
එෆ්.සී.අයි.ඩී කියන්නේ දැන් කාටත් හුරු ඉංග්‍රීසි හෝඩියේ අකුරු හතරක් වී තිබේ. “එෆ්.සී.අයි.ඩි ගියා වගේ බං” යැයි ඇතැමුන් කියන්නේ පළක් නැති දීර්ඝ සාකච්ජාවකටය. එසේත් නැත්තම් විරුද්ධ පාක්ෂිකයකු දුටු විට අරූවත් එෆ්.සී.අයි.ඩී යවන්න වෙයියැයි කියන්නේ දේශපාලන හතුරා නිහඬ කරවීමට නැතිනම් පළිගැනීමකටය. ඒ තරමට එෆ්.සී.අයි.ඩී ක්‍රියාදාමය සමාජයෙන් ප්‍රතික්ෂේප වී ඇත්තේ එහි ක්‍රියාකාරීත්වය මන්දගාමී වීම හා අසාර්ථක වීම නිසාය.
පසුගිය රාජපක්ෂ ආණ්ඩු සමයේ මහාපරිමාණ අක්රමිකතාවන්ට සම්බන්ධ වූවායැයි චෝදනා ලැබූ රාජපක්ෂවරු ඇතුළු මැතිඇමැති හා නිලධාරින් විශාල පිරිසක් එෆ්.සී.අයි.ඩියට කැඳවා පැය ගණනාවක් විමර්ශන සිදු කළ අතර ඒවා තවත් එක් පුවතක් බවට පත්වූවා මිස නීතීමය ක්‍රියාමාර්ගයක් දක්වා ගියේ නැත. අල්ලස් හෝ මූල්‍ය අපරාධ විමර්ශන කොමිෂන් සභාවේ ක්‍රියාකාරීත්වය ද එෆ්.සී.අයි.ඩීයට සමාන බවට චෝදනාද නැගුණි.
පසුගිය රාජපක්ෂ පාලන සමය තුළ මහා පරිමාණ වංචා දූෂණ සිදුවූවා යන්න ප්‍රසිද්ධ රහසකි. නමුත් වත්මන් රජය එම වංචා දූෂණවලට සම්බන්ධ පුද්ගලයන් ආරක්ෂා කිරීමට නඩු විභාග ප්‍රමාද කර අපරාධ යටගසනවා යැයි විචේචන එල්ල වෙමින් තිබේ. ආණ්ඩුව නියෝජනය කරන්නන් මෙන්ම ජනතාව තුළ ඒ සම්බන්ධයෙන් ඇත්තේ කලකිරීමකි. මේ පිළිබඳව අවස්ථා ගණනවාකදී පාඨලි චම්පික අමාත්‍යවරයා, රාජිත සේනාරත්න අමාත්‍යවරයා සහ අර්ජුන රණතුංග අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලය තුළදී විවේචනය කරමින් අපරාධ විමර්ශනය කඩිනම් කරන ලෙස ඉල්ලා සිටියහ. කෙසේ වෙතත් පසුගිය දා මහා පරිමාණ බරපතළ දූෂණ වංචාවලට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව පියවර ගැනීම සඳහා පූර්ණ බලතල සහිත විශේෂ අපරාධ යුක්ති විමර්ශන කොමිෂන් සභාවක් පිහිටුවිය යුතු යැයි ආචාර්ය සර්ත් අමුණුගම මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට කැබිනට් මණ්ඩල අනුමැති ලැබී ඇත.

පොදු අධිකරණ පද්ධතිය තුළ පවතින කාර්යබහුලත්වය සහ නඩු විභාග ප්‍රමාදය නිසා බරපතළ දූෂණ සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් පවතින නඩු කඩිනමින් විභාග කිරීමට අපහසු තත්ත්වයක් උදාවී තිබේ. එවැනි චෝදනා විභාග කිරීම සඳහා වත්මන් නීති රාමුව තුළ යම් කිසි කාලයක් ගත වේ. එබැවින් යෝජිත විශේෂ කොමිෂන් සභාවක් පිහිටුවීමේ මූලික අරමුණ ඉලක්ක කිහිපයක් තිබේ. දැනට පවතින මූල්‍ය අපරාධ කොමිෂන් සභාවට අපරාධ විමර්ශනය කළ හැකි වුවුද ඒවාට දඩුවම් ලබා දීමට හැකියාවක් නැත. පොදු අධිකරණ පද්ධතියට වෙනත් නඩු විශාල සංඛ්‍යාවක් ගොඩගැසී ප්‍රමාදයක් සිදුව ඇත. එමෙන්ම එෆ්.සී.අයි.ඩියෙන් විමර්ශනය කළ අපරාධයක් සම්බන්ධයෙන් නඩු පැවරීමට විමර්ශන වාර්තාව පොලීසිය හරහා අධිකරණයට ඉදිරිපත් කර අධිකරණයෙන් නඩු කැඳවන දිනය දක්වා විභාග ප්‍රමාද වේ. මෙය කල්ගතවන ඉතා මන්දගාමී සහ දීර්ඝ ක්‍රියාවලියක් නිසා පසුගිය සමය තුළ සිදූ මහා පරිමාණ දූෂණ යට යෑමක් සිදු වෙමින් පවතී.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන අමාත්‍ය පාඨලි චම්පික අමාත්‍යවරයා පවසන්නේ යෝජිත අපරාධ යුක්ති විමර්ශන කොමිෂන් සභාව 1971 කැරුල්ල සම්බන්ධයෙන් සොයා බලා දඬුවම් නියම කිරීමට පත් කළ පූර්ණ බලැති අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභාවට සමාන ආකාරයෙන් පිහිටුවන බවයි. දූෂණ වංචා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම හා දඬුවම් කිරීම යන කාරණා දෙකම නව විනිශ්චය කොමිෂන් සභාව වෙත පැවරෙන බව ද පවසයි. මෙම විශේෂ කොමිෂන් සභාව ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරයකු යටතේ හෝ විශ්‍රාම ලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරයකුගේ ප්‍රධානත්වයෙන් පත්කිරීමෙන් අපරාධ විනිශ්චය කඩිනම් කිරීම පහසු කර ගැනීම අරමුණ වී තිබේ.
