
ඉන්දියානු ක්‍රිකට් පිලේ සුපිරි ජවය එහි නායක විරාත් කෝලිය. ඔහු එක් දින ටෙස්ට් තරග 5ක් සහ 20/ 20 තරගයක් සඳහා පසුගියදා නැවත වතාවක් ලංකාව වෙත පැමිණියේය. මෙයට පෙර අවස්ථා ගණනාවක් ලංකාව වෙත පැමිණිය ද තමන්ට ලංකාවේ අපූරු සොබා සුන්දරත්වය නරඹන්නට හැකිවුණේ මේ ගමනේදී බව විරාත් කෝලි සිය ට්විටර් සමාජ ජාලය ඔස්සේ ලෝකයටම කියා තිබුණේ ඒ අතරය.
මෙයට පෙර විරාත් කෝලි ලංකාවට අවස්ථා ගණනාවකම පැමිණ තිබුණ නමුත් ඒ සෑම අවස්ථාවකම තරග සංචාරය ඉතා කෙටි වීමත් කඩිමුඩියේ කටයුතු කරන්නට සිදුවීමත් නිසා තමන්ට ලංකාවේ සොබා අසිරිය සිත්සේ දකින්නට අවස්ථාව නොලැබුණ බව ඔහු කියා තිබේ. නමුත් මෙවර ඔහුට ඒ අවස්ථාව හිතේ හැටියට උදාවූ බව ලංකාවේ සුන්දර ස්ථාන ගණනාවක් පසුබිම් කරගත් ඡායාරූපවලට පෙනී සිටිමින් ඔහු ට්විටර් අඩවියට සිත්ගන්නාසුළු ප්‍රකාශ මඟින් පැහැදිලි කර තිබේ. ඒ හැරත් මෙවර තරගාවලිය සඳහා පැමිණි ඔහු මාධ්‍යවේදීන් අමතා දඹුල්ලේදී කියා තිබුණේ අවසන් ටෙස්ට් තරගය දින 3කින් නිමවීම හේතුවෙන් ලංකාවේ මෙතෙක් ඇස නොගැටී තිබු සොබා සුන්දරත්වය නෙත් පුරා විඳ ගැනීමට අවස්ථාව උදාවූ බවය.
සොබාදහමට මේ තරම් සමීප වන්නට ලැබීම ඉතා ප්‍රියජනක කාරණාවක්ය ඔබට සුබ දවසක්! යැයි පවසමින් ඔහු අගොස්තු 13දා ට්විටර් පණිවුඩයක් ඉදිරිපත් කර තිබුණි. 2008 සිය මංගල තරගයේදී ඔහු හිඳගෙන සිටි පුටුවක සිටින ඡායාරූපයක් දක්වන තවත් ට්විටර් පණිවුඩයක සමහර දේ කිසිදා වෙනස් නොවේ යැයි දක්වා තිබේ. ලංකාවේ මුහුදු වෙරළක අද්දර ඡායාරූපයක් සමඟ සිටින කෝලි මේ වගේ තැනකදී සමදා උදෑසන අවදි වෙන්න ඇත්නම්! යැයි කියයි.
පසුගිය ටෙස්ට් තරගය 3 – 0 ලෙස ජයග්‍රාහීව අවසන් කර දැමූ ඉන්දීය තරගයට දඹුල්ලට පැමිණි පිලේ විරාත් ඇතුළු පිරිසට ඉහළ මට්ටමේ පිළිගැනීමක් ලැබුණි. දඹුල්ලේ තමන් නවාතැන්ගත් හෝටලයේ පිහිනුම් තටාකය පසුබිම් කරගනිමින් ගත් ඡායාරූපයක් සමඟ එහු සිය අදහස් පළකර ඇත්තේ එක්දින තරගාවලිය සඳහා දැන් දඹුල්ලේ; තවත් ලස්සන පරිසරයක් හැටියටයි.

විරාත් කෝලි ඇතුළු ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම සමඟ ඇරඹෙන එක්දින තරගාවලිය ලංකාවට ඉතා සුහශේශී වූවකි. 2019 ලෝක ක්‍රිකට් කුසලාන සඳහා සුදුසුකම් ලැබීමට මේ තරග දෙකක්වත් අඩුමතරමේ ගොඩදාගන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු වේ. ඉන්දීය පිල මෙයට පෙර 2014 දී මෙබඳු එක්දින තරගාවලියකින් ලංකාව 5 – 0 ලෙස මුළුමනින්ම අතුගා දැමුවේය. ඉකුත් දා පැවති ලෝක ශුරතා තරගයේදී ලංකාව පළමු වටයෙන්ම ගෙදර යැවීමට කටයුතු කළේය. මේ නිසා තමන්ට අහිමි වූ කීර්තිය දිනා ගැනීමේ සටනක් බවට මේ තරගාවලිය ලංකා පිලට වැදගත් වූවකි.
