
මහත් හරසරින් විරාජමානව සිටින ජය ශ‍්‍රීමහා බෝධිය ප‍්‍රධානව ඓතිහාසික අනුරාධපුරයේ පිහිටි දිවයිනේ නන්දෙස ජනතා අවධානය දිනූ සිද්ධස්ථාන සහ ස්මාරක ගණනාවකි. දෛනිකව මෙම වෙහෙර විහාරස්ථාන දැක බලා, වැදපුදා ගැනීමට, විවිධ වතාවත් සිදුකිරීමට මෙහි පැමිණෙන පිරිසද අතිමහත්ය. එහෙයින්ම මේ පුදබිම් ආශ්‍රිතව යම් උප සංස්කෘතික පසුබිමක් නිර්මාණය වී ඇති බව වසන් කළ නොහැක්කකි.
අර්ථයෙන්, ධර්මයෙන් සැදැහැවතුන්ට අනුශාසනා පවත්වමින් වැඩ හිඳින මහා සංඝරත්නය එක් පසෙකය. පාරම්පරිකව විවිධ වතාවත් විධිවලට දායක වන ශිල්පීන් තවත් පසෙකය. මල් පමණකුදු නොව කිරි ආහාර පාත්තරේ සිට පොල් පැලේ, පහන් තැටිය, හඳුන්කූරු, විවිධ අත්කම් සහ විසිතුරු භාණ්ඩ මෙන්ම ආහාර පානාදිය දක්වා අතෝරක් දෑ මෙහි යන එන්නවුන් වෙත සපයමින් දවස සරි කරගන්නා ව්‍යාපාරිකයින් සමුහයක්ද ඒ අතර වෙති. මෙකී පසුබිම තුළ අටමස්ථානය ආශ‍්‍රිතව සිදුවන බොහෝමයක් වතාවත් සමඟ සැදැහැවතුන්ගේ ශ්‍රද්ධාවට නොදෙවෙනිව මුදල්ද හරි හරියට ඈඳී ඇති බව සැඟවිය නොහැකි සත්‍යයයි. ඒ සත්‍යය වරෙක නීරසය. අප‍්‍රසන්නය.
මහා සංඝරත්නය විෂයෙහි පූජා කෙරෙන අටපිරිකර, සෑ වටා පළඳවන කංචුක, චෛත්‍ය හුණු පිරියම් කිරීම, ලක්ෂ ගණනින් මල් පූජා පැවැත්වීම, මහා දාන, අධිෂ්ඨාන පූජා, ආශිර්වාද පූජා, ග‍්‍රහ අපල, විභාග ජය, දරු සම්පත්, රෝග නිවාරණ, විවාහ අපේක්ෂා මෙකී නොකී බොහොමයක් දෑ වටා බැඳී ඇති සාම්ප‍්‍රදායික වත් පිළිවෙත් එක් පසෙකය. මුදල් තව පසෙකය. සේරි වානිජලා එක් පසෙකය. ජීවත් වීමේ අරගලයේ යෙදෙන්නවුන් තව පසෙකය.
මෙහි සමහර ව්‍යාපාරිකයින් හිතු හිතූ මිල ගණන්වලට පූජා භාණ්ඩ අලෙවියේ යෙදෙන බවට මතුවන චෝදනාවල ද නිමාවක් නැත. එහෙත් මෙතෙක් ඒ වෙනුවෙන් ගත් කවර හෝ ක‍්‍රියාමාර්ගයක් ද නැත. මෙහි සමහර තැනෙක අලෙවි වන ආහාර ද්‍රව්‍යවල ප‍්‍රමිතිය සහ පවිත‍්‍රතාවය පිළිබඳව කවර හෝ සොයාබැලීමක් සිදුවේදැයි නිශ්චිත නැත. එවැන්නක් සිදුනොවීමට ඇති ඉඩකඩ ඉතා වැඩිය. මෙතෙක් මේ තත්ත්වයන් පිළිබඳව වන්දනාකරුවන්ගේ පාර්ශ්වයෙන් සාධාරණයක් ඉටුකිරීම පිළිබඳව කිසිදු වගකිව යුත්තකුගේ අවධානය යොමු නොවීම අවාසනාවක්ව පවතී. භාරවීම, ඔප්පු කිරීම, ආශිර්වාද ප‍්‍රාර්ථනා කිරීම ආදි විවිධ කටයුතු වෙනුවෙන් අවැසි කළමනා මේ වෙළෙඳුන් ළඟ ඇත. අවශ්‍යතාවය දැන්වීම පමණක්ම ප‍්‍රමාණත්වය.
