරළු, බුළු, නෙල්ලි) නෙල්ලි යුෂ, පැරැණි මී පැණි, හාල්, තිත්ත රස පලා වර්ග (කිරි අගුණ, අගුණ, කුරිඤ්ඤං කොළ, තෙබු, කතුරුමුරුංගා) ආදිය ද මධුමේහය සඳහා සුදුසුය. මධුමේහ රෝගීන්ගේ බහුල රක්තහීනතාවයක් ද දක්නට ලැබෙන බැවින් ඔවුන්ට යකඩ අඩංගු ආහාර වැඩිපුර ලබාදිය යුතුය. ඉහත සඳහන් කළ පලා වර්ගවල යකඩ, ඛණිජ ලවන ආදිය අඩංගු බැවින් දියවැඩියා රෝගීන්ට එවැනි ආහාර වඩාත් සුදුසු වේ.

මාංශ අනුභවයේදී දියවැඩියා රෝගීන් තෝරාගත යුත්තේ මේදය අඩු මස් වර්ගයි. ඌරු මස්, හරක් මස්, කුකුල් මස් තෙල් සහිත බැවින් ඉන් හැකිතාක් ඈත්වීම යෝග්‍යය වේ. නමුත් මේ සියලු දේ ලබාගතයුත්තේ වෛද්‍ය උපදෙස්වලට අනුවය. ආයුර්වේදයේ සඳහන් වන ආකාරයට මාළු වර්ග වැඩිපුර ගැනීමත් මධුමේහයට හේතුවන අතර මෙහිදී තෝර මාළු, පරා මාළු, අමු හාල් මැස්සො ආහාර සඳහා උචිතය. 

කාමරංගා හොඳ ඔසුවක්

කාමරංගා දියවැඩියාව රෝගීන්ට වඩාත් ගුණදායක පළතුරකි. මෙවැනි පළතුරක් රසවත් සලාදයක් ලෙස සකසා ආහාරයට ගතහැකි අතර අතුරු විපාක ඇතිවිය හැකි බැවින් ඒවාද අනවශ්‍ය පමණට ආහාරයට ගැනීමටද සුදුසු නැත. ඇඹුල් කෙසෙල්, ගස්ලබු, පේර, නෙල්ලි, නමිනං වැනි ස්වභාවික පළතුරු වර්ගද නියමිත ග්‍රෑම් ප්‍රමාණවලින් ආහාරයට ගතහැකි අතර කෝලිකුට්ටු කෙසෙල්, ඇපල්, මිදි වැනි පලතුරු එතරම් සුදුසු නොවේ.

දිනකට ආහාර වේල් පහක්

සාමාන්‍ය දිනකට අපි ආහාර වේල් තුනකට පුරුදුව සිටියද දියවැඩියා රෝගීන්ට අධික ලෙස කුසගිනි දැනෙන නිසා ඔවුන් ආහාර වේල් පහක් ලෙස ආහාර ගත්තාට ගැටලුවක් නැත. නමුත් මෙහිදී එක් එක් වේලක් සඳහා ආහාර ලබාගත යුත්තේ සුළු ප්‍රමාණයකි. සාමාන්‍යයෙන් බත් පිඟානක් බෙදා ගැනීමේදී පිඟානක් රැගෙන එය කොටස් හතරකට වෙන්කරගෙන එයින් හතරෙන් එකක් බත්, හතරෙන් එකක් පලා වර්ගයක්, තවත් හතරෙන් එකක් එළවළුවක් හා අනෙක් හතරෙන් එක අප ආහාරයට ගන්නා ප්‍රෝටීන් අඩංගු ද්‍රව්‍යයක් ලෙස ආහාර බෙදාගත යුතුය. හාල්වලිනුත් වඩා සුදුසු රතු සහලයි.

