
අපි ලොරිය නතර කරවාගෙන පාර දිගේ අලියෙක් ගියා. හම්බ වුණේ නැද්ද කියලා අපි ලොරියේ ආපු අයගෙන් ඇහුවා. (යනවා... යනවා එක්කෙනෙක් අලියාගේ පිට උඩක් යනවා. තව එක්කෙනෙක් ලන්තෑරුමක් අරන් ඉස්සරහින් යනවා.) කියලා ඒ අය කීවා එතකොට තමයි අපට තේරුණේ ඒ ජනපදයේ කපාපු ගස් අදින්න අරන් යන අලියෙක් කියලා. බයිසිකල් එක ගොඩේ වැටිලා අපට තුවාලත් වෙලා. සමහරුන්ගේ අත් පා, වැලමිටි බරු ගැහිලා. (මේ ඇබැද්දිය ගමට කියන්න එපා) කියලා කථාවෙලා අපි ආපහු ආවා. ඒත් පස්සේ මේ සිද්ධිය ගමට ආරංචි වෙලා අපට කොලොප්පන් කරන්න පටන් ගත්තා.
“ඒ කාලේ ඔය ස්වාමින් වහන්සේලා ධර්ම දේශනා කරනකොට ඒ බණට පොඩි පොඩි නාට්‍ය ජවනිකාත් ඈඳා ගන්නවා. මාත් ඒවාගේ ජවනිකාවලට සම්බන්ධවෙලා තියෙනවා. දවසක් බුදුරුවකන්ද පන්සලේ හාමුදුරුවෝ ඔය තම්මැන්නාව ගල්ලෙන පන්සලේ බණකට වැඩියා. බණට මාතෘකාව කරගත්තේ (ආලවක දමනය) කථාව. මම තමයි ආලවක යකාට ඇඳලා හිටියේ. පන්සලේ මිදුලේ තමයි ධර්ම දේශනාව පැවැත් වූයේ. ඒ කාලේ අද වාගේ ලයිට් නෑනේ. ලන්තෑරුම් හරි ප්රැට්රෝල්මැක්ස් ලාම්පු එළියෙන් තමයි ආලෝකය දෙන්නේ. හාමුදුරුවෝ බණ පටන්ගෙන දැන් කථාව කියාගෙන යනවා. මාත් හෙමිහිට අඳුරේම ගිහින් මිදුල අයිනේ තිබුණේ අඹ ගහට ගොඩ වුණා.”
හාමුදුරුවෝ බණ කියද්දි අලව් යකා හූ කියාගෙන පැන්නා
“නාට්‍යානුසාරයෙන් බණ කියන තැනට ළං වුණා. දැන් හාමුදුරුවෝ කියනවා. ඕං මම දැන් අලව් යකා මේ ස්ථානයට ගෙන්නනවා. ඔය ඇත්තෝ පොඩි ළමයි එහෙම ළඟට අරන් ටිකක් ඈත් වෙලා ඉන්ඩ ඕන. ඒත් මිනිස්සු ඒ කථාව පිළිගත්තේ නෑ. මගේ අවස්ථාව ආපු ගමන්ම මම (හූ) කියාගෙන ගහෙන් බිමට පැන්නා. හිටපු සෙනඟ සී සීකඩ දුවන්න පටන් ගත්තා. මම ඉතිං රවුමක් කැරකිලා හාමුදුරුවන් ළඟට ගිහින් වාඩි වුණා. පස්සේ බොහොම අමාරුවෙන් ආයෙත් සෙනඟ ගෙන්නා ගෙන ධර්ම දේශනාව දිගටම පවත්වා ගෙන ගියා. ඔය සිද්ධියෙන් පසු මට නමකුත් පටබැඳුණා.” යි කියමින් හීංබණ්ඩා මහතා සිනාසෙන්නට විය.
