
මේ තරම් දෙවියන් අදහන ඉන්දියාවේ අධිකරණය ජීවමාන දෙවියෙක් හිරේ දැමීමට පසුගිය සතියේ කටයුතු කළේය. ලෝකය පුරා ලක්ෂ 600ක් දෙනා භක්තිමත්ව වන්දනාමාන කළ මහා ගුරු දෙවියා අඬා දොඩා වැලපී සමාව ඉල්ලා අන්තිමේදී හිරේ ගියේය. ඉන්දියාවේ හරියානා සහ පන්ජාබ් ප්‍රාන්ත හෙල්ලූ තමන්ම, තමා සාධුවරයකු ලෙස හඳුන්වාගත් ගුරු ගුර්මින් රාම් රහීම් සිංග් අවුරුදු 20කට මහඋළුගෙදරට යැවූ විනිසුරුවරයා මේ පණපිටින් සිටින දෙවියා හැඳින්වූයේ කිසිදු හිතේ තෙතමනයක් නැති වල් සතෙකු හැටියටය.
සිය මහා ගුරු හෙලිකොප්ටරයකින් හිරගෙදරට ගෙන යන අයුරු බලා සිටි ඔහුගේ අනුගාමිකයෝ උතුරු ඉන්දියාව මුළුමනින්ම ගිනි තැබූහ. නමුත් මේ ගුරු දේවයා හිරේ වැටුණේ සිය අනුගාමිකාවන් 40ත් 50ත් අතර සංඛ්‍යාවක් බලහත්කාරයෙන් දූෂණයට ලක් කිරීමෙනි. නඩු නිමිත්තට හේතු වූයේ ඉන් එක් අයකුගේ නිර්නාමික ලිපියකි.
වයස 23දී තමන්ගේම කියා ආගමික කල්ලියක් අටවාගත් ගුරු ගුර්මින් රාම් රහීම් සිං උප්පත්තියෙන් සීක් ජාතිකයෙකි. දේරා සච්චා සවුදා නමින් නිකායක් අටවාගත් පසු ඔහු සියලු ආගම්, ජාතිකත්වයන්, වර්ගවාදයන්, කුලභේදයන් ප්‍රතික්ෂේප කළේය. හර්යානා ප්‍රාන්තයේ සිසාර් නගරාශ්‍රිතව දේරා නමින් තමන්ගේම නගරයක් ගොඩනැගූ ඔහු එහි තමන්ගේ ගුරු ද්වාරයක් හෙවත් දේවස්ථානයක්ද ගොඩනගා ගත්තේය.
ඉන්දියාවට සාධුවරු හෙවත් ගුරුවරු ආගන්තුක නොවේ. රැවුල කොණ්ඩ වවා පච්ච වඩම් හැඳ නැතිනම් සිවුරු පොරවාගත් සැවොම සාධුවරුය. නමුත් අපේ කතානායක සාධුවරයා ඒ හැමටම වඩා වෙනස් තැනැත්තෙකි. ඔහු ඉස්තරම්ම මෝස්තර කාරයෙකි. ඉහළ මට්ටමේ රොක් තරුවකි. දිලිසෙන විචිත්‍ර වර්ණ ඇඳුම්, රන් ආභරණ පොරවාගත් නළුවෙකි. මේ නිසාම ඔහු හැඳින්වෙන්නේ රොක් බාබා නැත්නම් දිදුලන බාබා හැටියටය. ඔහු තමාව හඳුන්වා දී ඇත්තේ MSG ලෙසටය. එයින් කියැවෙන්නේ Messenger of God හෙවත් දෙවියන්ගේ පණිවුඩකරුවා යන්නයි. ඔහු ලබාදුන් දේව පණිවුඩය ද අමුතුය. සිය බැතිමතුන් හට අල්පේච්ඡතාව ගැන කියාදෙන බාබා සුපිරි සැප විඳගත් තැනැත්තෙකි. ඔහුටම කියා ආහාර නිෂ්පාදන ආයතන ජාලයකි. ඔහුගේ ගමන බිමන සඳහා ඔහුම නිර්මාණය කරගත් වාහන සිය ගණනකි. මහා මාලිගා රැසකි. ඔහු ගිනස් වාර්තා ගණනාවකට හිමිකම් කියන්නෙකි. ලෝකයේ ලොකුම සුබපැතුම් පත බාබාගේය. එය වර්ග අඩි 1307ක් විශාලය. රොක් ගීත සංදර්ශන පවත්වන බාබා තමන්ගේම චිත්‍රපටයක්ද අධ්‍යක්ෂණය කරමින් රඟපෑවෙකි. මේ සියලු සුඛ විහරණ අතර ඔහු සිය අනුගාමිකයන්ට කියා ඇත්තේ බාබා හට සියල්ල පූජා කරන ලෙසටය. ඔවුන්ගේ වත්කම්, නිවාස දරු දැරියන් හදවත පමණක් නොව ශරීරයද මේ පණපිටින් සිටින දේව ප්‍රතිරූපකයාට පුදන ලෙසටය. එමගින් දෙවියන්ට සමීප වන ලෙසටය. මෙසේ දෙවියන්ට ලංවූ පිරිමින්ට ඔහු දුන් උපදේශය වන්නේ දෙවියන් සතුටු කිරීම සඳහා කර අඹා ගන්නා ලෙසටය. නැතිනම් අංග ඡේදනයට ලක්වන ලෙසටය. බාබාගේම ඉස්පිරිතාල මේ සඳහා වෙයි. බැතිමතියන් හට දෙවියන්ට ළංවිය හැකිවූයේ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ බාබාගේ සනයන මතදීය.අන්තිමේදී බාබා ගේ, දේව චරිතයේ වෙස් ගැලවී ගියේ ඔහුගේ බලාත්කාරයට ලක්ව දූෂණයට ලක්වූ තරුණියක් නිර්නාමිකව වසර 2002 දී එවකට ඉන්දියාවේ අගමැති අතල් බිහාර් වජ්පායිහට බාබාගේ සයනයේ රස රහස් අකුරක් නෑර දිගහැරීමත් සමගිනි. ඉන්දියානු මධ්‍යම රහස් පොලිස් බියුරෝවට බාබා ගැන සෙවීම පැවැරිනි. නමුත් ඔහු පිළිබඳ ඇත්ත හෙළිදරව් කරගැනීමට සහ අවශ්‍ය සාක්ෂි එක්කර ගැනීමට ඔවුන්ටද වසර 15ක්ම ගතවී තිබුණි. බාබාගේ දේවබලය ඒ තරම්ය!
ඔහු මුලින් කොංග්රස් ආධාරකරුවෙකි. පසුව මෝදී ගේ BJP යට එක්වූ ඔහු හර්යානා ප්‍රාන්තය දිනා දුන්නේය. ඉන්පසු මෝදිගේ අගමැති පුටුවට ගෙනෙන්නට සිය අනුගාමිකයන් මෙහෙයව වූයේය. මේ නිසා ඇසට නොපෙනෙන දෙවියන් කෙසේ වුවද බාබා වටා සමාජයේ ඉහළම තරාතිරමේ ප්‍රභූ දේව පිරිසක් එක්වූහ. බාබාගේ ඇත්ත එළිදරව් කරගන්නට අර තරම් කාලයක් ගතවූයේ බාබා වටා උන් මේ පිරිසගේ දේව තේජසේ බලපෑම නිසාය.
පොලිසිය තමන් සපයාගත් සාක්ෂි හර්යානා සහ පන්ජාබ් මහාධිකරණ වෙත ලබාදී නඩුව ගොනු කළේය. අන්තිමේදී තමන්ට එරෙහි තීන්දුවට මුහුණ දෙන්නට බාබා ආවේ අලුත්ම වාහන සියයක පෙරහරකිනි. ඔහු සමග ඔහුගේ හදාවාඩගත් දියණිය ලෙස හැඳින්වෙන හනිප්රීත් ඉන්සාත් නමැති තරුණියක්ද වූවාය. දසදහස් ගණනක් අනුගාමිකයෝ නගරයේ වීදි පුරා රැස්ව බාබාට ආශීර්වාද කළෝය. බාබාට අත තිබ්බොත් ඉන්දියාව ලෝක සිතියමෙන් අකා මකා දමන බවට වහසි බස් දෙඩූහ. නමුත් අන්තිමේ මහා වීරයකු සේ අධිකරණයට ආ බාබා සිය බැතිමතියන් වූ තරුණියන් දෙදෙනකු බලාත්කාරයෙන් දූෂණයට ලක් කිරීමේ චෝදනාවට වරදකරු බවට පත්විය. බාබා අඬා දොඩා සමාව ඉල්ලුවේය. ඉන්දියාවේ සිටින ගිනිකන අතිදක්ෂයන් වූ ඔහුගේ නීතිඥවරු බාබාට නහුතයක් ලෙඩ ඇති බව කියාපෑහ. අධි රුධිර පීඩනයේ සිට කොන්දේ ඇම්ම දක්වා ලෙඩ ගණනාවකි.

