2017 අගෝස්තු 12 වන සෙනසුරාදා

කෙල්ලට 15යි කොල්ලට 17යි සිරුරු දෙකම ගඟේ

 2017 අගෝස්තු 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 121

“වඩුවාවළේ” තරුණ ජෝඩුවකගේ මිනී පාවෙනවාලු... පෙනුමට වැඩි වයසකුත් නෑ වගේලු. නාන්න ගියපු කට්ටියක් තමා දැකලා තියෙන්නෙ...” කතාව කටින් කට ගමපුරා පැතිර ගියේ ලැව් ගින්නක් තරමටය. මෙය දුටු අයෙක් මතුරට පොලිස්ථානය වෙත තොරතුර වාර්තාකොට තිබුණේ දුරකථන පණිවුඩයකිනි. සිද්ධිය ගම පුරා පැතිරී තිබූ නිසා පොලිසිය වඬුවාවළේ අසලට යන විටත් එහි රැස් වී සිටි පිරිස රාශියකි. එහෙත් කිසිවෙක් මළ සිරුරු අසලට කිට්ටු වී තිබුණේ නැත.

දුටු පමණින් තරුණයකුගේ සහ තරුණියකගේ සිරුරු බව පෙනෙන්නට වූයෙන් ගම්මුන් සැකකළේ ඔවුන් පෙම්වතුන් වන්නට ඇති බවය.

සිරුරු බෙහෙවින් ඉදිමී තිබූ බැවින් පොලීසිය විශ්වාස කළේ යුවළ දියේ ගිලී දින දෙකක් පමණ ගතවන්නට ඇති බවකි. මේ අතර මළ සිරුරු පිළිබඳව විමර්ශන ඇරඹූ පොලීසියට වාර්තා වූයේ මතුරට අම්පිටිගොඩ ප්‍රදේශයේ 15 හැවිරිදි තරුණියක සහ හඟුරන්කෙත, දාරා ඔය අක්කර සීය ප්‍රදේශයේ 17 හැවිරිදි තරුණයෙක් ඉකුත් 1 වැනිදා සිට ආගිය අතක් නොමැති බවකි. ඒ අනුව මරණකරුවන්ගේ ඥාතීන්ගේ තොරතුරැවලින් සනාත වී තිබුණේ මළසිරුරු දෙක දින තුනක් අතුරුදන්ව සිටි අයගේ බවය.

පහළොස් හැවිරිදි තිළිණි පවුලේ එකම දරුවාය. කලකට පෙර අවාසනාවන්ත අයුරෙන් ඇගේ පියා මියගිය බැවින් දැඩි ආර්ථික අඟහිඟතා මැද දිවි ගෙවන්නට තිළිණිටත් ඇගේ මවටත් සිදුවිය. වැඩි වයසක් නොවූ තිළිණිගේ මව කල්යත්ම වෙනත් විවාහයක් සිදුකරගෙන තිබුණේ ඒ නිසාය. අනතුරුව තිළිණි සිය මිත්තණිය බාරයේ තබා මව ඇගේ අලුත් සැමියාගේ නිවෙස වෙත පදිංචියට ගියාය. නමුත් හැකි සෑම අවස්ථාවකදීම තිළිණිට හා මිත්තණියට ඇවැසි මුදල් හා භාණ්ඩ සපයා දෙන්නට කටයුතු කළාය. ඒ සඳහා නිරන්තරව තිළිණිගේ මව පැරැණි නිවසට නොගිය අතර ඒ සඳහා තම ස්වාමිපුරුෂයාගේ පාර්ශවයේ ඥාති පුතකු වූ රුවන් සම්බන්ධ කරගත්තේය.

ඔහු නව යොවුන් වියේ පසු වූ තරුණයෙකි. වරක් ඔහු අම්පිටිගොඩ ප්‍රදේශයේ පිහිටි තිළිණි රැඳී සිටි නිවසට ගොස් ගෙන ගිය භාණ්ඩ ලබා දී පැමිණ තිබුණේ තිළිණි පිළිබඳ බලාපොරොත්තු තබාගෙනය.

ඉන් අනතුරුව නොයෙක් අවස්ථාවලදී තිළිණිගේ මවගේ මඟ පෙන්වීම මත රුවන් අම්පිටිගොඩ ගමනට සම්බන්ධ වූයේ නොඉවසිල්ලෙනි. ඒ යන අතරවාරයේ තිළිණි හා කාලය ගතකරන්නට පුරුදු වූ ඔහු ඇය හා ආදර සම්බන්ධයක් ගොඩනගාගෙන තිබුණි. මේ අතර නිකරුණේ නිවසට යන්නට එන්නට වූ රුවන් නිසා දෙදෙනා අතර ඇති සබඳතාවය දැනගත් තිළිණිගේ මිත්තණිය ඊට විරුද්ධත්වය ප්‍රකාශ කළාය. ඉන් කළබලයට පත්ව සිටි රුවන් තිළිණිට යෝජනාකොට තිබුණේ කාටත් රහසේ ගමෙන් පිටව යාමටය. එක පයින් යෝජනාවට කැමති වූ තිළිණි රුවන්ගේ යෝජනාව අනුමත කළාය.

දිනය පසුගිය මැයි පළමුවැනිදාය. රුවන් හා තිළිණි කාටත් රහසේ ගමෙන් පිට වූයේ ඇඳුම් කීපයක් දමා ගත් බෑග් දෙකක් රැගෙනය. රුවන්ගේ අදහසට අනුව දෙදෙනා කොළඹ ප්‍රදේශයට පැමිණියේ බස් රථයකිනි. කුලී කාමරයක් සොයාගත් රුවන් තිළිණි එහි කැඳවාගෙන ගියේ පවුල් කන්නටය.