හීං බණ්ඩා මහතා ඇතුළු පිරිසක් එක්ව ජනපදය තුළ කුඩා නාට්‍ය කණ්ඩායමක් පිහිටුවා ගත් බවත් ඒ කණ්ඩායම මගින් සඳකිඳුරු, මනමේ, අජාසත්ත, ධර්මපාල ආදී කථා තේමා කොට ගෙන නාට්‍ය නිර්මාණය කොට රඟ දැක්වූ බවත් ඒ මහතා කීය. ග්‍රාමීය ප්‍රදේශවල පන්සල්වල පින්කම් පොළවල මේ නාට්‍ය රඟ දැක්වූ අතර නාට්‍යයක් රඟ දැක්වීමෙන් පසු දිනකට රුපියල් තිස් පහක් හෝ හතළිහක් කණ්ඩායමට ගෙවන බවත් දැන ගැනීමට ලැබිණ.
“මුදල් හොයන්න නෙමෙයි අපි ඒවා කළේ විනෝදයට. ඒ කාලේ ලොකුවට ගන්නා මඟුල් ගෙවල්වලත් රාත්‍රී කාලයට නාට්‍ය හරි නැටුම් හරි තමයි පෙන්නන්නේ. අද වාගේ බෑන්ඩ් ගහන්නේ නෑ. ඕං දවසක් අපි අඹන්පොළ කිරිමැටියාව ගමේ මඟුල් ගෙදරකට ගියා කිඳුරු සෙල්ලම (කිඳුරු නාඩගම) නටන්න. කිඳුරටයි, කිඳුරියටයි හිටියේ පොඩි ළමයි දෙන්නෙක්. මම සක් දෙවිඳුට ඇදලා හිටියා. තව කෙනෙක් බල්ලට ඇදලා හිටියා. දැන් කිඳුරැ සෙල්ලමේ අවසන් කොටසට ඇවිත්. කිඳුරට පණ ආවාට පස්සේ දෙන්නම ලේන්සු කරකවමින් නට නටා වටේට යනවා. කස්තිරම් ගහමින් තමයි ඉතිං යන්නේ.”
“ඔය වාගේ තැන්වල එදා සිරිතක් තිබුණා එහෙම වටේට යනකොට බලන්ඩ ආපු අය සල්ලි දෙනවා. ඉතිං එදත් කිඳුරයි - කිඳුරියි ලේන්සුව අරන් කට්ටිය ළඟට ගියා. මනාල ජෝඩුව ළඟටත් ගියා. මනමාල මහත්තයා ශත දහයක් ලේන්සුවට දැම්මා. මේක බල්ලට ඇඳලා හිටපු නළුවා දැක්වා. පස්සේ බල්ලා (නළුවා) අර ජෝඩුවට ඉන්න පැත්තට බුරා ගෙන කඩා පැනලා පන්නන්න පටන් ගත්තා. දෙන්නා නතර වුණේ කාමරයට පැනලා. සභාවක් මැද ශත දහයක් දුන්නා මදි කියලා හිතලා තමයි බල්ලට ඇදාලා හිටිය නළුවා අර විදිහට කොළේ. හැබැයි පහුවදා උදේ එනකොට අපට ඒ මඟුල් ගෙදරින් රුපියල් තිහක් දුන්නා. අපි කණ්ඩායමේ දොළොස් දෙනෙක් හිටියා. ඔය මම කීවේ 1970 අවුරුද්දේ විතර වෙච්ච සිද්ධියක්.” යි හීංබණ්ඩා මහතා සිය පරණ අත්දැකීමක් විස්තර කරමින් කීය.
හීංබණ්ඩා මහතා වෙදහෙදකමේ මෙන්ම පුංචි පුංචි ශාන්ති කර්මවලද නිරතව සිටින්නෙකු බව දැනගැනීමට ලැබුණ නිසා ඒ පිළිබඳව ද තොරතුරු හාරා ඇවිස්සුවෙමි.
