2017 අගෝස්තු 26 වන සෙනසුරාදා

තෙල් නැතුව ඇවිලෙන්ඩ

 2017 අගෝස්තු 26 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 250
කවියන් බිහිවිය යුත්තේ මල් උයනෙන් නොව අගාධයෙනි. එවිට ජනතාවගේ හද ගැස්ම හොඳින් වටහාගත හැකිය. ග්‍රහණය කරගත හැකිය. ජනතාවගේ පපුවට හෘදය සංවේදීව ආමන්ත්‍රණය කළ හැකිනම් ඔබ ජනතා සිත් සතන් තුළ සදාකාලිකව ජීවත්ව හිඳිනු ඇත.තම අලුත්ම කවි පොත ගැන එලෙස පවසන්නේ නාගොල්ලාගොඩ ධර්මසිරි බෙනඩික් කවියාය.
මෑතකදී කතාබහට ලක්වුණු කාව්‍ය කෘති දෙකක් වන මයෙ අම්මේ යමු යන්ඩ සහ හිඟමං යැදීම තහනම් ඔහු විසින් පළ කෙරිණි. ඒ 2016 වර්ෂයේදීය. කවියෙකුට එක් වර්ෂයක් තුළ පොත් දෙකක් පළ කළ හැකිද යන පැනය විචාරකයෝ මතු කළෝය. එවිට ධර්මසිරි බෙනඩික් උත්තර දී තිබුණේ ඔහු දශක දෙකකට අධික කාලයක් තිස්සේ පුවත්පත්වල ලියූ කවි තුන් දහසක් පමණ තිබෙන බවයි.
එසේනම් තෙල් නැතිව ඇවිලෙන්ඩ කෘතියේ තිබෙන්නේ ඔහුගේ අලුත් කවි නොවේ. ඔහු කලක් තිස්සේ ලියන එකතු කරගෙන සිටින කවි අස්වැන්නෙන් කොටසකි. එහිදි කවියාට සමකාලීන සමාජ අත්දැකීම් මඟහැරීම අනිවාර්ය වේ. එහෙත් බෙනඩික් තම ප්‍රස්තුත වශයෙන් යොදාගන්නා ජීවිතයේ අපට නොපෙනෙන පැත්තේ කටුක ඇත්දැකීම් සර්වකාලීන නිසා පාඨකයන්ට ඔහුගේ කවිවල වෙනසක් නොපෙනෙනු ඇත.
එහෙත් එය කවියාගේ නිර්මාණ විකාශය හඳුනාගැනීමටනම් බාධාවක් වේ.
බෙනඩික්ගේ කවි පාඨකයන් අතර ජනප්‍රියය. එයට හේතුව ඒවායේ ඇති ප්‍රබල අත්දැකීම්ය. මෙම කවි පොතෙහිද එවැනි කවි රාශියක් අපට හමුවේ. කන්දෙකැටියේ මහමායා නම් කවිය යශෝදරාවත විරිත අනුව ලියුවකි.
ගල් කොරියට යන්ඩ දොලදුක උපන් මට
සවල් යවුල් පිරිලා වෙඩි බෙහෙත් කැට
නාථ දෙවියො ගල් බෝරේ කොටන කොට
පණ ගැහි ගැහි මං වැඩියා ගල උඩට
මහමායාට තම පියෙක් නැති දරුවා ප්‍රසූත කිරීමට සිදුව ඇත්තේ ඇය කළුගල් කඩනා ගල් පර්වතය මතය. එය කවියා හැඟීම්බරව ඉදිරිපත්කර තිබේ.
 
කළුගල් රුහිරු පෙකණි වැලේ සැත පේවා
කඳුළු රුහිරු මුත්‍රා දහඩිය වේවා
වස්ති සේලයින් චීත්ත නැත මේවා
කුළුදුල් නෙළුම කළුගල් උඩ පිබිදේවා
ඔහුගේ අහස එල්ලුම්ගස් යවන්ඩම ඕනෑ නම් කවිය තුළින් මතු කරන්නේ අපූරු කාව්‍යොක්තියකි. තම බිරිය සඳ ඇති රැයක වෙනත් අයෙකු හා පැනලා ගියේ අහස නිකම්ම බලා සිටියදීය. මේ නිසා කවියා රාත්‍රී අහසෙහි සුන්දරත්වය වෙනුවට එහි අප්‍රසන්න ස්වරූපයක් දකී.
 
 
හොරි හැදුණු තාරකා ඇඟපත කහන හැටි
දේදුන්නෙ කොන්ද කැඩිලද මන්ද
දෙකට නැමිලා ඉන්නෙ ඔය හැටි
ඉරටත් දෙන්ඩ ඕනෑ තට්ටමට චීන පොල් අඩි
අරකි යනකං මේ අහස ඇහැපියන් හිටපු හැටි
අපේ නන්දේ සහ රඹෑව ජනපදේ කල්‍යාණි කවියෙන් මතු කරන්නේ නය බරින් ඔත්පලව ගොවි ජීවිතය ගෙවාගත නොහැකිව, මියගිය කල්‍යාණියක ගැනය. මෙහිදී කවියා මතු කරන සෘජු ප්‍රකාශන රීතිය නිසා කවියට හානියක් වී ප්‍රචාරකවාදී බවක් මතු වේ.
 
එයා මැරුණෙ ණයබර බෑ උහුලංට
මං තනිවුණා තනි රකින්ඩ පැටවුන්ට
ඇමතිවරුනි දැන් සැපදෝ අඹුවන්ට
වරෙව් ඉල්ලන්ඩ ඡන්දේ රඹෑවට
යශෝදරාට, ඔබේ ගායනය අපේ අම්මලව සිහි කරනවා. දන්නවනෙ... මල් මැරෙන්නෙම සුවඳ පිටුපානකොට, පටාචාරා වලප, කොරවකු සංදේශය ඇතුළු අපූරු කාව්‍යොක්ති මතු කරන කවි රුසක් තෙල් නැතුව ඇවිලෙන්ඩ තුළින් හමුවේ. මෙම කෘතිය දෙයියන්දර ගමගේ පොත් ප්‍රකාශනයකි.
 
 පාඨක