පළමු අදියර ඉවරයි දෙවැනි අදියර පටන්ගන්නවා - ජාතික ශිල්ප සභාව

රුහුණු මාගම්පුරයට ආවේණික වූ සම්ප්‍රදායික හස්ත කර්මාන්ත හා දේශීය, නවීන නිපැයුම් ක්ෂේත්‍රෙය් කලඑළි බසිනා නිර්මාණයන් සහ එම නිෂ්පාදිත කලාකරුවන්ගේ හෙට දිනය එළිපෙහෙළි කරන්නට අවැසි යටිතල පහසුකම් සමඟ, නව හස්ත කර්මාන්ත ගම්මානයක් වර්ෂ 2013 ඔක්තෝබර් මස 23දා තිස්සමහාරාම කාවන්තිස්සපුර දී මුල්ගල් තබා වැඩ ආරම්භ කෙරිණි. සම්ප්‍රදායික කර්මාන්ත සහ කුඩා කර්මාන්ත සංවර්ධන අමාත්‍යංශයේ පූර්ණ මඟ පෙන්වීම මත ඇරඹි මෙම හස්ත කර්මාන්ත ගම්මානය ඉන්දියානු රජය මගින් ප්‍රදානය කරන ලද රුපියල් මිලියන 25ක් ආධාරයක් මත ක්‍රියාත්මක විය.
සමීක්ෂණ දත්ත අනුව හම්බන්තොට දිස්ත්‍රික්කය පුරා විසිරී ඇති පන්සියයකට අධික හස්ත කර්මාන්ත ශිල්පීන්ට මෙම ගම්මානය ඉදිකිරීමෙන් අනතුරුව ස්ථීර පුහුණුවක්ද රැකියා අවස්ථාද උදාකරදීමට යෝජනා වී තිබිණි. එමෙන්ම මෙම ගම්මානයේ අලෙවි මධ්‍යස්ථාන මගින්, අත්කම් නිපැයුම් අලෙවි කිරීමට අවස්ථාව උදාකිරීමටද මූලික සැලසුම්වල ඇතුළත් විය.
තිස්ස කතරගම ප්‍රධාන පාරේ, කාවන්තිස්සපුර සුන්දර ප්‍රදේශයක දහසක් බලාපොරොත්තු මැද ඉදිකිරීම් ආරම්භ කළ හස්ත කර්මාන්ත ගම්මානය අද වනවිට ඉතාමත් ජරාජීර්ණ ස්ථානයකි. හරකුන් ලගිනා, පාළුවට අතහැර දැමූ මධ්‍යස්ථානයක් බවට එය පත්ව තිබීම රුහුණේ හස්ත කර්මාන්ත ශිල්පීනට ගැසූ මරුපහරක් වී තිබේ.
රුහුණේ මැටි ආශ්‍රිත කුඹල් මැටි කර්මාන්ත, තල් ආශ්‍රිත කර්මාන්ත, පොල් ආශ්‍රිත කර්මාන්ත, අත් යන්ත්‍ර පේෂ කර්මාන්ත, සිප්පිකුටු බෙලිකටු කර්මාන්තය, රෙදිපිළි මෝස්තර නිර්මාණ, විසිතුරු සැරසිලි, රුක් කලා නිර්මාණ, ෆයිබර් නිර්මාණ යන නිර්මාණයන්හි දේශීය සම්ප්‍රදායික නිමැවුම් මෙන්ම නවීන විසිතුරු භාණ්ඩ නිර්මාණයන්ද වඩාත් ක්‍රමවත්ව දක්ෂ ලෙස සෑදීමට දකුණේ හස්ත කර්මාන්ත ශිල්පීහු රාශියක් දැනට බිහිවී සිටිති. එවන් කාලයක මෙවැනි කාලීන අවශ්‍යතාවයක් සපුරන අත්කම් නිපැයුම් හා වෙළෙඳ ගම්මානයක් ඉදිකර එය උපන්ගෙයිම මියැදෙන්නට පිඹුරුපත් සැකසූ නිලධාරීන් බලධාරීන් කලාකරුවන්ට මහත් කොඩිවිනයක් කර ඇති බව මේ සම්බන්ධව අදහස් ප්‍රකාශ කළ රුහුණේ හස්ත කර්මාන්ත කලාශිල්පීන් පවසනුයේ දැඩි සිත් වේදනාවකිනි...