දින ගණනාවක් එහි ගත කරද්දී දෙපාර්ශවයේ වැඩිහිටි ඥාතීහු ඔවුන් සොයා ආවෝය. එහිදී සිදුවීම පොලීසියට දන්වා ගැටලුව සමතයකට පත්කර ගන්නට උත්සහ ගෙන තිබුණි. අධිකරණයට තොරතුරු වාර්තා කිරීමෙන් පසුව කළ පරීක්ෂණවලදී තරුණිය බරපතළ ලිංගික අතවරයට පත්ව ඇතැයි හෙළිවී තිබිණි. නිත්‍යනුකූල භාරකාරත්වයෙන් තොරව අපහරණය කිරීමේ වරදට තරුණයා පරිවාස බාරයට පත් කරන ලදුව තරුණිය පරිවාස වාර්තාවක් සමඟ ඇගේ මවට බාර කරනු ලැබුවාය. නමුත් වැඩි කල් නොගොස් තිළිණිගේ මව විසින් දැරිය යළිත් ඇගේ මිත්තණිය වෙත බාර දී ගොස් තිබුණි.

මෙසේ කල්ගත වුවද තිළිණි හා රුවන් අතර සබඳතාවය කෙළවර වූයේ නැත. දෙදෙනාගේ අදහස වී තිබී ඇත්තේ කෙසේ හෝ එකතුවීම පමණය. ඊට ඉඩක් නොලැබෙන බව වටහාගත් යුවළ තීරණය කරන්නට ඇත්තේ ජීවිතයෙන් පළායන්නටය. ඔවුන් ඒ සඳහා කල්පනා කරන්නට ඇත. අවසන තීරණය වී ඇත්තේ රන්දෙණිගල ජලාශය වෙත ගලන බෙලිහුල් ඔයේ වඩුවාවළය. වඩුවාවළ ඉතා ගැඹුරුය. එහි ගැඹුර දන්නෙක් ප්‍රදේශයේ නැත. නමුත් එහි දිය නෑම සුලබය. එතැනින් ඉදිකර ඇත්තේ කළුගල් පාලමකි. පාලම නිර්මාණය කළ ගල්වඩුවා දිය වළට ඇද වැටී මරණයට පත්ව ඇතැයි අතීත කතාවකි. වඩුවා මළ තැන වඩුවාවළ යැයි හඳුන්වන බව ගැමියන්ගේ අදහසය.

මෙම වඩුවාවළේ පාවෙමින් තිබූ මළ සිරුරු පිළබඳ විමර්ශනයේදී පොලීසිය විශ්වාස කළේ යුවළ රාත්‍රී කාලයේදී වළට පනින්නට ඇති බවය. අධිකරණ වෛද්‍ය පරීක්ෂණයේදී දියේ ගිලී සිදුවූ මරණයක් බවට වාර්තාකළ අතර යුවළ වස පානය කර හෝ මත්ද්‍රව්‍යක් ශරීර ගත කරගෙන ඇත්දැයි විමර්ශනයට ශරීර කොටස් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකර ඇත. වලපනේ සහකාර පොලිස් අධිකාරී අනුරුද්ධ බණ්ඩාරනායක මහතාගේ උපදෙස් මත මතුරට පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එන්.ඩී. ගුණසේකර මහතා ඇතුළු පිරිසක් වැඩිදුර විමර්ශන සිදුකරති. 

මාපිය රැකවරණ අහිමි වුණාම මෙහෙම වෙන්න පුළුවන්

- කරාපිටිය රෝහලේ මනෝ වෛද්‍ය විශේෂඥ රූම් රූබන් 

“නව යොවුන් වියේ හෝර්මෝන වෙනස්වීමත් සමඟ දරුවන් වැඩිවියට පත්වෙනවා. ශාරීරක වෙනස්කම් අනුව ආශාවන් ඇතිවෙනවා. මෙය විරුද්ධ ලිංගිකයන් කෙරේ විශේෂයි. ඔවුන් හා ඇසුරු කිරීම, මිත්‍රවීම සාමාන්‍යයි. බොහෝවිට මේවා දීර්ඝව පවතින්නේ නැති වුණාම වර්ධනය වෙන්න ඉඩ තිබෙනවා. මේ තත්ත්වය ආකර්ෂණය මත ඇතිවූ එකක් වන අතර ගැඹුරු හඳුනා ගැනීමක ආදරයක් නොවෙයි. රූපයට පෙනුමට හිතේ බැඳීමක් ඇතිවීම පමණයි.

මාපිය රැකවරණය අහිමි දරුවන් මෙවැනි ආදරයකට යොමුවිය හැකියි. ඔවුන් ගෙදරින් නොලැබෙන දේ බාහිරින් ලබා ගන්නවා. මේ නිසා අධ්‍යාපනය පවා මගහැරෙනවා. අවශ්‍යතාවය එය පමණයි සිතා කල් ගෙවීම තුළ “විශාදිය” තත්ත්වය ඇතිවෙනවා.

ගැටලුව හඳුනාගෙන පිළියම් කළ යුතුයි. ආවේගශීලී බව පාලනය කළ යුතුයි. මෙයට මූණදෙන අය වැඩිහිටියන්ට දෙමාපියන්ට ඇහුම්කන් දිය යුතුයි. වැඩිහිටියන්ගේ යහපත් අවවාද පිළිගත යුතුයි. ඔවුන්ට කාරුණිකව මග පෙන්විය යුතුයි.

 

 

පුද්ගල නාමයන් මනඃකල්පිතයි.)
♦ සමන්ත ප්‍රදීප් විල්තෙර