එහෙත් ගැටලුව මතුවනුයේ මිල ගණන් දැන්වු විටය. කීයක් කිව්වද නිහඬවම කියන ගාණ දී දෙන දේ රැගෙන යෑම මෙහි පැමිණෙන සාතිශය බහුතරයකගේ පුරුද්දය. කිසිවකු ප‍්‍රශ්න කරන්නට යන්නේ ද නැත. එසේ ප‍්‍රශ්න කරන්නට යෑම අනිවර්තේ ලෙඩ දා ගැනීමක් ලෙස සමහරෙක් කල්පනා කරති. දෙයියන්ගේ, බුදුන්ගේ දේ හෙට්ටු කිරීම පාපයකැයි තවකෙක් සිතති. මේ අප‍්‍රමාණික භක්තිය දඩමීමා කොටගත්තවුන් සමහරක් වගක් විභාගයකින් තොරවම මිල ගණන් නියම කරති. කවර හෝ බියක් සැකයකින් තොරවම මේ නොපනත්කම්වල නියැලීමට ඔවුනට ඉඩ අවකාශ උදාව ඇත්තේ කාගේ හව්හරණකින්දැයි කිසිවෙකු දන්නේ නැත.
මෙබිම මත නොඅඩුව ඇති නෙළුම් මල් නෙළීම මෙන්ම විකිණීමද ජාවාරමක් වී ඇති සෙයකි. ගම්මැදි ඉපැරැණි කොටු වැව් තුළ මනාව වැවුණු නෙළුම් යායට එදවස නිශ්චිත අයිතිකරුවකු සිටියේ නැත. එහෙත් දැන් අයිතිකරුවෝ බොහෝ වෙති. නෙළූම් මල් මුදලාලිලා වැව් පිටින් බදුගෙන ඇත. තැනෙක වැව් මැද මල් කැඩීම තහනම් කොට දැන්වීම් දමා තිබේ. සමහර ගම්මැද්දක ගැමියන්ට බුදුපුදට ගෙනයෑමට මලක් කඩා ගැනීමට නොහැකිවීම දක්වා මේ තහංචි බලවත් වී තිබේ.
ග‍්‍රාමීය වැව් තුළ ඕලු, නෙළුම් ආදිය ප‍්‍රවර්ධනය කිරීම සඳහා කිසියම් වැඩපිළිවෙළක් හෝ එවන්නකට මුල්වෙන කිසිවකුද නැත. එහෙත් හැල්මේ හැදෙන නෙළුම් මලට අයිතිකරුවෝ බොහෝ වී තිබේ. තුට්ටු දෙකට වැව් පිටින් බදුගන්නා සේරි වානිජලා මලකට ගෙවනුයේ රුපියලකි. නැත්නම් දෙකකි. එහෙත් වන්දනාකරුවන්ට රුපියල් විස්සක් නැතිනම් විසිපහක් එක් මලකට ගෙවන්නට සිදුව තිබේ. කවර අර්ථයෙන් බැලුවද මෙකී වෙළෙඳාමේ ඇති සාධාරණයක් නැත.
මල් කඩන්නවුන්ගේ දෑත් දෙපා නෙළුම් දඬුවලට සීරෙයි. සමහර වැවක කිඹුල් අවදානම ද නොඅඩුව ඇත. එහෙත් ඔවුනට මේ ගනුදෙනුවේ දී ලැබෙනුයේ සොච්චමකි. නෙළුම් පිපෙනුයේ සිය බඩ කට පිරවීම සඳහා පමණක්ය යන සිහියේ පිහිටා කටයුතු කරන සමහර මල් මුදලාලිලාගේ අසාධාරණ වෙළෙඳාමේ තරම මෙහි කිසිවකුට රහසක් නොවෙති. ඔවුහු පුදබිම් සන්තකයට ලියාගත්තවුන් සේ කටයුතු කරන බවට තවෙකකු මතු කරන චෝදනාවකි. සංස්කෘතික දායාදයන් සුරක්ෂිත වන අතරවාරයේ, විසල් ව්‍යාපාරික පසුබිමක්ද මෙබිම මත නිර්මාණය වී ඇති හෙයින්ම මෙහි යන එන ජනී ජනයා වෙත සිදුවන අවැඩ පිළිබඳව අවධානය යොමුකිරීම පැහැර හැරිය නොහැකි කරුණක්ව පවතී.
