
කතරගම මහ දේවාලයේ බස්නායක නිලමේවරයා හා කපු මහත්වරු අතර පසුගිය 22දා වූ ආරවුල බාහිර සමාජය දුටුවේ දෙවොල් බිමක ත්‍රාසජනක සංදර්ශනයක් ලෙසිනි. එහිදී වීරයන් බවට පත්වූයේ කපු මහත්වරුය. බස්නායක නිලමේ දේවාලය වසා යතුර රැගෙන ගිය බවත්, කපු මහත්වරු ප්‍රදේශවාසී ජනතාවත් පෙරටු කොටගෙන බස්නායක වලව්ව ආක්‍රමණය කර යතුර බලහත්කාරයෙන් රුගෙන විත් යළිත් පූජාව පැවැත්වූ බවත් පැවසුණි. එතැනින්ද නොනැවතුණු කපු මහත්වරු ප්‍රසිද්ධියේ බස්නායක නිලමේ ඩී.පී. කුමාරගේ මහතා විවේචනය කළහ. පසුගිය 26දා කතරගම දී ප්‍රදේශවාසීහු බස්නායක නිලමේවරයා ධුරයෙන් ඉල්ලා අස්විය යුතු යැයි උද්ඝෝෂණයක්ද කළහ.
මේ හැසිරීම නිසා සාමාන්‍ය ජනතාව අන්දමන්ද වී සිටින්නේ බස්නායක නිලමේගේ කාර්යභාරය කුමක්ද, කපු මහත්වරුන්ගේ වගකීම කුමක්ද යන්න ගැනය. මේ ඒ ගැනය.
විහාර දේවාලගම් පනතට අදාළ දේවාල 31ක් ලංකාව පුරා තිබෙනවා. ඒ දේවාලවලට බස්නායක නිලමේවරු 31ක් පත්කර තිබෙනවා. ඔවුන් පත් කරන්නේ විහාර දේවාලගම් පනතේ විධිවිධානවලට අනුව බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා විසින් පවත්වන ඡන්ද විමසීමකින්. එයට අමතරව පොඩි දේවාල රාශියක බස්නායක නිලමේවරු හිටියත් ඔවුන් විහාර දේවාලගම් පනතට අයත් වන්නේ නැහැ. බස්නායක නිලමේ තමයි දේවාලයේ භාරකරු.
අදාළ සිද්ධස්ථානයේ පරිපාලන කටයුතු, රජය හා සම්බන්ධීකරණය කිරීමේ කටයුතු රාජකාරි කටයුතු, සතර මංගල්ලයන් ආදී කාර්යයන් සංවිධානය කරන්නේ බස්නායක නිලමේවරයායි. මේ සිද්ධස්ථාන සැමෙකකටම දීර්ඝ ඉතිහාසයක් තිබෙනවා. මුඛ පරම්පරාගත කරුණු රාශියක් තිබෙනවා. දේවාලවල රාජකාරි කිරීමට විවිධ පවුල්වලට භාරදී තිබෙනවා. අපට එලෙස පැවසුවේ බස්නායක නිලමේවරුන්ගේ සම්මේලනයේ මාධ්‍ය ප්‍රකාශක අලවතුගොඩ සමන් දේවාලයේ බස්නායක නිලමේ ජයම්පති හීන්කෙන්ද මහතාය.
මේ පුරාණ දේවාලවලට රජවරු විසින් පරිත්‍යාග කළ ඉඩම් සතුය. එම ඉඩම් විවිධ පවුල්වලට පරිහරණයට ලබාදී තිබෙන අතර ඒ වෙනුවෙන් ඔවුහු දේවාලයට රාජකාරි කරති. අලවතුගොඩ සමන් දේවාලයට රාජකාරි පංගු 21ක් තිබෙනවා. ඒවා පරම්පරාවලට ලබාදී තිබෙනවා. නමුත් අද වනවිට බෙර පංගුව, අපුල්ලන පංගුව වගේ විවිධ රාජකාරි ඉටුකර ගැනීමට අපහසුයි. ඒ රාජකාරිය කිරීම සමාජය හෙළාදකින තත්ත්වයට පත්ව ඇති නිසා.
බස්නායක නිලමේවරයෙක් පත්වන්නේ අවුරුදු පහකට වරකි. ඔහුට ඡන්ද බලය ලැබෙන්නේ නම් ඕනෑම වතාවක් එම ධුරය දැරීමට විහාර දේවාලගම් පනතට අනුව පුළුවන්. නමුත් දේවාලයේ රාජකාරි බාරදී ඇති පිරිස ඒවා ජීවිත කාලයටම කරති. දේවාලයේ ඇතුළු කට්ටලයේ (දේවාලය අභ්‍යන්තර) රාජකාරි බාරව තිබෙන්නේ කපු පංගුව හිමි කපුමහත්වරුන්ටය.

සිරිත් වශයෙන් බස්නායක නිලමේ කෙනකු පත්කරගෙන ආ දේවාලයක භාරකාරයා එහි බස්නායක නිලමේ වේ. අනිකුදු සියලුම දේවාලවල භාරකාරයෝ බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා විසින් පත්කරන අය විය යුතුයි 1931 අංක 19 දරන විහාර දේවාලගම් පනතේ සඳහන්ය. බස්නායක නිලමේ තනතුරේ පුරප්පාඩුවක් හටගත් විට තෙමසක් ඇතුළත බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා අදාළ දිස්ත්‍රික්කයේ තැනක රුස්වීමක් කැඳවා ඡන්ද බලය හිමි පිරිස්වලට දන්වා මාසයක් ඇතුළත ඡන්දය පැවැත්විය යුතුය.
