2017 ජනවාරි 07 වන සෙනසුරාදා

අවසන් හුස්ම හෙළන පෙතන්ගොඩ උණ පඳුර

 2017 ජනවාරි 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 1054

පෙතන්ගොඩ කටු උණ පඳුර මැරෙනවා. එම ආරංචිය ලැබුණු විට මට මතක් වූයේ වසර 10කට පමණ පෙර පෙතන්ගොඩ උයනට ගොස් උණ පඳුරේ සිසිල විඳි ආකාරයයි. ශ්‍රී ලංකාවේ රාජ නාමාවලියේ සුවිශේෂී චරිතයක් වූ සීතාවක පළමුවෙනි රාජසිංහ (1581 – 1592) රජුගේ ජීවිතය හා සබැඳි ජනප්‍රවාද ගෙතී පවතින මෙම උණ පඳුර නිසාම පෙතන්ගොඩ ගම්මානයද ප්‍රකට වී තිබේ.

උණ පඳුරට වූ ඇබැද්දිය සොයා බලා පාඨකයන් දැනුම්වත් කිරීම උදෙසා අපි පසුගියදා එහි ගියෙමු. මුලින්ම අප ගියේ රාජසිංහ රජුගේ සොහොන පිහිටි ස්ථානයටය. අවිස්සාවේල්ලේ සිට හැටන් පාරේ කි.මී. 1 ½ක් පමණ දුරින් පිහිටි තල්දුවට ගොස් අමිතිරිගල මාර්ගයේ (නිට්ටඹුව මාර්ගය) කි.මී. 3ක් පමණ දුරින් තුරඟ තරග පිටියට නුදුරින් එම ස්ථානය පිහිටා තිබේ.

රුසිරු පෙතන්ගොඩ උයනට    වැඩියාය
නපුරු උණ කටුව පතුලේ        ඇනුණාය
එක්ව සිටි සැවොම වටලා        මතුලාය
රාජසිංහ දෙවි නාමෙත්           මැකුණාය

පෙතන්ගොඩ උයනේදී විෂ උණ කටුවක් ඇනී අසනීප වූ රාජසිංහ රජු කැලණි ගඟ ඔස්සේ සීතාවකට රැගෙන එන අතර කිකිළි බිත්තර වැල්ල නම් තොටුපොළේ දී මියගිය බවත්, දේහය අඟුල පිටින්ම ගෙනැවිත් මේ ස්ථානයේ දී ආදාහනය කළ බවත් ජනප්‍රවාදයේ එයි. රාජසිංහ රජු දේව අඟුලෙන් පෙතන්ගොඩ සිට එන විට කිකිළි බිත්තර වැල්ලේදී කතා කළා මිස ඊට පසු කළ දෙයක් නැතිව උකුත් වුවාහුය. (මිය ගියේය) ශත වර්ෂ එක්වා දහස් පන්සිය දාහතර අවුරුද්දක් ගියා කියා දැනගත යුතුය. (ක්‍රි.ව. 1591) එක්සත් කළ රාජසිංහ උකුත් වූ පසුව එල්ලාවල උන් රාජසූර්ය කුමාරයාට රාජ්‍යය බාර කළේය. රාජාවලිය එම අවස්ථාව පවසන්නේ එලෙසිනි.

රාජසිංහ රජුගේ දේහය ස්පර්ශ කිරීමටත් කිසිවෙක් බියවූ බවත්, ඒ නිසාම අඟුල පිටින්ම ගෙනවිත් නැත්පත් කළ බවත් ජනප්‍රවාදවල පැවසේ.

 

රාජාවලියේ දේහය ආදාහනය කිරීම ගැන සඳහනක් නැත. අලකේශ්වර යුද්ධය, මානියම්ගම පුස්කොළ ලිපිය, කූතෝගේ වාර්තා ආදියේ රාජකීය දේහය ගෞරව සහිතව ආදාහනය කළ බව සඳහන්ය. රට හෙල්ලූ රජ කෙනකුගේ දේහය රහසිගතව ආදාහනය කිරීම නම් පිළිගත නොහැකිය. කෙසේ වුවත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් එය රාජසිංහ සොහොනයැයි නම් කර රක්ෂිත ස්මාරකයක් බවට පත්කර එම ස්ථානය වටා ආරක්ෂිත වැටක්ද ඉදිකර තිබේ.