අධිකරණයට වුවද කළ හැක්කේ අපරාධකරුවන්ට දඬුවම්දීම පමණි. නමුත් මෙවැනි අපරාධ යුක්ති කොමිෂන් සභාවක් පිහිටුවීමෙන් අපරාධ දූෂණ, වංචා, සිදුවූයේ කුමන හේතූන් මත ද, මින් ඉදිරිරයට දේශපාලනඥයන් රාජ්‍ය නිලධාරීන් වංචා දූෂණ සිදු කිරීම වළක්වන්නේ කෙසේද? ආදිය අධ්‍යනය කිරීම සහ ඒවාට අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම යන අංශයන්ද සම්බන්ධව කටයුතු කිරීමටද හැකියාව තිබේ. 1971 කැරුල්ලට සම්බන්ධ වූ 41 දෙනකු සම්බන්ධයෙන් නඩු විභාගය සඳහා පිහිටවූ කොමිෂන් සභාව අදාළ සිද්ධිය විභාග කර විත්තිකරුවන්ට දඬුවම් ද පැමිණ වීය. ඊට අමතරව තරුණ නැගිටීම් සිදුවීමට හේතුන් සොයා බැලීම සහ ඒ සඳහා විසඳුම් ද එවක රජයට ඉදිරිපත් කිරීම ද නිර්දේශ විය. 87 කැරුල්ලෙන් පසුව තරුණ අසහන කොමිෂන් සභාව පිහිටුවීමෙන් සිදු කළේ ද එවැනිම කාර්යයකි. ඒ අනුව අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභාව අපරාධ කරුවන්ට දඬුම් කිරීමේ කාර්යයට පමණක් සීමා නොවීම අවශ්‍යය.
ආචාර්ය සරත් අමුණුගම මහතා පෙන්වා දෙන්නේ පොදු නීති රාමුව තුළින් වංචා දූෂණ සිදුකළ පුද්ගලයන්ට දඬුවම් කළ හැකි වුවද එම වංචා දූෂණ නිසා රජයට අහිමි වූ මහජන මුදල් නැවත ලබා ගැනීමේ හැකියාවක් නැති බවයි. අපරාධ යුක්ති විනිශ්ෂය කොමිෂන් සභාව පිහිටුවමින් මහජන මුදල් නැවත ලබා ගැනීම අරමුණු කරන බවත් ආචාර්යවරයා පෙන්වා දෙයි.
යම් අවස්ථාවක යුක්තිය පසිඳලීම සඳහා අලුත් ආයතන පිහිටුවීම ලෝකයේ අනිත් රටවල මෙන්ම මෙරටද සිදු තිබේ. යම් කිසි ක්ෂේත්රයක් සම්බන්ධ පවතින ආයතන සුදුසු නොවේ නම් යුක්තිය පසිඳලීම සඳහා රටේ නීතියේ පවා බාධාවක් නැත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105(1)(ඇ) ව්‍යවස්ථාවේ දැක්වෙන්නේ පාර්ලිමේන්තුව විසින් යුක්තිය පසිඳලීම අලුතින් ආයතන පිහිටුවීමට අවසර ඇති බවයි. ඒ අවසරය මත සිවිල් අභියාචනා අධිකරණ, වාණිජ මහාධිකරණ ආදි විශේෂ ක්ෂේත්‍ර සඳහා නව අධිකරණ පිහිටුවනු ලැබිණි. 1971 දී කැරැල්ලට සම්බන්ධ සැකකරුවන් 41 දෙනාට එරෙහිව නඩු විභාගය සඳහා 1971 අංක 14 දරණ යුක්ති විනිශ්චය කොමිෂන් සභා පනත නමින් අලුත් කොමිෂන් සභාවක් පිහිටුවනු ලැබීය. එහිදී නඩු විභාගය මෙන්ම දඬුවම් නියම කිරීම ද කොමිෂම විසින්ම සිදු කරනු ලැබිණි.
♦ සකීෆ් සාම් තන්වීරි