යම් සිද්ධස්ථානයකට අයිති එහි ප්‍රයෝජනය සඳහා වෙන්කළ චංචල නිශ්චල දේපලද, බදු මුදල් හා ලාභද (පුද්ගලික පූජා හැර) එවකට භාරකාරයා වෙත පැවරේ. එලෙස ලැබෙන මුදල් බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා විසින් ගණනය කර බැංකුවක තැන්පත් කළ යුතුය. ඒවා වැය කළ යුත්තේද බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාගේ අධීක්ෂණය යටතේ බස්නායක නිලමේවරයා විසිනි.
දේවාලයෙන් ලැබෙන ආදායම එහි පරිපාලන හා නඩත්තු කටයුතුවලට යොදාගන්නවා. පරවේණි පංගු, බදු පංගු හා සාමාන්‍ය රාජකාරි පංගු වශයෙන් දේවාලයේ දේපල බෙදී තිබෙනවා. දේවාලයේ ඉඩම් බදු දී ඉන් ලැබෙන ආදායම බස්නායක නිලමේවරයා විසින් පරිපාලනය කරනවා. ජයම්පති හීන්කෙන්ද මහතා තවදුරටත් පැවසුවේය.
දේවාලයේ බස්නායක නිලමේවරයා ෙද්වාලය තුළදී නිතර දක්නට නැති චරිතයකි. ඔහුට වෙනම කාර්යාලයක් ප්‍රධාන පෙළේ දේවාලවල තිබේ. කතරගම නම් වෙනම නිවසක් ඇති අතර එය බස්නායක වලව්ව නමින් හැඳින්වේ. බැතිමතුන් නිතරම දකින්නේ දේවාලයේ වතාවත් කරන කපු මහතාය. කපු නිලය දේවාලයේ එක් රාජකාරි පංගුවක් පමණි. එය හිමිවන්නේ පාරම්පරිකවය. 1817 ඌව කැරැල්ලෙන් පසු කතරගම දේවාලය වැනසීමට ඉංග්‍රීසීන් විවිධ උපක්‍රම යෙදූ අතර මේ නිසා එහි රාජකාරි බිඳ වැටුණි. කතරගම පිළිබඳ අධ්‍යයනය කළ විද්වතුන් පවසන පරිදි එහි වත්මන් කපු පරපුරේ ආරම්භය පරම්පරා තුනකට හෝ හතරකට සීමා වේ.
විහාර දේවාලගම් පනතේ කපු තනතුර ගැන කිසිවක් සඳහන් නොවේ. දේවාලයේ කපු තනතුරට හිමි ආදායමක් ලබා ගැනීම හැරෙන්නට දේවාලයේ ආදායමට ඇඟිලි ගැසීමට කපු මහත්වරුන්ට බලයක් නැත. දේවාලයේ පූජාව පැවැත්වීම, තේවා කටයුතු, බාරහාර ඔප්පු කිරීම වැනි කාර්යයන් ඉටුකරදීම ඔවුන්ට පැවරී ඇත. ඒ වෙනුවෙන් බැතිමතුන් ලබාදෙන පූජා වට්ටිවල පළතුරැ, පඬුරු, බාරහාර ඔප්පු කිරීමේදී ලබාදෙන පූජා ද්‍රව්‍ය ලබාගැනීමට ඔවුන්ට හිමිකම ඇත.
එහෙත් වෙනත් දේවාලවල මෙන් නොව කතරගම පූජා වට්ටිවල රැ.5000 නෝට්ටු මෙන්ම හින්දු බැතිමතුන් විසින් පවුම් ගණන් බර රන්මාලද පූජා කිරීම සිදුවේ. මේ නිසා එහි ආදායම පරිපාලනය සම්බන්ධ ගැටලු පැනනැගී තිබේ. දේවාලයට ලැබෙන වටිනා පූජා භාණ්ඩ හා ඒවාට සිදුවන දේ පිළිබඳ නිශ්චිත ලේඛන හෝ එසේ සකස් කෙරෙන ක්‍රමවේදයක් පිළිබඳව මෙතෙක් සැලකිල්ලක් දක්වා තිබුණේ නැහැ. පසුගිය වසරේ රජය මගින් විහාර දේවාලගම් සතු සියලුම දේපොල ලැයිස්තු ගත කිරීමේ සමීක්ෂණයක් වාර්ෂිකව ආරම්භ කළා. ඒ සම්බන්ධයෙන් සම්බන්ධීකාරකයා වන්නේ බස්නායක නිලමේවරයාය. කතරගම දේවාලය සම්බන්ධයෙන් ඒ වගකීම මා ඉටුකළ යුතුව තිබෙනවා. එලෙස සඳහන් කළේ කතරගම මහ දේවාලයේ බස්නායක නිලමේ ඩී.පී. කුමාරගේ මහතාය.
මේ අතර කතරගම අවුල සංසිඳවීමට පසුගියදා බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා හමුවේ පැවති සාකච්ඡාවේදී හැකිවිය. කපු මහත්වරුන් පස් දෙනාට රාජකාරි පැවරීමේදී හටගත් අවිධිමත් බවක් මේ ගැටුමට මුල්වී ඇති බවත් එය සාකච්ඡාවෙන් සමථයකට පත්කර ගත් බවත් බෞද්ධ කටයුතු කොමසාරිස් නිමල් කොටවිලගෙදර මාධ්‍යයට පවසා තිබුණි.
කුසුම්සිරි විජයවර්ධන