බාබාගේ අනුග්‍රහය යටතේ ඇති පාසල් රෝහල් විශ්වවිද්‍යාල, අසරණ සරණ සමිති සමාගම්, මෙන්ම ඔහුගේ වෙළඳ ආයතන සහ කොම්පැණිවලට ඔහුගේ සහභාගීත්වය අත්‍යවශය බවට පෙන්වාදී බාබාට සහනයක් ගන්නට ඔවුහු උත්සාහ කළහ. එහෙත් විනිසුරුවරයා මේ සියල්ල දෙස නිසලව බලා සිට සිය දැඩි තීන්දුව දුන්නේ බාබාට තදබල වචනයෙන් දෝෂාරෝපණය කරමිනි. කිසිදු හිතක් පපුවක් නැති ලෙස තමන්ගේ බැතිමතුන් බලාත්කාරයෙන් රඳවා තබා දූෂණයට ලක්කළ ඔහුට උපරිම දඬුවම් ලබාදෙන බව ඔහු කීවේය. වසර 10 ගණනේ එකවර ගෙවීයන වසර 20ක සිරදඬුවම් දැන් ඔහුට හිමිය.
ඉන්දියානු රාම් ගුරුගේ කළකම් පලදීම එතැනින් හමාර නැත. හර්යානාවේ ප්‍රාදේශීය පුවත්පතක් වූ පූර්ණ සත්‍යය හෙවත් පුරා සච් නමැති පුවත්පතේ කතුවරයා වූ රාම් චන්දර් චත්‍රපති වරෙක මේ දේව ප්රතිරෑපකයාගේ දේවාර් නගරය තුළ සිදුවන සියලු නොපනත්කම් මුළුමනින්ම හෙළිදරව් කළේය. යාන්තම් සතියක් ගතවුණා පමණි, නාඳුනන පිරිසක් මහමගදී කතුවරයාට වෙඩිතබා ඝාතනයට ලක්කරන ලදි. දැන් මේ ඝාතනයත් තවත් ඝාතනයකුත් බැර වී ඇත්තේ බාබාගේ නොපනත්කම් ගිණුමටය. මේ චෝදනාවන්ද ඉදිරි මාස කිහිපය තුළ විභාගයට ගන්නට නියමිතය.
එම චෝදනා ඔප්පු වුවහොත් බාබාහට මහ උළුගෙදර සුරසැප විඳීමට හෝ කෙලින්ම දෙවියන් කරා යන්නට තීන්දුවක් ලැබෙනු ඇත. බාබා හිරේට රැගෙන යද්දී පාරට බැස සිටි ඔහුගේ අන්ධ භක්තික බැතිමත්හු වාහන ගිනි තබමින් රේල්ලු බිඳ දමමින්, ආයතන කඩා බිඳ දමමින් මහා යුද්ධයක් ඇරඹුවේ හනුමාගේ වලිගයට ගිනි ඇවිලුණු දවසේ මෙන්ය. මේ මහා ගිනි භක්ති පූජාව මැඩලන්නට පොලිසිය සහ හමුදාවද වීදි බැස්සේය. එහි ප්‍රතිඵලයක් ලෙස 38 දෙනකු මරැ දුටුවේය. 200කට වැඩි ගණනක් රෝහල් ගතවිය. බාබාගේ නොපනත්කම් සාධාරණය කරමින් වීදි බැස්ස බැතිමතුන්ගේ ඩෙඟා නැටිල්ල තවමත් අහවර වී නැත. ඒ අතර බාබාගේ ගිනි කන නීතිඥවරු මේ තීන්දුවට එරෙහිව ඇපෑලකට දැන් ලහි ලහියේ ලක ලැහැස්ති වෙති. ඉතින්, ඉන්දියාවේදී කරුණු කාරණා සිද්ධවෙන ආකාරයට බාබාගේ දේව මණ්ඩලයේ සිටින ඉහළ ප්‍රභූවරුන්ගේ ආනුභාවයෙන් මේ තීන්දුව කැකිලේ තීන්දුවක් බවට පෙරැළෙන්නට බැරිකමක්ද නැත.
සුගත් පී. කුලතුංගආරච්චි