ටී. ජෝන්ස් මහතා (තිස්සමහාරාම සම්ප්‍රදායික මැටි කර්මාන්තකරුවෙක්)
අපි පාරම්පරික මැටි කර්මාන්තකරුවෝ. හට්ටි, මුට්ටි, වළං, ඇතිළි, මැටි පහන්, කිරිහට්ටි, විවිධ සතුන් වර්ග, කැට, කළගෙඩි, විසිතුරු සැරසිලි, වැනි මැටි ආශ්‍රිතව කර්මාන්ත කරනවා. අපි විවිධ නිර්මාණ හදනවා. ඒවා විකුණා ගැනීමේදී විශාල ගැටලු තිබෙනවා. හදනවා කියූ අලුත්, හස්ත කර්මාන්ත ගම්මානයේ අපිට වෙළෙඳකුටි දෙනවා කියලා කිව්වා. අපේ කර්මාන්තවලට අලුත් වටිනාකමක් දෙනවා කිව්වා. ඒත් අද වෙනකොට ඒ ගැන කිසිම කතාවක් නැහැ. හදපු ගම්මානෙත් කැලේට යටවෙලා. හරක් නිතරම ලැගගෙන ඉන්නවා. මේ ජාතික සම්පත විනාශ වීමට ඉඩ නොදී අපට ලබාදෙන්න කියලයි අපේ ඉල්ලීම.
දිල්හානි තුෂාරා ජයවික්‍රම මහත්මිය (දෙබරවැව හස්ත කර්මාන්ත උපදේශිකා - නොවිධිමත් අධ්‍යාපන ඒකකය)
ඇත්තටම ජාතික ශිල්ප සභාව අනුග්‍රහය ඇතිව තිස්සමහාරාමේ ඉදිවූ හස්ත කර්මාන්ත ගම්මානය විවෘත නොකිරීම මෙම ප්‍රදේශයේ හස්ත කර්මාන්තකරුවනට විශාල පාඩුවක්.
අපේ හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ විශාල වශයෙන් විවිධ අත්කම් නිර්මාණ කරනා ශිල්පීන් මහත් රාශියක් ජීවත් වෙනවා. එයාලාට විශාල ශක්තියක් මෙම ගම්මානය. දැනට අපි ග්‍රාමීය මට්ටමින් කාන්තාවන්ට ස්වයංරැකියා පුහුණු කිරීම් වැඩසටහන් කරනවා. ඒවාට සම්බන්ධ වන සිය ගණනක් දක්ෂ හස්ත කර්මාන්ත ශිල්පීන්ට මෙම ගම්මානයෙන් රැකියා සහ පුහුණු කිරීම් ලබාදුන්නොත් එය රටට විශාල ආයෝජනයක් වෙනවා. මේ සඳහා අපේ දායකත්වයත් අපි ලබාදෙන්නම්. අපිට ඕනෙ අපේ අත්කම්, හස්ත කර්මාන්ත නිර්මාණවලට වෙළෙඳපොළක් නිර්මාණය කිරීමට සහ මේ ශිල්පීන් දිරි ගැන්වීමයි....