“මම ඉස්කෝලේ ගියේ දෙකේ පංතියට විතරයි අප්පච්චි මම පුංචි කාලේම මියැදුණ හින්දා පවුලේ වැඩිමලා වශයෙන් මට ගොඩක් අම්මාට උදව් කරන්ඩ සිද්ධ වුණා. මම පොල් ගෙඩියක් හොයා ගෙන විකුණලා ගන්න ශත පහත් දෙන්නේ අපේ අම්මා අතට. හරියට කරදර තිබ්බා. ඒ නිසා ඉස්කෝලේ යන්න බැරි වුණා. ඒත් මම ටික කාලයක් පන්සලක හිටියා. බැඳි අකුරු පවා කියවන්න පුළුවන් වුණේ පන්සලේ හිටපු නිසා. ඒ නිසා පිරිත් පොත්, වෙද පොත් කියවන්න පුළුවන්.”
“පොඩි දරුවන්ට හැදෙන වලිප්පුව සුව කරන්න මම බේත් දෙනවා. ඒ වාගේම දත් කැක්කුම හැදුණාම මම පොඩි වෙදකමක් කරනවා. ඇණයක් අරන් ඒක ජීවම් කරලා අණේ ගසක ගහනවා. ඔය ගේ ඉස්සරහා තියෙන ගම්සූරිය ගහට ගහලා තියෙන්නේ ඒ ඇණ. එහෙම කළාම ආයි ජීවිතේට දත් කැක්කුම හැදෙන්නේ නෑ.”
“ඔය භූත දෝෂ, ප්‍රේත දෝෂ හැදෙන අය ඉන්නවා නේ. එහෙම අයට උණක් හැදුණත් සුව වෙන්නේ නෑ. මම ඒ වගේ අයට පිරිත් කරපු නූල් ගැටගසා ඒ දෝෂ ඉවත් කරනවා. එහෙම රෝගියකුට නූලක් ගැට ගසන්න දවසක් මාව එක්ක ගියා. නූල ගැට ගසන්න ළඟට ගිය ගමන් ලෙඩා ආවේශ වෙලා අත - පය අඹරමින් හක්... හක්... ගාලා හිනාවෙමින් මම ළඟට එනවා. හරියට යකෙක් වගෙයි. මම වතුර වීදුරුවක් අරන් මතුරලා ලෙඩාගේ මූණට ඉස්සා. ලෙඩාට සිහි නැතිවුණා. ඊළඟට වතුර ටිකක් පෙව්වාම සිහිය ආවා. නූල ගැටගහලා පිරිත් ටිකක් කිව්වා. එතකොට ආවේශවෙලා හිටපු කෙනා ශරීරයෙන් අයින් වෙනවා.”
මනමාලයා ශත දහයක් දුන්නම බලු නළුවට තරහා ගියා
“දවසක් ගෙදරක අපි පිරිත් කියමින් (ගිහි පිරිත්) ඉන්න කොට ගෙදර හිටපු හතර දෙනෙකුට ආවේශ වෙලා පිරිත් මණ්ඩපය ළඟට කඩා වැදුණා. මම නැගිටලා ඇවිත් ඒ අයට කථා කළා “බුදුගුණත් එක්ක සෙල්ලම් කරන්න එපා.” කියලා කීවා. ඒ කරලා වතුර ටිකක් මතුරලා කට්ටිය ඉස්සා. පස්සේ උදේ පිරිත් නූල් දැම්මා. ගෙටත් ආරක්ෂාවක් කරලා දුන්නා.” ඔය වාගේ දේවල්නම් ගොඩාක් කරලා දීලා තියෙනවා.
එදා මහ වනාන්තරයක්ව පැවති උස්ගලසියඹලන්ගමුන ගොවි ජනපද ව්‍යාපාරයට මුල් පදිංචිකරුවකු ලෙස පැමිණි ඒ කටුක බිමේ මහ පොළොව සමඟ මෙන්ම සතා සීපාවා සමඟ ද ඔට්ටු වී ජාතියට බත සපයන්න හවුල්කාරයකු ව සිට අද අසුවැනි වියේ පසුවන කේ.එම්. හීංබණ්ඩා මහතාට ආයු-බෝ වේවා!යි පතමින් අපි ඔහුගෙන් සමුගත්තෙමු.
♦ කතාව හා සේයාරූ - ගල්ගමුව නිහාල් ජයවීර