කෙසේ වුව ද කෝලිගේ ජවසම්පන්න නායකත්ව පිති හරඹය ශ්‍රී ලංකාවට හරහට සිටින ප්‍රබල සාධකයකි. එතැනදීනම් 28 හැවිරිදි මේ අපූරු හාදයා ලංකාවට වෛරක්කාරයෙකි, සතුරෙකි. නමුත් ඔහුනම් ලංකාව දකින්නේ සිත් ඇඳගන්නා සොබා සුන්දරත්වයෙන් යුතු ආදරණීය රටක් හැටියටය. සතුරු රටක් හැටියට නොවේ.
දකුණත් ප්‍රහාරක විරාත් කෝලි ක්‍රිකට් තරුවක් වුවද ඔහුගේ ප්‍රියතම ක්‍රීඩාව පාපන්දුය. ඔහු පාපන්දු පිස්සෙකි. ඊළඟට ඔහුගේ සිත් දිනාගත් විනෝදාංශය වන්නේ අලුත්ම පන්නයේ මෝටර් රථයි. යන යන තැන සොබා සුන්දරත්වය පසුබිම් කරගත් තමන්ගේ ඡායාරෑප ට්විටර් කිරීම් ද ඔහුගේ තවත් ප්‍රබල විනෝදාංශයකි. කෝලි ලංකාවේ සුන්දරත්වය දුටු ඉහත ඡායාරූප ගන්නට යෙදුනේ ඒ ඇබ්බැහිය මතය. නමුත් ඔහුගේ මේ ඡායාරූප දුටු සමහර කොරහෙත් කිඹුලන් දකින උදවිය ඒ තුළ මහා වින්නැහියක් දුටුවේය. ඔවුන් සිය විවේචනාත්මක අදහස් වලින් පහර ගසා තිබුණේ ලංකා ක්‍රිකට් පිලටය. මේ තරම් ලස්සන ස්ථාන කරා රෝන්දේ යන්නට කෝලිට අවස්ථාව ලබා දෙමින් දින පහේ තරග දින තුනකින් නිම කිරීමට තරම් ඔවුන් නොසැලකිලිමත් වීම පිළිබඳ උපහාසය මුසු දෝෂාරෝපණ එල්ල කරමිනි. ඉන්දීය පිලට දළඳා වැඳගන්නටත් පින්නවල අලි ඇතුන් බලාකියා ගන්නටත් කාලය ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දින තුනක් ඇතුළත තරගය අවසන් කළ බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන් පිරිසක් උපහාසයෙන් යුතුව ට්විටර් පිළිතුර එක්කර තිබුණි. ඒ අතර ලංකාවේ සුන්දරත්වයට හොඳටම වහ වැටුණු කෝලි කියා තිබුණේ තමන්ට සීගිරි දඹුලු නැගීමට නොහැකි වීම ගැන ඉතා කණගාටු වන බවත් ඉදිරියේදී ඉතා ඉක්මණින් ඒ අවස්ථාව උදා කරගන්නට සිතා සිටින බවත්ය. මේ අන්දමට ඔහු නොකියා කියා සිටියේ ඉදිරි කාලයේදී තමන් ලංකාවට ප්‍රබල තර්ජනයක් එල්ල කරන බවත්, සිය ජවසම්පන්න ප්‍රහාර වේගය මගින් ඉදිරි තරගත් හිතුවාටත් කලින් අවසන් කිරීමට කටයුතු කරන බවත් යැයි සමහරු පෙන්වා දී තිබේ. ඔවුන්ට අනුව නම් ට්විටර් මගින් ඔය නොබෝදා ඉදිරිපත් කළ කෝලි දුටු ලංකාවේ සුන්දරත්වය තවත් සොඳුරු අනතුරු ඇඟවීමක් පමණි. එසේනම් ඔහු මේ නොකියා කියන්නේ දෙන්නම් බැටේ! කියාවත්ද?
සුගත් පී. කුලතුංගආරච්චි