චමල් රාජපක්ෂ මහතා (හිටපු කථානායක, හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී)
තිස්සමහාරාම, කාවන්තිස්සපුර ඉදිවුණ හස්ත කර්මාන්ත හා වෙළෙඳ ගම්මානය මගේ යෝජනාවක්. ඇත්තටම අපේ ගම්වල ජීවත්වෙන දක්ෂ හස්ත කර්මාන්ත කලා ශිල්පීන්ට මෙමගින් විශාල දායකත්වයක් ලබා ගැනීමට හැකි අවස්ථාවන් උදාකරදීමටයි අපි මේ ව්‍යාපෘතිය නිර්මාණය කළේ. ඒ සඳහා ඉන්දියානු රජය නොපැකිළිවම අපට ආධාර උපකාර ලබාදුන්නා. ඒත් ආණ්ඩු වෙනස්වීමත් සමඟ එහි වැඩකටයුතුත් මුළුමනින්ම නතරවූවා යැයි කිවහොත් නිවැරදියි. අද වෙනකොට ගම්මානයේ ගෙවල් පවා දිරලා විනාශවෙලා. ඒවා සඳහා සෙවිලි කළ පොල්අතු පවා දිරලා. ඉන්දියානු රජයේ ආධාර තියෙද්දී මේ විනාශය සිදුවෙනවා නම් වගකිවයුත්තන් මීට වඩා වගකීමෙන් කටයුතු කළයුතු වෙනවා. මොකද මේවා අපට ලැබුණු ආධාර. මේ මගින් ග්‍රාමීය හස්ත කර්මාන්ත ශිල්පීන්ට විශාල සෙතක් ලැබෙනවා.
බුද්ධි කීර්තිසේන මහතා (ජාතික ශිල්ප සභාවේ හිටපු සභාපති)
මීට වසර හතරකට පෙරදි තිස්සමහාරාම කාවන්තිස්සපුර ගම්මානයේ අපි මෙම හස්ත කර්මාන්ත ගම්මානය සඳහා මුල්ගල් තිබ්බා. ජාතික ශිල්ප සභාව හැටියට මගේ හිතේ තිබූ විශාල සිහිනයක් සැබෑවීම පිළිබඳව මා එදා සතුටු වුණා. මේ ගම ඉදිකිරීමේදී මේ සඳහා සැළසුම් හදන්න ක්‍රියාත්මක කරන්න මම රෑ දහවල් නොබලා කටයුතු කළා. අක්කර හතරක විශාල වපසරියක් ඇති භූමියක් මේ සඳහා අපි තෝරාගත්තා. තිස්ස - කතරගම ප්‍රධාන මාර්ගයට මුහුණලා මෙහි ඉදිකිරීම් කටයුතු ආරම්භ කළා. මගේ ඉලක්කය වූයේ හම්බන්තොට ප්‍රදේශයේ ජීවත්වන දක්ෂ හස්ත කර්මාන්ත ශිල්පීනට මෙමඟින් ඉඩ අවස්ථා වැඩිකරදීමටයි. ඒත් එදා මෙම කටයුතු සිදුවෙද්දී මෙහි මූලික ඉදිකිරීම් ගාල්ල ප්‍රදේශයේ කොන්ත්‍රාත්කරුවකුට බාරදීලා තිබුණේ. ඔහු මෙහි ඉදිකිරීම් පවා බොහෝම පහත් මට්ටමේ බාල ප්‍රමිතියට තමයි සිදුකරලා තියෙන්නේ. මෙහි මුදල් අයථා ලෙස සමහර නිලධාරීන් යටිමඩි ගහගෙන තියෙනවා. ඉතින් කොහොමද මෙම ගම්මානය ඉදිකරන්නේ? 2015 රජය වෙනස් වෙනකොට රුපියල් මිලියන හයයි දශම තුනක් තව මුදල් ඉතිරිවෙලා තිබුණා. ඇයි මේ ඉන්දියානු ආධාර ගම්මානය ඉදි නොවන්නේ? මේක විශාල ප්‍රශ්නයක්. දැනට සිටින ජාතික ශිල්ප සභාවේ නිලධාරීන්ට ඉහළ තනතුරු දරන ප්‍රධානීන් වැඩකරන්න දෙන්නේ නැහැ. සමහර ඉහළ නිලධාරීන් ඉතා අඩු වයසේ ඉන්නේ. අවුරුදු 30ටත් වඩා අඩුයි. තනතුරු අරගෙන මේ ශිල්ප සභාව විනාශ කරනවා. ඒ අයට අත්දැකීම් නැහැ. සැලසුම් නැහැ. ඒ අය තාම පොඩි දරුවෝ. පසුගිය දවසක පොල්ගොල්ලෙ තිබුණ හස්ත කර්මාන්ත ප්‍රණාම උළෙලකට ජනාධිපතිවරයාත් සහභාගි වුණා. එතුමා කථා නොකළ උත්සවයක් ලෙසට මෑතකදී එම උළෙල වාර්තාගත වෙනවා. ඒ තරමටම ජනාධිපතිතුමාටත් මේ ශිල්ප සභාවේ වැඩ ගැන කලකිරිලා ඉන්නේ. ආධාර මුදල් තියෙද්දිත් අවුරුදු දෙකක් ගතවෙලත් මේ කුඩා ව්‍යාපෘතියක්වත් මේ අයට කරන්න බැරිවීම හාස්‍යයට කරුණක් වෙනවා... ඇයි මේ ශිල්ප සභාවේ ඇතුළත විශාල ලෙස පිරිහිලා. මේකෙ ඇතුළෙ මහා හොරු ටිකක් ඉන්නවා. උන් මේක විනාශ කරනවා.