කැලණි නදීබඩ සුන්දර බිම්කඩක පිහිටි මෙහි දැකගත හැක්කේ ගල් පුවරු කිහිපයක් පමණි. එය වටා ආරක්ෂාවට යකඩ වැටක් ඉදිකර තිබේ. තවත් ජනප්‍රවාදයක් පවසන්නේ රාජසිංහ රජුගේ ප්‍රතිරාජයෙක් වශයෙන් උඩරට රාජධානිය පාලනය කළ පසුව රාජසිංහ විසින්ම බොරු වළක දමා ඝාතනය කළ වීරසුන්දර බණ්ඩාරගේ සොහොන පිහිටියේ මේ ස්ථානයේ බවයි. කෙසේ වුවත් වැඩි දෙනෙක් මෙහි එන්නේ රාජසිංහගේ සොහොන දැකගැනීමේ බලාපොරොත්තුවෙනි.

වසර 11ක් සීතාවක පාලනය කළ පෘතුගීසින් බියට පත් කරමින් විටෙක රටම එක්සත් කළ රාජසිංහගේ මරණය සිහිපත් කරමින් අපි පෙතන්ගොඩ උයන දක්වා ගමන් කළෙමු. ඒ සඳහා සීතාවක අවිස්සාවේල්ලේ සිට කෑගල්ල මාර්ගයේ අඟුරුවැල්ල නගරයෙන් හැරී ගමන් කළ යුතුය. අඟුරුවැල්ලේ සිට වරකාපොළ පාරේ කි.මී. 4ක් ගමන් කරන විට නාගස් හන්දිය හමුවේ. එහි සිට රාජසිංහ මාවතේ කි.මී. 2ක් ගමන් කරන විට පෙතන්ගොඩ උයනට ළඟාවිය හැකිය. මම රාජාවලියේ සඳහනක් මතක් කර ගතිමි.

රාජසිංහ රජ්ජුරුවෝ කන්ද උඩරට ගොසින් මාවෙල වාඩිලාගෙන සිට බලනෙන් කඩුගන්නා පාරෙන් මහ සෙනඟ අරින විට පැරැදී මනම්පේරි මොහොට්ටාලට ගල්බඩ කෝරළේ හා පරණකරු කෝරළේ දී කඳුරුගස් කපොල්ල හරහා පෙතන්ගොඩ උයනට ළඟා වූහ. එහිදී ශ්‍රීපතුලේ උණ කටුවක් ඇනී වේදනා දෙන විට දොඩම්පේ ගණිතයා හූනියම් කර විස බැන්දේය.

කැලණි නදියේ ශාඛාවක් වූ ගුරුගොඩ ඔය අසබඩ පිහිටි සුන්දර බිම්කඩකි, පෙතන්ගොඩ උයන. එය 15.16 සියවස්වලදී පහතරට සීතාවක හා කෝට්ටේ සිට කන්ද උඩරටට වැටී තිබූ මාර්ගයේ වැදගත් ස්ථානයක් විය. උයන අසල පිහිටි කෙත්යාය එකල වැවක් වූ බවද පැවසේ. මේ මාර්ගයේ උඩරටට ගමන් කළ ප්‍රභූවරු විඩා සංසිඳුවාගත් ස්ථානයක් වශයෙන් පෙතන්ගොඩ උයන වැදගත් වේ. ගුරුගොඩ ඔය අසලින් ගලා ගිය නිසා ඔරු පාරු මගින්ද මේ ස්ථානයට ළඟා විය හැකිව තිබුණි. රාජසිංහ රජු සීතාවක මාලිගයේ සිට බොහෝ ස්ථානවලට ගමන් කළේ ගංඟා ඔස්සේ බව පැවසේ. පෘතුගීසීන්ගෙන් හා කෝට්ටේ රාජධානියෙන් එල්ල වූ තර්ජන නිසා එසේ කළ බව සිතීමටද ඉඩ තිබේ. සීතාවක නදිය දිගේ ගමන් කර තල්දූවේ දී කැලණි ගඟට වැටී ඊට පසු රුවන්වැල්ල දක්වා යාත්‍රා කර එහි සිට ගුරුගොඩ ඔය ඔස්සේ ගමන් කර තිබේ. උඩරට ආක්‍රමණය කිරීමට රුවන්වැල්ල දක්වා ගමන් කර ඇත්තේ ද එලෙස ගංඟා ඔස්සේය.

