2017 අගෝස්තු 26 වන සෙනසුරාදා

ලොතරැයි අලෙවිකරුවෝ අදින්න යන ලොතරැයිය

 2017 අගෝස්තු 26 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 428

මෙරට සිටින බහුතර පිරිසකගේ දින චර්යාවෙහි අනිවාර්ය අගංයක් වන තරමට ලොතරැයිය ජනතාවට සමීපව පැවති කාලයක්ව තිබිණි. රුපියල් 20 ක් වැනි මුදලකට යමෙකුට ලක්ෂපතියකු, කෝටිපතියකු වීමේ වාසනාව තිබුණේ නම් ඒ ලොතරැයි දිනුමකින්ම පමණි. බොහෝ දෙනා තමන්ට දෛනිකව යෙදෙන රාජකාරි අතරතුර කොතරම් කාර්යබහුල වුවද ලොතරැයි පතක්, දෙකක් මිලදී ගන්නට හුරුවූයේ ඒ තමන් සතු වාසනා මහිමය උරගා බලන්නටය.

ලොතරැයියේ කතාව එසේ සිදුවෙද්දී අද අපට අලුතෙන්ම කීමට ඇත්තේ ලොතරැයිය ගැන අලුත්ම කතාවකි. ඒ ලබන මස පළමු වැනිදා සිට ජාතික හා සංවර්ධන ලොතරැයිපත් වර්ග පහක් පමණක් අලෙවි කිරීමට අලෙවිකරුවන් ගත් තීන්දුවත් සමගිනි. 

සමස්ත ලංකාවෙහිම ලොතරැයි දිස්ත්‍රික් අලෙවි නියෝජිතයන් 78 දෙනකු යටතේ ප්‍රධාන අලෙවි නියෝජිතයන් 2,460ක් සහ සහාය අලෙවි සහයකයන් 12000ක් හරහා මෙම ව්‍යාපාරය ක්‍රියාත්මක වන අතර මෙමගින් යැපෙන සේවක සංඛ්‍යාව 280,000කි. ඉන් යැපෙන පවුල් සංඛ්‍යාව ලක්ෂ 7කට ආසන්නය. 

එදාවේල සොයාගන්නා බොහෝ පිරිසක් ලොතරැයිපත් අලෙවිය මගින් සිය ජීවිකාව ගෙන යන අතර බොහෝ පාරිභෝගිකයන් ජාතික හා සංවර්ධන ලොතරැයි මණ්ඩල මගින් අලුතින් හඳුන්වාදෙන ලොතරැයිපත් මිලදී ගැනීමට මැලිකමක් දැක්වීම නිසා අලෙවිකරුවන්ට සිදුවන අපහසුතාවය මඟහරවා ගැනීමට සමස්ත ලංකා ලොතරැයි අලෙවි නියෝජිතයන්ගේ සංගමය මෙම තීරණයට එළඹී ඇත. 

එමෙන්ම ඔවුන්ගත් මෙම තීරණය තුළින් කිසිදු අලෙවි සහකරුවකුට සිය ලොතරැයිපත් අලෙවියේදී ප්‍රශ්නයක් නොවනු ඇති අතර ලොතරැයි මණ්ඩලය විසින් හඳුන්වා දෙන මෙම විවිධ මාදිලියේ ලොතරැයිපත් විකිණීමට නොහැකිවීම තුළ ඔවුහු ඉතා අසරණ භාවයට පත්ව සිටිති.

ඒ අනුව ලබන මස පළමුවැනිදා සිට ජාතික ලොතරැයි මණ්ඩලය විසින් නිකුත් කරන ලොතරැයි පත් අතුරින් ගොවිසෙත, මහජන සම්පත, නිරෝගා, සුපිරි වාසනා සහ සෙවණ යන ලොතරැයිපත් මෙන්ම සංවර්ධන ලොතරැයි මණ්ඩලය විසින් නිකුත් කරන ශනිදා වාසනා, ලග්නවාසනා, ජයෝදා, සුපර්බෝල් හා කෝටිපති ශනිදා යන ලොතරැයිපත් පමණක් අලෙවි කරනු ඇත. 