දියවැඩියා රෝගීන්ට නුසුදුසුයි

දුම්පානය, මත්පැන් පානය, කිරි ආහාර වැඩි වැඩියෙන් ගැනීම, එළඟි තෙල් වැනි තෙල් වර්ග නිරතුරුව ආහාරවලට එක්කර ගැනීම, මුදවපු කිරි, පිටි කෑම වර්ග මේ සෑම දෙයක්ම දියවැඩියාට අගුණය. එසේම වර්තමානයේ කුඩා දරුවන් ඇතුළු බොහෝදෙනා හුරුවී සිටින කෙටි කෑම වර්ග බොහොමයක්ම දියවැඩියා රෝගීන් සඳහා නුසුදුසුය. විශේෂයෙන්ම නාගරික ප්‍රදේශයන්හි දරුවන් නිවසේ සාදන කෑමවලට වඩා කඩකෑමවලට වැඩි නැඹුරුතාවයක් දැක්වීමත්, බොහෝවිට ව්‍යායාමයෙන් තොර ජීවන රටාවකට හුරුවීම එනම්, නව තාක්ෂණික මෙවලම් සමඟ වැඩිපුර කාලය ගතකිරීමත් දියවැඩියාව ඇතුළු තවත් රෝග බොහොමයකටම අතවැනීමකි.

නිවෙසේදී කළ හැකි ප්‍රතිකර්ම

මධුමේහයෙන් පෙළෙන රෝගියකුගේ සමට කෙරෙන සත්කාරයක් ලෙස සැවැන්දරා, කුරුඳු කුඩු, එනසාල්, අගිල් සුදුහඳුන් ආදිය හොඳින් අඹරා චූර්ණයක් ලෙස සකස් කර වතුරේ දියකර සමෙහි අලේප කිරීම ගත හැකිය. මෙලෙස මඳ වේලාවක් ආලේප කර සිට පසුව ස්නානය කිරීමෙන් සමෙහි අපද්‍රව්‍ය ඉවත් වී සම පිරිසිදු වීම සිදුවේ.

ජලය පානය කිරීම

උදෑසන අවදි වූ ගමන්ම මඳ උණුසුම් වතුර වීදුරුවක් පානය කිරීමද දියවැඩියා රෝගියකුට වඩාත් සුදුසුය. මේ නිසා ආහාර මාර්ගය පිරිසිදුවීමක් මෙන්ම ආහාර මාර්ගයෙහි එන්සයිම උත්තේජනය වීමක්ද සිදුවේ. නිරෝගී පුද්ගලයන් හටද මෙවැනි පුරුදු ඇතිකර ගැනීම හරහා වඩාත් සෞඛ්‍ය සම්පන්න දිවි පෙවෙතක හිමිකම් කිව හැකිවේ.

මානසික ආතතිය පාලනය

එදිනෙදා කාර්යබහුල ජීවිතයේදී ඇතිවන මානසික ආතතියද බොහෝමයක් රෝග හටගැවීම සඳහා හේතු සාධක වේ. නිතර මනස කැළඹෙන දේවලින් අන්තරාසර්ග පද්ධතියේ හෝමෝන ස්‍රාවය වෙනස් වීම සිදුවිය හැකි අතර එමගින් ඉන්සියුලින් ස්‍රාවයටද බලපෑමක් සිදුවිය හැකිය. දියවැඩියාව හටගන්නේද ඉන්සියුලීන් ස්‍රාවයෙහි බලපෑමෙන් වන නිසා මනසට විවේකය ලබාදීම කළ යුත්තකි. භාවනාව, යෝග, ව්‍යායාම, මානසික ආතතිය තුරන් කිරීමේ මහා පිටුවහලකි.

නින්ද

ස්ථූලතාවය නිසා දියවැඩියාවට ගොදුරුවූවන් හට නින්ද මඳක් අඩුකරන ලෙස කියා තිබුණත් යම් පුද්ගලයකු කාර්ය බහුලතාවය නිසා නිදිමරනවානම් එය ඉතා අයහපත්ය. රාත්‍රියට අධික ලෙස නිදිමරන පුද්ලයන්ගේ රුධිරයෙහි සීනි මට්ටමද වැඩිවිය හැකි අතර රෝගියකුගේ ඒ තත්ත්වය තවදුරටත් වැඩිවේ. එබැවින් නින්ද යනු රෝගියකු හට අවශ්‍යම දෙයකි. එමෙන්ම මනසට සැහැල්ලු සංගීතය රසවිඳීමද රෝගී නිරෝගී ඕනෑම පුද්ගලයකුට සුදුසුය.

♦ හේමමාලා කුමාරි රාජකරුණා