ඉන්දියාවේ තියෙනවා “සුරාජ්කුඩ්මේලා” කියලා ජනතාවගේ හස්ත කර්මාන්ත අලෙවි මධ්‍යස්ථාන පුරවරයක්. මට ඒ වාගේ තිස්ස ගම්මානයේ ඉදිකිරීම් කරන්නයි ඕන වෙලා තිබුණේ. මම හිතන්නේ අද වෙනකොට ඉන්දියානු රජයටත් මේ ව්‍යාපෘතිය එපා වෙලා...
චන්දිමාලි ලියනගේ මහත්මිය
(ජාතික ශිල්ප සභාවේ අධ්‍යක්ෂක - කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශය)
තිස්සමහාරාමයේ ඉන්දියානු ආධාර හස්ත කර්මාන්ත ගම්මානයේ ඉදිකිරීම්වල පළමු පියවර අවසන්! දැන් අපි අද හෙටම මෙහි දෙවැනි පියවර ඉදිකිරීම් ආරම්භ කරනවා. ප්‍රාදේශීය වැඩ කටයුතුවල සහ සැලසුම් කටයුතුවල මාස හයකට වඩා වාර්තාවල ප්‍රමාදයක් තියෙනවා. ඒ නිසා සැලසුම් වාර්තා ඇස්තමේන්තු වාර්තා ප්‍රමාද වෙලා. මේවා ලැබුණ ගමන් වැඩ ආරම්භ කරනවා. මෙම ගම්මානය කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශය යටතේ පවතින ව්‍යාපෘතියක්. ඒ නිසා මෙහි වැඩි වගකීම් සතොස හරහා අරගෙන හරි, නොවැම්බර් හෝ දෙසැම්බර් වනවිට විවෘත කර හස්ත කර්මාන්ත ශිල්පීන්ට ලබාදෙනවා. දැනට මූලික ශිල්පීන් තෝරාගෙන ඒ අයට පුහුණු කිරීම් ද අපි ලබාදුන්නා. මූලික වැඩසටහනේ ශිල්ප පුහුණුව ආරම්භ කළා.

හස්ත කර්මාන්ත ගම්මානය වටා වැටක් ඉදිකර අලි විදුලි වැටක් ද අපි පසුගියදා නිර්මාණය කළා. දැනට ගම්මානයට අවශ්‍ය යටිතල පහසුකම් වන වාහන නතර කිරීමේ ප්‍රදේශයක්, ප්‍රධාන දොරටුව, වැසිකිළි පද්ධතියක් යන කරුණු කඩිනමින් සංවර්ධනය කිරීමට කටයුතු සූදානම් කර අවසන්.
කොහොම වෙතත් මේ වසර අවසන් වීමට පෙර මෙම ගම්මානයේ වැඩ කටයුතු අවසන් කරලා අපි හස්ත කර්මාන්ත ශිල්පීන්ට මෙම ව්‍යාපෘතිය උරුම කර දෙනවා...
ශිල්පීන් සහ වගකිවයුත්තෝ පවසන්නේ එසේය. සිදුවන්නේ කුමක්දැයි අපි බලාසිටිමු.
කථාව සහ සේයාරූ - රුක්මන් රත්නායක