පුදබිම් වන්දනාමාන කිරීමට පැමිණෙන සැදැහැවතුන් තුළ පැවතිය යුතු හැදියාව ඒ ආශ‍්‍රිතව විවිධ ව්‍යාපාරවල නියැලෙන පිරිස් තුළ පැවතිය යුතු නැතැයි කිසිවෙකුට පැවසිය හැකිදැයි අප දන්නේ නැත. එහෙත් මල් ආදි අඩුම කුඩුම විකුණන සමහරෙකුගේ බාහිර පෙනුම ඉතා අප‍්‍රසන්නය. කෙස් රැවුල් වවා, ගෙලේ, අතේ, පයේ මාල බැඳ මං පහරන්නන් සේ සිටින සමහරෙකු දැකීමම තිගැස්මට හේතුවකි. ඔවුනගේ මේ බාහිර පෙනුම මගින් ද කියාපානුයේ මෙකී ව්‍යාපාර සඳහා කවර හෝ නියාමනයක් නැති බව මිසක අනෙකක් නොවේ. මේ අපිළිවෙළින් යුතු සමහරෙකු විවිධ නොපනත්කම් වල නියැලෙන්නන් බවට ද විටෙක චෝදනා නැගෙති. සුදු හැද, කරපටි බැඳ මල් විකුණන ලෙස අප යෝජනා නොකරමු. එහෙත් කවර හෝ විනයක් තිබිය යුතු නොවේදැයි අප අසමු.
මේ බොහෝමයක් සිද්ධස්ථාන ආශ‍්‍රිතව පොලිස් ආරක්ෂාව ද යොදා ඇතැයි පැවසුනත් පොලිසිය කරන්නේ කවරක්ද යන්න කිසිවකුට පැහැදිලි නැත. වන්දනාකරුවන් පසෙකලා අටමස්ථානයේ යම් යම් සිද්ධස්ථාන ආශ්‍රිතව ඒකරාශි වන පූජා භාණ්ඩ සඳහා ඉහළම ආරක්ෂාව දීමට සමහරක් පොලිස් නිලධාරින් සැදී පැහැදි සිටින බව සැදැහැවතුන් පවසති. මහා සංඝරත්නය උදෙසා පූජා කෙරෙන අෂ්ඨ පරිෂ්කාර සහ සෑ මත පළඳවන කංචුක ඒ අතරය. මේ පූජා භාණ්ඩ සඳහා පොලිස් නිලධාරින් සමහරෙකුට ඇති අප‍්‍රමාණ කැක්කුම වරෙක පුදුමයට තුඩු දෙන්නකි. සැබෑ ලෙසම අසරණව බත් පතක් ඉල්ලගෙන කන්නට එන, කීයක් හෝ ඉල්ලා අතපාන අහිංසකයින් කුඩු කරන්නට යැයි කිසිවකු කියන්නේ නැත. එහෙත් මේ ඓතිහාසික සිද්ධස්ථාන ආශ‍්‍රිත ගෞරවය යථාවත් කිරීමේ වගකීමේ සැලකිය යුතු අගයක් පොලිසිය වෙත ද ඇති බව නම් නොකියමනාය.
උතුරු මැද පළාත් සභාවල අනුරාධපුර මහ නගර සභාවල නාගරික සංවර්ධන අධිකාරිය, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව, අනුරාධපුර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලය, පූජා නගර සංවර්ධන කමිටුවල පොසොන් උත්සව කමිටුව ආදි මෙකී නොකී ආයතන, සංවිධාන ගණනක් මේ පුදබිමේ වගකිව යුත්තන්ව සිටිති. කවරෙකු සිටිය ද මේ සියල්ලන්ටම පාහේ මෙබිමෙහි භෞතික සම්පත් සංවර්ධනයට ඇති හදිසිය සහ ඕනෑකම මෙහි පණ ගැහෙන ජීවිත කෙරෙහි ඇතිද යන්න විමසිය යුතුව තිබේ. ඒ සඳහා ඉදිරිපත් කළ එකදු හෝ වැඩපිළිවෙලක් තිබුණේදැයි ඇසිය යුතුව ඇත.
කෙසේ වී නමුදු මේ පුදබිම් ආශ්‍රිත වෙළෙද ව්‍යාපාර මගින් දවස සරි කරගන්නා පිරිස එකෙකු දෙන්නෙකු නොවේ. සිය ගණනකි. ඒ මත යැපෙන්නවුන් දහස් ගණනකි. හිටිහැටියේ කඩාහැලෙන වැස්සටත්, පුපුරු ගහන අව්වටත් හසුව අනේක කම්කටොළු හා මුහුවූ ජීවිතය ජීවත් කරවීමට මේ බොහෝදෙනෙකු ගන්නා වෑයම අතිමහත්ය. කරුණු එසේ වුවත් මේ ව්‍යාපාර සහ ව්‍යාපාරිකයින් නිසි නියාමනයකට නතු කිරීමේ අවශ්‍යතාවය ඒ හේතුවෙන් කිසිසේත් බැහැර කළ යුත්තක් නොවේ යන්න අවසන සඳහන් කළ යුතුව තිබේ.
කතාව හා සේයාරූ - තඹුත්තේගම ප‍්‍රදීප් රණතුංග