පසුගිය වසර තුළ ලොතරැයි අලෙවි නියෝජිතයන්ට බිලියන 20ක අලෙවි ඉලක්කයක් මෙම ලොතරැයි මණ්ඩල දෙක මගින් ලබාදී ඇති අතර එය ඉටු කිරීමට දායක වූ අලෙවි නියෝජිතයන් මෙන්ම අලෙවි සහකයන් මේ වනතෙක්ම කිසිදු ඇගයීමට භාජනය කර නොමැති හෙයින් විශාල පිරිසක් ලොතරැයි අලෙවියෙන් ඉවත්වීමට ඉඩකඩ ඇති බවද වාර්තා වේ.

ලොතරැයිපත් අලෙවියේදී ලබාදෙන කොමිස් මුදල ශත 50කින් වැඩි කිරීම ඇතුළු ඉල්ලීම් පහක් මුල්කරගනිමින් සමස්ත ලංකා ලොතරැයි අලෙවි නියෝජිතයන්ගේ සංගමය විසින් මෙම තීරණය ගෙන ඇති අතර තම ගැටලුවලට විසඳුම් ලබා නොදෙන්නේ නම් ඉදිරියේදී මේ සඳහා තවත් පියවර ගැනීමට ඔවුහු සූදානම් වෙති. 

ලොතරැයියේ තිබෙන මෙම තත්ත්වය ගැන දැනගැනීම සඳහා සමස්ත ලංකා ලොතරැයි අලෙවි නියෝජිතයන්ගේ සංගමයේ සභාපති ක්‍රිෂාන්ත මාරමගේ මහතාගෙන් විමසීමක් කළෙමු.

රුපියල් 30ට තිබුණු ලොතරැයිය රුපියල් 20ක් දක්වා අඩුකර ගැනීමට අපිට පුළුවන් වුණා ඇමැතිතුමා එක්ක ලොකු සටනක් කරලා. ඒ සිදුවීම් ජාලයත් එක්ක පාරිභෝගිකයන් ලොතරැයිපත් ගැනීම අඩුකළා. ඒකෙන් අපේ අලෙවිය පහළට වැටුණා. ඒ වගේම තමයි ඊට පස්සේ ජනතාව අතරට මතයක් ගියා මේ වගේ දිනුම් නැහැ කියලා. නමුත් එහෙම එකක් නැහැ. මේ ලොතරැයිවල දිනුම් තියනවා. වෙලා තියෙන්නේ මේකයි මේ ගොල්ලන් නොයෙක් නම් වලින් ටිකට්පත් එනවා. මුලින් මහජන සම්පතයි, ශනිදා වාසනාවයි විතරයි තිබුණේ. නමුත් මේ වෙනකොට වර්ග 20ක් විතර තියනවා වෙළෙඳපොළට ඇවිල්ලා එතකොට ජනතාව කල්පනා කරනවා මේක මේ ලොතරැයියක්ම නෙවෙයි රජය මුදල් සෙවීමේ පරමාර්ථය මත තමයි මේක කරන්නේ කියලා. ඒ තුළින් අපේ රස්සාවේ නිරත වෙලා ඉන්න අලෙවි නියෝජිතයන් බොහොම අසරණතාවයට පත්වෙලා ඉන්නවා. 

නාරාහේන්පිට ලොතරැයි අලෙවි සහයක කේ.ජී.ඩී. පද්මසිරි

උදේ 06 විතර ඉදන් රෑ 7 විතර වෙනකම් මම ලොතරැයි අලෙවි කරනවා. සමහර පාරිභොගිකයන් මේ අලුතින් එන ලොතරැයි මිලදී ගන්න වැඩි කැමැත්තක් දක්වන්නේ නැහැ. ඒවා විකිණෙන්නේ නැහැ. ඒ නිසා ඒ ලොතරැයිපත් 50ක් අපි ගේනවානම් හතළිහකට වැඩි ගානක් ඉතුරු වෙනවමයි. ඒවා නැතිව අපි වෙනදා විකුණන ලොතරැයිපත් ගෙනාවොත් ජනතාව ඉක්මනටම මිලදී ගන්නවා. ඉතින් අර අලුත් ඒවා ගේනවට වඩා පරණ ඒවාම ගෙනල්ලා විකුණුවොත් අපිට කීයක්හරි හොයන්න පුළුවන්. අනික තමයි සමහර අවස්ථාවල රුපියල් 100ට විතර ටිකට් එකක් එනවා විශේෂ අවස්ථා කියලා. ඒවා විකිණෙන්නෙම නැහැ.

 හසිත් අංජන