වර්ෂ 1592 දී විමලධර්මසූරිය රජු සමඟ උඩරට බලනේ දී සටන් කළ රාජසිංහ රජු පැරැදී එන අතරමඟ පෙතන්ගොඩ උයනට ගියේය. එම උයනෙහි කටු උණ ගස් බහුලව පිහිටා තිබුණි. ඉන් බිම වැටී තිබූ එක් උණ කටුවක් පාදයේ ඇනීම නිසා රජු වේදනාවෙන් පෙළෙන්නට විය. (සමහරු පවසන්නේ රජුට සර්පයෙක් දෂ්ට කළ බවයි.)

පෙතන්ගොඩට නුදුරුව ගෝනගල පදිංචිව සිටි දොඩම්පේ ගණිතයා රජුට ප්‍රතිකාර සඳහා කැඳවීය. ඔහු එකල විසූ දක්ෂ මන්ත්‍රකරුවෙක් හා වෛද්‍යවරයෙක් විය. ඇත්බෙටි, ගවබෙටි, අශ්වබෙටි තල තෙලින් කකාරා තුවාලයට යෙදවූ බවත් ඒ නිසා රජුට පිටගැස්ම වැළඳී මරණයට පත්වූ බවත් සීතාවක රාජසිංහ රාජ්ජ කාලය නම් පුස්කොළ ලිපියේ සඳහන්ය.

ජනප්‍රවාදවල දැක්වෙන්නේ දොඩම්පේ ගණිතයා ප්‍රතිකාර කරනු වෙනුවට විස බන්දවා රජු අසාධ්‍ය තත්ත්වයට පත්කළ බවය. එයට හේතුව වන්නේ රාජසිංහගේ පුත්‍රයා වූ රාජසූරිය කුමාරයා දොඩම්පේ ගණිතයාගේ රූමත් දියණිය හා පෙමින් වෙළී සිටියදී රාජසිංහ රජුටද එම තරුණිය අවශ්‍ය වීමයි. මේ නිසා රාජසූරිය කුමරු එල්ලාවල ප්‍රදේශයට ගොස් සිටි අතර, දොඩම්පේ ගණිතයා රජු සමඟ අමනාපයෙන් සිටියේය.

සීතාවක රාජ්‍ය කාලය හා සබැඳි අපූරු ජනප්‍රවාදවලට පසුබිම සැපයූ පෙතන්ගොඩ උයනේ කටු උණ පඳුරු දෙකක් තිබේ. අතු පතර විහිදුවා ගන සැරේට වැවී තිබූ මේ උණ පඳුරු ටික කලක සිට මැරී යන්නට පටන්ගෙන ඇත. ඒ නිසා කලකට පෙර තිබූ අලංකාර සෙවණ සහිත වටපිටාව අද පෙතන්ගොඩ උයනේ නැත. මේ උණ ගස්වල විශේෂත්වය නම් රිකිලිවල තියුණු කටු දක්නට ලැබීමයි. මේවා කොළ උණ විශේෂයක් වන අතර, ශ්‍රී ලංකාවේ ස්ථාන කිහිපයක පමණක් දක්නට ලැබෙන දුලබ ශාකයකි.

