2017 අගෝස්තු 26 වන සෙනසුරාදා

මගී තදබදයට බස් ලේන් විසඳුම

 2017 අගෝස්තු 26 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 114

දිනපතා කොළඹ නගරයට ඇතුළු වන ලක්ෂ ගණනක් රථවාහන නිසා අධික වාහන තදබදයක් නිර්මාණය වී තිබේ. මේ නිසා නගරයේ තදබද වේලාවන් තුලදී සාමාන්‍ය වේගය පැයට කිලෝමීටර් 10 – 12 තරමට සීමාවී තිබේ. මෙය රටේ ශ්‍රම බලකාය මහපාරට හිර කළ කාරණයක් වූයෙන් ඊට විසඳුමක් වශයෙන් බස් රථ ප්‍රමුඛතා මංතීරැවක් හඳුන්වා දෙන්නට රජය පියවර ගෙන තිබේ.

මාර්ග තදබදය අවම කිරීමේ කඩිනම් විසඳුමක් වශයෙන් බස් රථ ප්‍රමුඛතා මංතීරු සංකල්පය හඳුන්වා දෙන්නට මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය පියවර ගෙන තිබුණි. එහිදී පොදු ප්‍රවාහන සේවාවන් භාවිත කරන්නන් සඳහා සෑම සතියේ දිනකම කාර්ය බහුල වේලාවන් (පෙරවරු 6 සිට පෙරවරු 9 දක්වා) පහත සඳහන් මාර්ගවල කොළඹ දෙසට ප්‍රමුඛතා මංතීරු වැඩ සටහන ක්‍රියාත්මකය. එහි පළමු පියවර ඉකුත් 15 වැනි අඟහරුවාදා ආරම්භ කෙරුණේ ගාලු පාරේ මොරටුව කුරුස මංසන්ධියේ සිට රත්මලාන සහ වැල්ලවත්ත පාලමේ සිට කොල්ලුපිටිය දක්වා වූ මාර්ගයේය. දෙවැන්න ක්‍රියාත්මක කෙරෙන්නේ එළැඹෙන 22 වැනිදා සිට කටුබැද්ද මංසන්ධියේ සිට මැලිබන් හන්දිය දක්වාය. අගෝස්තු 29 වැනිදා සිට බත්තරමුල්ල පාරේ දියත උයන අසල සිට රාජගිරිය අයුර්වේද මංසන්ධිය දක්වාත් ටවුන්හෝල් සිට තුන්මුල්ල දක්වාත් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

අනතුරුව ලබන සැප්තැම්බර් 5 වැනිදා සිට මරදාන ටෙක්නිකල් හන්දිය සිට පිටකොටුව, කොටුව, චිත්තම්පලම් ඒ ගාඩිනර් මාවතේ ගුවන් හමුදා වටරවුම හරහා කොම්පඤ්ඤ වීදිය දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිතය. සැප්තැම්බර් 12 වැනිදා සිට කොම්පඤ්ඤ වීදියෙන් ආරම්භ කරන බස් මංතීරුව පිටකොටුව දක්වා ක්‍රියාත්මකය. එසේම නොවැම්බර් මස 30 වැනිදා සිට බොරුල්ල සිට මරදාන දක්වා ක්‍රියාත්මක කිරීමට කටයුතු සූදානම්ය.

මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන්නට පෙර ඉකුත් මාර්තු 12 – 23 අතර දින කීපයේදී පාර්ලිමේන්තු පාරේ රාජගිරිය හන්දිය සිට ආයුර්වේද වටරවුම දක්වා නියමු ව්‍යාපෘතියක් අත්හදා බලනු ලැබීය. ඒ සඳහා කොරියානු ජාත්‍යන්තර සහයෝගිතා ආයතනයේ සහ අදා< ක්ෂේත්‍රයේ වෘත්තීය ප්‍රවීණයන්ගෙන් සහය ලබාගෙන තිබුණි. එහිදී හඳුනාගෙන තිබුණේ ව්‍යාපෘතිය මාර්ග තදබදය අඩු කිරීමට සාර්ථක විසඳුමක් බවය. මෙම සංකල්පය තවදුරටත් ව්‍යාප්ත කිරීම හරහා පොදු මහජන සේවා භාවිතා කරන්නට මධ්‍යම පිරිස් ආකර්ෂණය කර ගැනීම සහ පොදු ප්‍රවාහන අංශයේ තත්ත්වය ඉහළ නැංවීමට කටයුතු සිදු කරන බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා 

රාජගිරිය හා ආයුර්වේද වටරවුම අතර කළින් මේ ව්‍යාපෘතියේ පර් යේෂණයක් සිදු කළා. දින තුනකින් පමණ එය සාර්ථක බව තේරුණා. ඒ අත්දැකීම මතයි මෙය ආරම්භ කළේ. මේ මංතීරු ක්‍රමය නිසා රියදුරන්ට විනයක් හික්මීමක් ඇති වෙනවා. සාමාන්‍ය මගී ජනතාවට මෙයින් පහසුවක් ඇති වෙනවා. පෞද්ගලික වාහන භාවිත කරන අයටත් මාර්ග විනය විධිමත්ව ලැබෙන නිසා ඔවුන්ගේ වාහන පහසුවෙන් ධාවනය කරන්න අවස්ථාව ලැබෙනවා. මේක අලුත් අත්දැකීමක්. අඩු වියදමකින් විශාල වෙනසක් ඇති වුණා. මේ නිසා අධික වියදම් සහිත අධිවේගී මාර්ග වලට කලින් බස් රථ හා දුම්රිය වැනි පොදු ප්‍රවාහනය ශක්තිමත් කළ යුතුව තිබෙනවා. ඉදිරියේදී මාර්ග සංවර්ධන කටයුතු වලදී පොදු ප්‍රවාහනය සඳහා මුල්තැන ලබාදී කටයුතු කරනවා

මෙතෙක් මාර්ග සංවර්ධනයේදී සිදුකර තිබුණේ මාර්ග පුළුල් කර පෞද්ගලික වාහන ගමනාගමනයට පහසුකම් සැලසීමයි. ඉන් විවිධ ගැටලු මතුව ඇති හෙයින් මින් ඉදිරියට මාර්ග සංවර්ධනයේදී පොදු ප්‍රවාහනයට මුල්තැන දීමට කටයුතු සිදුකරන බව අමාත්‍යවරයා පවසයි. ඒ අනුව මාර්ගයේ මැද තීරැවේ සීඝ්‍රගාමී බස් රථ සේවයක් අරඹන්නට යෝජනා වී තිබෙන බව ද සඳහන් කළේය.

අධිවේගී මාර්ග හා ගුවන් මාර්ග නිර්මාණය තුළින් මාර්ග තදබදය අඩු කරන්නට හැකි බව බොහෝ දෙනාගේ අදහස වී තිබුණ ද සුළු මුදලකින් විශාල වෙසක් ඇති කළ බස් රථ ප්‍රමුඛතා මංතීරු රටට නවමු අත්දැකීමකි.

 සමන්ත ප්‍රදීප් විල්තෙර