මාස දෙකක පමණ කාලයක සිට උණ පඳුරේ වෙනසක් දක්නට ලැබුණා. කොළ පාට ස්වභාවය මැකී ගිහින් කහ ගැහිලා. ගමේ මිනිස්සු උණ පඳුරට ආදරෙයි. මේ නිසා ඔවුනුත් කනගාටුවට පත්වෙලා. ඒ වගේම හවසට පිට ප්‍රදේශවලින් මත්පැන් බීමට මෙතැනට ත්‍රීවිලර්වලින් එනවා. මම ඒ ගැන අවධානයෙන් ඉන්න කියලා ගමේ අයට කියලා තියෙන්නේ. එලෙස අපට පැවසුවේ පෙතන්ගොඩ රාජසිංහාරාමයේ විහාරාධිපති කළුගල සීලරතන හිමියෝ වෙති.

උණ පඳුරු දෙකේම බොහෝ ගස් මැරී වැටී ඇත. තවත් ගස් නැවී කහ පාට වී තිබේ. දැනට පඳුරෙන් තුනෙන් දෙකක් පමණ මැරී අවසානය. මෙම පුරාවිද්‍යා රක්ෂිතය අයත් සබරගමුව පුරාවිද්‍යා කාර්යාලයටය. අපි සබරගමුව පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂ තිස්ස මදුරප්පෙරුම මහතාගෙන් ඒ ගැන ඇසුවෙමු.

උණ පඳුරේ දන්න කාලයක මල් පිපිලා තිබුණේ නැහැ. මෑතකදී එහි මල් හටගෙන තිබෙනවා. ඊට පසු තමයි ක්‍රමයෙන් මැරෙන්න පටන් ගත්තේ. උණ ගස්වල මල් පිපුණට පස්සේ මැරෙන බවට කතාවක් තිබුණා. මම මේ උණ ගස් පරීක්ෂා කර බලන්න කියලා පේරාදෙණිය උද්භිද උද්‍යානයෙන් ඉල්ලා සිටියා. මදුරප්පෙරුම මහතාගේ ඉල්ලීම පරිදි පේරාදෙණිය උද්භිද උද්‍යානයේ උද්භිද විද්‍යාඥයෝ කණ්ඩායමක් පැමිණ පරීක්ෂණ පැවැත්වූහ. ඔවුන්ගේ නිගමනය වූයේ ද මල් හටගත් පසු උණ ශාකය මියයාම ස්වභාවික සංසිද්ධියක් බවයි. ඒ බව සඳහන් ලිඛිත වාර්තාවක් ද ඔවුන් සහකාර අධ්‍යක්ෂවරයාට බාරදී තිබේ.

අපි උණ පඳුරු දෙක වටේම යකඩ කම්බි යොදා ආරක්ෂිත වැටක් සකස් කර තිබුණා. උද්භිද විද්‍යාඥයන් උපදෙස් දුන්නා ඒවා ඉවත් කර මියගොස් තිබූ ගස් ඉවත් කර වටපිටාව පිරිසිදු කරන්න කියලා. අපි ඒ අනුව කටයුතු කළා. හැබැයි දැන් එතැන කාන්තාරයක් වගේ. ගමේ පැරැණි අය කියනවා කලින් උණ පඳුරක් මැරිලා ගිහින් තමයි, මෙතැන හටගත්තේ කියලා. අලුත් පැළ කිහිපයත් අපි රෝපණය කරලා තිබෙනවා. නමුත් ඒවා වර්ධනය වන්නේ ප්‍රමාදවයි. වර්ධනය වේගවත් කර ගැනීමට හැකිද යන්න ගැන පේරාදෙණියෙන් උපදෙස් ලබාගැනීමට බලාපොරොත්තු වෙනවා. සහකාර අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසුවේය.

රාජසිංහ රජුගේ ජීවිතය මෙන්ම කටු උණ පඳුරේ ජීවිතයද අනිත්‍ය බව සැබෑවකි. එහෙත් ඓතිහාසික වෘක්ෂයක අවසානය නිහඬව සිදුවන්නට ඉඩ නොදී එය නැවත පැළ මගින් හෝ වර්ධනය කර ගැනීමට බලධාරීන් කඩිනමින් උනන්දු වනු ඇතැයි අපි සිතමු.


♦ කුසුම්සිරි විජයවර්ධන
සේයාරූ | සුමුදු හේවාපතිරණ
ලබන සතියේ:
රාජසිංහ රජු දේවත්වයට පත්වූ තැන